දෝණිගේ 16 වැනි උපන් දිනයට

මැයි 23, 2022

 

ගෙදරට එළියක් ගෙනෙන දෝණිගෙ උපන්දිනය පවුලේ හැමෝටම වැදගත්. 16 වැනි උපන්දිනය සමරන දෝණි වෙනුවෙන් අම්මා අතින් සැකසුණු අලංකාර කේක් නිර්මාණයකි මේ. මෙය පබළු එකතු කළ උපන්දින කේක් නිර්මාණයක්.

 

මේ සඳහා අඟල් 8ක් උස ඇති විශ්කම්භය අඟල් 10, 08, 06 ප්‍රමාණයේ ඩමී තුනක් අවශ්‍ය වේ. නැත්නම් යටම ඩමිය වෙනුවට එම ප්‍රමාණයට කැමැති කේක් වර්ගයකින් කේක් සාදාගන්න. ඩමි තුන වෙනුවට කැමැති නම් කේක් තුනක්ම භාවිත කළ හැකියි. ඒ සඳහා බටර් කේක්, රිබන් කේක් හෝ චොකලට් කේක් යොදාගත හැකියි. එලෙස කේක් තුනක් යොදාගන්නේ නම් එකම වර්ගයකින් නැතිව වර්ග තුනක කේක් යොදාගන්න. දෝණි වගේම සාදයට එන හැමෝම පුදුම වේවි. ඩමි තුන හෝ කේක් තුන කේක් බෝඩ් එකක් උඩ එක උඩ එක තබා සැන්විච් කර ගන්න. වෙළෙඳපොළෙන් ලබාගත් සුදු පාට මාජරින්වලට අයිසිං සුගර් දමා අයිසිං සාදාගන්න.

මුලින්ම යට තට්ටු දෙකට යන්තමින් අයිසිං තවරා ගන්න. වෙළෙඳපොළෙන් ලබාගත් පබළු වැල් කේක් දෙක වටේට ඔතා ගන්න. උඩ කොටස නො 1ර් නොසල් එකෙන් සම්පූර්ණයෙන් පුරවා ගන්න. උඩ ඩමි එකේ උඩ කොටසට අයිසිං තවරා රිදී පාට සුගර් බෝල්ස් දමන්න. යට ඩමී දෙකේ උඩ බෝඩරය ද 1ර් නොසල් එකෙන් දමාගන්න. පාච්මන්ඩ් අයිසිංවලින් හෝ ෂයිනිං බෝඩ් ආධාරයෙන් කපා ගත් හාට්ස් තබා කේක් එක අලංකාර කරගන්න. පින්තූරයේ පෙනෙන ආකාරයට කේක් ටොපර් එකක් එකතු කරන්න. උඩින්ම වයසට ගැළපෙන ඉලක්කම් හා ඉටිපන්දම් එක් කරගන්න.

කේක් එක වටේට වයසට ගැළපෙන ලෙස කප් කේක් එකතු කර ගන්න. කප් කේක් බටර් අයිසිංවලින් නො. 20 නොසල් එකෙන් උඩ කොටස අයිසිං කර ඒ මතට කේක් ආකෘතියේ පරිදි හාට් එකක් එකතු කර සුගර් බෝල්ස් ද එක් කරන්න.

මේ කේක් නිර්මාණය ඔබගේ දියණියගේ උපන් දිනයට ඇගේ නමට හා ඇඳුමට ගැළපෙන පරිදි නිම කරගන්න.

 

උපදෙස් - ගම්පහ, Butter Dream Cakes හි

තෙයාගි සධනිකා ගමගේ