ආචාර්ය පබිලිස් සිල්වාගෙන් උයන කලාවේ රහස් දැන ගනිමු

ඔක්තෝබර් 6, 2021

රසට කන්න බටු හදන්න

දන්නවාද හැඩ කපන්න..

කලාවන් අතර පැරැණිම කලාවක් වන්නේ ආහාර කලාවයි. ආහාරය සඳහා අමුද්‍රව්‍ය සකස් කිරීම කලාවක් වන්නේ එහි රසය, සුවඳ, වර්ණය, ගුණය රැකෙන පරිදි ආහාරය සැකසීමෙනි. අද වන විට එම ආහාර කලාව බොහෝ ඉසව් ඔස්සේ ඉහළට ගමන්කර ඇත.

එය, ආහාරවලින් විවිධාකාරයේ කැටයම් නිර්මාණය කිරීම දක්වාම දියුණු වී ඇත්තේ ආහාර, කලාවට කොතරම් සමීපදැයි අඟවමිනි.

ආහාරය සඳහා එළවළු, පලතුරු, මස්, මාළු ආදිය කපන රටාව ද සකසන ආහාරයේ ස්වභාවය අනුව වෙනස් වේ. එම වෙනස්කම් ගැන ඇතැම් ගෘහණියන් වැඩි උනන්දුවක් නොදක්වතත් ආහාරයේ රසය, ගුණය, පෙනුම සඳහා මේ කැපීමේ කලාව ප්‍රගුණ කිරීම වැදගත් වේ.

අද අප ආහාර කැපීමේ කලාවේ තවත් වැදගත් පියවරක් ගැන ඔබව දැනුවත් කරන්නයි මේ සූදානම.

සාමාන්‍යයෙන් අප ආහාරයට ගන්නා බටු වර්ග තුනකි. ඒ වම්බටු, එළබටු හා තිබ්බටු ය. මේ බටුවර්ග තුනම ඉතාමත් රසවත් ය. මේවා කපන ආකාරය විවිධය.

තිබ්බටු

තිබ්බටු ඉතා කුඩා බටු වර්ගයක් වන නිසා එය කැපීමේ විශේෂත්වයක් නැත. බොහෝ විට වංගෙඩියේ දමා තලා ආහාරය සඳහා සකසයි. තිබ්බටු මැල්ලුම්, තිබ්බටු බැදුම මෙන්ම වෙනත් ආහාර යොදා සකසා ගැනීමට ද හැකියාව ඇති තිබ්බටු රස මෙන්ම පෝෂණ ගුණයෙන් ද ඉහළ ආහාරයකි.

රවුම් හැඩයක් ඇති තිබ්බටුවලට වඩා විශාල වුවද වම්බටුවලට වඩා කුඩා බටු වර්ගය එළබටු නැතිනම් තලනබටු ලෙස හැඳින්වේ. කොළ පැහැය සමඟ මුසු වූ සුදු පැහැති එළබටු ද රසවත් ගුණවත් ආහාරයකි. විශේෂයෙන් ම සෙම් අමාරු සඳහා ගුණදායක බව පැවසෙන එළබටු සැකසීමේ දී එහි කහට ස්වභාවක් ඇති නිසා ඇතැම් ගෘහණියන් එළබටුවලට අකැමැත්තක් දක්වයි.

 

එළබටු

n එහෙත් සකසා ගත් විට ඉතාමත් රසවත් ආහාරයක් වන එළබටු කිරට සැකසීමේ දී එයට කොස් ඇට ස්වල්පයක් දැමූවිට රසය දෙගුණ වේ. තලාගත් හෝ දෙකට පලා ගත් බටුවල මැද ඇති ඇට කොටස ඉවත්කර මෙලෙස ආහාරය සඳහා සකසා ගනී.

n එළබටු පුරවා උයාගත් විට එය ද රසයෙන් ඉහළ ආහාරයකි. එළබටු පුරවා ඉවීම සඳහා බටුගෙටිය කැපිය යුත්තේ නටුව පැත්තට විරුද්ධ පැත්තෙනි. එනම් බටු ගෙඩියේ පහළ කොටසින් කුඩා රවුමක හැඩයට කැපුමක් යෙදිය යුතුය. මෙලෙස පුරවා ඉවීම සඳහා මඳක් ලොකු ප්‍රමාණයේ එළබටු තෝරා ගත යුතුය.

n එළබටු මෝජුව ගැන බොහෝ දෙනා නොදනිතත් එය ඉතාමත් රසවත් ආහාරයකි. එළබටු මෝජුව සඳහා කපා ගත යුත්තේ ගෙඩිය නටුවෙන් ඇල්ලූ විට තිරස් අතට ය. ගෙඩිය තිරස් අතට කපා මැද ඇති ඇට කොටස ඉවත් කළ යුතුය.

n එළබටු තෙල් දැමීම සඳහා ද දෙකට මැදින් පලා ගැනීම හෝ තලා ගැනීම සුදුසු ය. එහිදී ද ඇට ඉවත්කර ගත යුතු ය. මෙලෙස තෙල් දැමීම සඳහා යොදා ගත යුත්තේ කුඩා බටු ගෙඩිය.

 

වම්බටු

n වම්බටු බොහෝ දෙනා අතර ජනප්‍රිය වී ඇත්තේ වම්බටු මෝජුව නිසයි. උත්සව අවස්ථාවක කෑම මේසයක අනිවාර්යය ආහාරයක් වන වම්බටු මෝජුව රසය මෙන්ම සුවඳ ද ආහාර රුචිය වඩවයි. මෝජුව සඳහා වම්බටු කපා ගත යුත්තේ අඟල් කාලකට මඳක් අඩුවෙන් ( මිලි මීටර් 5 ක් පමණ) ඝනකමට හා අඟලක් හෝ අඟල් එකහමාරක් පමණ දිග ප්‍රමාණයටයි.

n වම්බටු තෙලෙන් බැද කිරට ඉවූ විට ඇත්තේ දිව පිනවන රසයකි. එය පමණක් බත් කෑමට සෑහෙන තරමට එහි රසය ඉහළය. මෙසේ වම්බටු බැද ඉවීම සඳහා කපා ගත යුත්තේ අඟල් කාලක පමණ ( මිලි මීටර් 6ක්) ඝනකමට හා අඟල් එකහමාරක දිග ඇති ප්‍රමාණයටයි.