අවුරුදු මේසයේ හැඩට කැවිලි වට්ටියක්

හරි අපූරු විස්මිත නිර්මාණයක්
අප්‍රේල් 11, 2022

 

එරබදු මල් පිපෙන, කොහාගේ හඩත් එක්ක උදාවෙන අවුරුද්දේ ලස්සනම මාසය තමයි අලුත් අවුරුදු මාසය. හැමෝම හැමෝටම සෙනෙහස පුදන, හමුවී දුක සැප බෙදාගන්න ළං වෙන නෑ ගම් යන මාසය. ලොකු පොඩි අපි හැමෝම බලන් ඉන්නේ අලුත් අවුරුදු මාසය එනකම්. එදාට කැවිලි මේසය කැවිලි පුරවපු පන් වට්ටිවලින් පිරිලා. ඒ පන් වට්ටි අතරට කේක් පන් වට්ටියකුත් කැවිලි කේක් පුරවලම එකතුවුණාම ඔයාලට පුදුමත් හිතෙයි නේද?

එහෙම නිර්මාණයක් ඔයාලා දැකලම නෑ නේද? ඇත්තටම එහෙම නිර්මාණයක් අපේ රටේ විතරක් නෙමේ ලෝකේ කොහේවත් මීට කලින් බිහිවෙලා නෑ. සතුටුයි නේද , අපේකම අගයන්න , අපේකම ලොවට කියන්න තවත් එක නිර්මාණයක් බිහිවීම ගැන. එහෙනම් අපි හදමු ද කේක්වලින් ලස්සන පන් වට්ටියක්. ඒ වගේම කැවිලිත්. මේ ලස්සන නිර්මාණය කරලා තියෙන්නේ ‘කුකිං මේඩ් සිම්පල්' ෆේස්බුක් පිටුවෙන් ආහාර කලාවේ රස රහස් ඔබට බෙදාදෙන ප්‍රවීණ සූපවේදිනී ජනනී ගුරුසිංහයි.

 

 

මේ සඳහා අපි පළමුව කිලෝ එකහමාරක චොකලට් කේක් එකක් සාදාගත යුතුයි.

 

අවශ්‍ය දේවල්

පිටි ග්‍රෑම් 300ක්

කොකෝවා පවුඩර් ග්‍රෑම් 75ක්

සීනි ග්‍රෑම් 375ක්

බටර් ග්‍රෑම් 375ක්

බිත්තර 6ක්

වැනිලා තේ හැඳි 1ක්

බේකිං පවුඩර් ග්‍රෑම් 15ක්

ෆ්‍රෙෂ් මිල්ක් මේස හැඳි 2ක්

 

මෙහෙම හදමු

මුලින්ම පිටි, කොකෝවා පවුඩර්, බේකිං පවුඩර් එකට එක්කර හලාගන්න. සීනි සමඟ බටර් එකතුකර බීට් කරගන්න. එයට බිත්තර එක බැගින් එකතුකර බීට් කරන්න. එයට වැනිලත් එකතුකරන්න. දැන් එම මිශ්‍රණයට පිටි මිශ්‍රණයෙන් ටික ටික එකතුකරමින් කලවම් කරන්න. එයට ෆ්‍රෙෂ් මිල්ක් ටිකත් එකතුකර කලවම් කරන්න. කේක් බැටර් එක බේකිං පේපර් එකක් දමා සකස් කරගත් තැටියකට එක් කරන්න. විනාඩි 8කට විතර කලින් රත් කරගත් අවන් එකේ සෙල්සියස් අංශක 180ක උෂ්ණත්වයෙන් විනාඩි 40ක් බේක් කරගන්න.

 

දැන් කේක් එක නිවෙන්න තබා බටර් අයිසිං එක හදමු.

 

අවශ්‍ය දේවල්

බටර් ග්‍රෑම් 300ක්

අයිසිං සීනි ග්‍රෑම් 600ක්

වැනිලා තේ හැඳි 1/2ක්

ෆ්‍රෙෂ් මිල්ක් තේ හැඳි 1ක්

මේ සියල්ල එකතුකර ක්‍රීම් එකක් වනතුරු හොඳින් බීට් කරගන්න.

 

නිර්මාණය සඳහා ෆොන්ඩන්ට්

 

අවශ්‍ය දේවල්

සුදු මාෂ්මෙලෝ ග්‍රෑම් 700ක්

අයිසිං සීනි ග්‍රෑම් 1400 -1500 අතර

වතුර මේස හැඳි හතරක් පමණ

 

සෑදීම

මාෂ්මෙලෝ වතුර මේස හැඳි හතරක් එකතුකර ඩබල් බොයිල් ක්‍රමයට උණු කරගන්න. දැන් උණුකරගත් මාෂ්මෙලෝෙවලට අයිසිං සීනි ටික ටික එකතු කරමින් අතේ නොඇලෙන පදම එනතුරු අනන්න. එලෙස ෆොන්ඩන්ට් සාදාගත් පසු කොටස්කර ගන්න. එම ෆොන්ඩන්ට් කොටස් ගෙන වියමනට අවශ්‍ය පාට සහ කැවිලිවලට අවශ්‍ය පාට යොදන්න.

දැන් නිවුණු කේක් එක වටේ වට්ටියක හැඩය එන ලෙස කපන්න. වටේට හැඩ මතු කරගන්න. ඉන්පසු කේක් එක උඩ වට්ටියක දාරය සහ ටිකක් ගැඹුර තියෙන පරිදි කේක් කොටස් කපා ඉවත් කරන්න. මුළු කේක් එකම වටේ සහ උඩ බටර් අයිසිං මගින් කවර් කරන්න. දැන් අපි වට්ටිය නිර්මාණය කරමු. ෆොන්ඩන්ට් කොටස් තුනකට පාට යොදන්න. පන් වියමනකට ගැළපෙන අයුරින් අයිවරි, මෙරූන් සහ කොළ පාටින් සකස් කරගන්න. දැන් එම ෆොන්ඩන්ට් තුනීකර සිහින් තීරු කපාගන්න. එම තීරු පාට ගළපා තබා එකක් අතරින් එකක් යන ලෙස වියාගන්න. ෆොන්ඩන්ට්වලින් නිසා කැඩෙන්න බලනවා. පරිස්සමින් වියාගන්න.

දැන් වියාගත් කොටස් කේක් එකමත තමා කවර් කරගන්න. කොළ පාට ෆොන්ඩන්ට් තුනීකර කෙසෙල් කොළයක් හැඩයට කපාගන්න. එය කේක් එක උඩින් තබන්න.

 

අපි කැවිලි හදමු

වට්ටිය හැඩ ගන්න අපි කපා ඉවත්කළ කේක් කොටස් ගන්න. දැන් ඒ කේක්වලින් කැවිලි හදමු. අතින් කේක් ටික කුඩු කරගන්න. චොකලට් ග්‍රෑම් 100ක්, ෆ්‍රෙෂ් මිල්ක් මේස හැඳි 2 එකතුකර ඩබල් බොයිල් ක්‍රමයට දිය කරගන්න. එය කේක් කුඩුවලට එකතුකර අතින් අනන්න. දැන් ඔයාලට පුළුවන් එක එක හැඩ හදන්න. කොණ්ඩ කැවුම් සඳහා පොඩි බෝල හතරක් විතර හදන්න. කිරිබත් කෑලි දෙකක හැඩය එන අයුරිනුත් හදන්න. කෙසෙල් හැඩය එන අයුරිනුත් අතින් ගුලිකර හදන්න. දැන් ඒ ටික පොඩ්ඩක් සෙට් වෙනකම් පැත්තකින් තියන්න.

ඒ අතරේ අපි වර්ණ යොදා ඉතිරි ෆොන්ඩන්ට් මඟින් කැවිලි ටිකක් හදමු

දුඹුරු පාට යෙදූ ෆොන්ඩන්ට් මඟින් සිහින් තීරු ගෙන අතින් පුංචි පටි වගේ සිටින සේ හැඩ ගෙන රවුම් කර පැණි වළලු සාදාගන්න. කොටු හැඩයට කපා කිරි ටොෆි, රුලං අලුවා, තල අලුවා කපාගන්න. රුලං සහ තල ඒ මත තබා තද කරන්න. ස්වාභාවික පෙනුම එන ලෙස සුදු පාට ෆොන්ඩන්ට් මඟින් අලුවා කපාගන්න. කළු පාට එකතු කරපු ෆොන්ඩන්ට් මඟින් දොදොල් හැඩ කපා ඒ මත කජු තබා තදකරන්න. ෆොන්ඩන්ට් තිරුවලින් මල් පෙති හැඩ අරගෙන කොකිස් හදාගන්න. මේ සියල්ලම හොඳින් සෙට් වෙන්න තියන්න..

 

කේක්වලින් හදාගත් කැවිලි ෆොන්ඩන්ට්වලින් කවර් කිරීම

කැවුම් හැඩයට සාදා ගත් කේක් බෝල දුඹුරු පාට ෆොන්ඩන්ට්වලින් කවර්කර පැණි පාට එන්න දිලිසෙන්න උඩින් කලරිං පින්සලකින් ගාන්න. සාදාගත් කැවුම් වේළෙන්න තියන්න‍. සුදු පාට ෆොන්ඩන්ට්වලින් කිරිබත් ලෙස සකස් කරගත් කේක් කවර් කරන්න.

කෙසෙල් හැඩය එන ලෙස සකස් කරගත් කේක් කහ පාට ෆොන්ඩන්ට්වලින් කවර් කරගන්න. ස්වාභාවික පෙනුම එන්න යන්තම් කොළ පාටක් වතුර සමඟ කලවම් කර පින්සලකින් ගාන්න. මේ අයුරින් සාදාගත් කැවිලි සියල්ල සෙට් වෙන්න පැය කිහිපයක් තියන්න. ඉන්පසු වට්ටිය මත රඳවා අවුරුදු මේසය මත තබා අලුත් අවුරුදු දවස ආදරණීයයන් හා සතුටින් සමරන්න.

 

 

උපදෙස් හා ඡායාරූප

ඉතාලියේ පර්මාහි ප්‍රවීණ සූපවේදිනී

ජනනී ගුරුසිංහ