රසගුණ පිරි සියඹලා බීම

දෙසැම්බර් 26, 2022

රසකාරකයක් විදියහට මුළුතැන්ගෙට එන සියඹලා රස ගුණ ඇති බීමක් ලෙසටත් කදිමයි. ඇඹුල් රසය මිශ්‍ර වූ රසවත් සියඹලා බීම ගත ප්‍රබෝධවත් කිරීමට සමත්. දැන් අපි සියඹලා බීම එක හදන්නේ කොහොමද කියලා බලමු. 

ඒ සඳහා අවශ්‍ය වෙන්නේ:

කලු පැහැයට හුරු හොඳින් ඉදුණු සියඹලා (දෙහි ගෙඩි දෙකක ප්‍රමාණයක් වන තරමට) 
කුඩා ඉඟුරු කැබැල්ලක් 
කුඩා කුරුඳු කැබැල්ලක් 
සීනි රස අනුව 
ලුණු ස්වල්පයක්

දැන් එය මෙලෙසින් සාදමු:

පළමුවෙන් ම ගැඹුර සහිත බඳුනක් ගෙන සියඹලා ටික එයට දමන්න. එයට වතුර ස්වල්පයක් එකතුකර සියඹලා ටික අතින් පොඩිකරමින් යුෂ ටික මිරිකා පෙරා ගන්න.

දැන් මැටි වළඳක් ළිප තබා එයට සියඹලා යුෂ දමා වතුර කෝප්ප 4 ක් පමණ එකතු කරන්න. එයටම තළාගත් ඉඟුරු කැබැල්ලක්, තලා ගත් කුඩා කුරුඳු පොත්තක් එකතු කරගන්න.

පසුව ලුණු හා සීනි රස අනුව එකතු කරගන්න. මෙය මඳ ගින්නේ තබා විනාඩියක් පමණ වේලාවක් හැඳිගාන්න. සියඹලා බීම එක ළිපෙන් ඉවතට ගෙන නිවෙන්නට තබන්න. දැන් අයිස් කැට කිහිපයක් එකතුකර රස විඳින්න.

මේ සිව්දෙනකුට පමණ ප්‍රමාණවත් බීම ප්‍රමාණයකි. මෙලෙස සාදා ගත් සියඹලා බීම ශීතකරණයේ තබා ගැනීමෙන් අමුත්තන් පැමිණි වේලාවක ඔවුන්ට සංග්‍රහ කිරීමටත් සුදුසුයි. එය ඔබට පහසුවක් වන අතර අමුත්තන්ට වෙනස්ම ආකාරයේ අත්දැකීමක් ගෙන දීමට සමත් වේවි.