රසට කන්න හැඩට කපමු..

නොවැම්බර් 29, 2021

 

ආහාර කැපීමේ කලාව සූපවේදයේ ප්‍රධානම අංගයක්. එමනිසා එක් එක් ආහාර වර්ග සැකසීමේ දී එකම අමුද්‍රව්‍ය වුවද වෙනස් හැඩයන්ට කපා ගනී. එමෙන්ම විවිධ වූ අමුද්‍රව්‍ය එකම හැඩතලවලට කපා ගනී. මෙසේ කපන ක්‍රම වෙනස් වීමෙන් ආහාරයේ රස, ගුණ, වර්ණය ඇතැම් ආහාරවල සුවඳ ආදිය පවා වෙනස් වේ.

 

කරවිල

 

කරවිල පෝෂණ ගුණයෙන් ඉතාම ඉහළ ආහාරයක්. දියවැඩියා රෝගීන්ගේ සීනි මට්ටම පහත හෙළිය හැකි නිසා කරවිල අකැමැත්තෙන් වුවත් ආහාරයට ගනී. කරවිල තිත්ත රසය නැතිවන සේ ඉවීමට දක්ෂ සූපවේදියෙකුට හෝ සූපවේදිනියකට පුළුවන්. එහෙත් මතක තබා ගත යුතු කරුණක් වන්නේ කරවිලවල ඇති තිත්ත රසය එහි පෝෂණයේ එක් අංගයක් බවයි.

එමෙන්ම අළුත්ම වෛද්‍ය සොයාගැනීම් අනුව පැවසෙන්නේ පිළිකා සෛල මර්ධනය කිරීමේ හැකියාවක් කරවිල ඇට සතුව පවතින බවයි. එමනිසා කරවිල අපට සොබාදහමින් තිළිණ කළ දායාදයක් ලෙසින් ද හැඳින්විය හැකියි.

කරවිල ව්‍යාංජනය කිරට මෙන්ම පහේ බැද ඉවීමද කළ හැකියි. මේ කුමනාකාරයකින් සකසා ගත්ත ද එයටම අනන්‍ය වූ රසයක් කරවිල සතුය. එහෙත් කිසිම විටෙක කරවිල බැද ඉවීම නොකළ යුත්තේ ඉන් එහි ඇති ගුණය විනාස විය හැකි නිසයි.

ව්‍යාංජනය සැකසීමේ දී කරවිල තරමක් ලොකු කැබැලි ලෙස කපා ගත හැකිය.

ඇතැම් අය කරවිල මදයේ ඇට ඇති කොටස ඉවත් කළද කරවිල ඇටවල ද පෝෂණීය අගයක් ඇති නිසා ඇටත් සමඟම කපා ගත හැකියි.

මෙම කැබැලි කපා ගත යුත්තේ අඟලක් අඟල් එකහමාරක් පමණ දිගට හා අඟල් කාලක පමණ පළලට සිටින ලෙසයි.

අළු කෙසෙල් බැද උයනවා නම් එම වේලට කරවිල කොටු හැඩයට කපා ඉවීම නොකළ යුතුයි. නැතිනම් ඒ ව්‍යාංජන දෙක හඳුනාගැනීමට අපහසු විය හැකියි.

කරවිල සම්බෝලය කොයි කා අතරත් බෙහෙවින් ම ජනප්‍රිය ආහාරයකි. කරවිල ව්‍යාංජනයක් ලෙස ආහාරයට ගැනීමට අකැමැති අය වුවත් කරවිල සම්බෝලයට නම් දක්වන්නේ කැමැත්තක්. මේ සඳහා කරවිල, පෙති ලෙස නැතිනම් රවුම් ලෙස කපා ගත යුතුයි. මේ කරවිල රවුම් සිහින්ව කපා ගන්න. සම්බෝලය සඳහා කරවිල කපා අව්වේ වියළා ගැනීම අපේ අත්තම්මලා සිදු කළත් දැන් කරවිල ගැඹුරු තෙලේ බැද සම්බෝල සාදා ගනියි. කරවිල බැදීම කළ යුත්තේ සම්බෝල සෑදීම සඳහාම පමණක් බව මතක තබා ගන්න.

 

ලීක්ස්

 

ලීක්ස් ව්‍යාංජනයක් ලෙසත්, බැදුම් සෑදීමේදීත්, සුප් වර්ග සැකසීමේ දීත් උපයෝගී කරගන්නා එළවළුවකි. විවිධාකාරයට ආහාරයට ගන්නා ලීක්ස්වලට ද ප්‍රණීත රසයක් හිමිය.

ලීක්ස් පවිත්‍ර කිරීමේදී කොළ කොටස වෙනම කපා ගත යුතුයි. එමෙන්ම මුල් කපා ඉවත්කර සෝදා ගන්නා ලීක්ස් කොළවල වෙන වෙනම කොළ ඈත්මෑත්කර ජල කරාමයට අල්ලා මඩ ඇත්නම් සෝදා ගන්න.

ලීක්ස් තෙල් දැමීම සඳහා අඟල් 1 1/2ක් දිගට ලීක්ස් කඳ කපා, එය දෙකට පලා මැදින් ටිකක් ඉවත්කරන්න. එම ඉවත් කළ කොටස දෙකට කපන්න. අනෙක් කොටස තුනට හෝ හතරට කපන්න. ලීක්ස් ගසේ මහත ප්‍රමාණය අනුව මෙය කපා ගතයුතුයි.

ලීක්ස් කිරට සෑදීමේ දී ද හරහට අඟල් 1/2, 1/4ක් පමණ ගනකම පෙති කපා පහේ දමා හින්දවා ගන්න.

සුප් වර්ග සැකසීමේ දී ලීක්ස් සිහින්ව කපාගත යුතුයි. එමෙන්ම එළවළු බත්, එළවළු නූඩ්ල්ස්, මැකරෝනි ආදිය සකසන විට ලීක්ස් කොළ කොටස සිහින්ව ගිනිකූරු සේ කපා ගැනීම වඩාත් සුදුසුයි.