චේන්ජ් එකට චැලෙන්ජ් කළ අම්මලා

නොවැම්බර් 28, 2022

 

හැමතැනටම හැමදේම අදාළ නොවුණාට බොහෝ තැන්වලදී ගොඩක් දේවල් අපේ ජීවිතවලට ළංකරගත යුතු වෙනවා. ඒක නිසාම තමයි මේ මිතුරියන් හතරදෙනා පෞද්ගලිකව තම තමන් මුහුණ දෙන ගැටලු, පීඩන, අභියෝගවලින් මිදෙන්න එකතු වෙලා වැඩ කටයුතු කළේ.

පසුගිය සති දෙකේදී අපි ඔබට ඉදිරිපත් කළේ තනි කාන්තාවක් විදියට ජීවිතේ පහළ අඩියක ඉඳලා තමන්ගේ ව්‍යාපාරික දැනුම මුල්කර ගනිමින් ඉහළම ස්ථානයකට ආ දෙදෙනෙකු ගැන කතා මාලාවක් සහ චිත්‍රපටයක්.

 

එහි තියෙන විශේෂත්වය තමයි අපි ඔබට ඉදිරිපත් කරපු මේ කතා මාලාව සහ චිත්‍රපටය සැබෑ ජීවිතයේ තරුණියන් දෙදෙනෙකු මුල්කර ගනිමින් නිපදවා තිබීම. ඉතින් අපි කල්පනා කළා අදත් ඔබට ඒ වගේ සත්‍ය සිදුවීම් මුල්කර ගනිමින් නිර්මාණය වූ කතා මාලාවක් ගෙන එන්න. හැබැයි මේ කතා මාලාවේ විශේෂත්වයක් තියෙනවා. ඒකට හේතුව තමයි අද අපි ඔබට කියන්නේ තරුණියන් හතරදෙනෙකු මුල්කරගත් කතා මාලාවක්. තරුණියන් කිව්වට මේකට හරියනම වචනෙ කාන්තාවන් කියන එක. ඉතින් ඒ කතා මාලාවේ නම තමයි Workin’ Moms.

 

සාමාන්‍යයෙන් ඉංශ්‍රීසි භාෂාවේ Working Moms ලෙස භාවිත කළ ද චිත්‍රපටකරුවා මෙය නම්කරනු ලබන්නේ Workin Moms ලෙසටය.

මෙම කතා මාලාවට රංගනයෙන් සම්බන්ධ වෙන්නේ Catherine Reitman (Kate Fustev), Jessalyn Wanlim (Jenny Mathews), Dani Kind (Anne Carison), Juno Rinaldi (Frankie Coyne) යන හතරදෙනා. Reitman ඇයගේ සැමියා Philip Sternberg , Wolf + Rabbit Entertainment නිෂ්පාදන සමාගමේ මූලිකත්වයෙන් තමයි සියලු නිෂ්පාදන කටයුතු සිද්ධ කළේ.

 

අපි ‍ෙම් කතා කරන කතා මාලාව තුළින් මූලිකව නූතනයේ මාතෘත්වය ගැන අභියෝගයට ලක් කරන අතර, කැනේඩියානු කතා මාලාවක් වන Workin’ Moms තරුණියක් මවක් වූ පසු මුහුණදීමට සිදුවන විවිධ අභියෝග නියෝජනය කරයි. කේට්, ඈන්, ෆ්‍රෑන්කි හා ජෙනී මූලික කර ගනිමින් මෙම කතා මාලාව ඉදිරියට දිව යයි.

ලෝකයේ කොහේ වුවත් තරුණියක් පෙර නොවූ විරූ ආකාරයේ ගැටලුවලට මුහුණ දෙන්න පටන් ගත්ෙන් තමන්ගෙ විවාහයෙන් පස්සෙ. ඒකට එක් හේතුවක් තමයි කෙළිදෙළින් ගෙවපු කාලය අවසන් වෙලා මාතෘ පදවිය ලැබුණට පස්සෙ නොයෙක් ආකාරයේ වගකීම් තමාගේ හිස මතට පැටවීම. මේ කතා මාලාව කේන්ද්‍රගත වෙන්නේ විවාහක වෙළෙඳ ප්‍රචාරණ නිලධාරිණියක් වෙන කේට් ෆොස්ටර් වටා. ලෝකෙ ඉන්න හැම අම්මලාට මූහුණ දෙන්න වෙන ප්‍රශ්නයකට ඇයත් මැදිහත් වෙනවා. ඒකට හේතුව තමයි දරුවකු සිටින ඇයට නැවත රැකියාවට යාමට සිදුවීම. කේට් තමන්ගේ මිතුරියන් සමඟ තමාට මෙන්ම ඔවුන්ට ද ඇති ගැටලු කතාබහ කරන්නට පටන් ගන්නවා. මේ හේතු නිසා කේට් තමන්ගේ මිතුරියන් සමඟ සම්බන්ධ වෙන්නේ අලුතෙන්ම මවු පදවිය ලැබුණු කාන්තාවන් වෙනුවෙන් ආරම්භ කළ උපකාරක කණ්ඩායමක් සමඟ. ඒ සමඟ කතා මාලාව තුළ සෙමින් දිගහැරෙන්නේ තම එදිනෙදා වැඩ කටයුතු තුළ නොයෙකුත් බාධාවන්, පීඩනයන් සමඟින් මේ සියල්ල හා මාතෘත්වය සමතුලිත කිරීමට අරගල කරන ආකාරයයි.

 

කාන්තාවන් හතරදෙනෙකු තුළ විවිධ සිදුවීම් ආශ්‍ර‍ෙයන් ගොඩනැඟෙන කතාබහ තුළ ඔවුනගේ මානසික අවපීඩනය, සැලසුම් නොකළ ගැබ් ගැනීම්, අනන්‍යතා අර්බුද වැනි ගැටලුවලදී ඔවුන් එකිනෙකාට සහයෝගය දක්වමින් කටයුතු කරයි.

හැමතැනටම හැමදේම අදාළ නොවුණාට බොහෝ තැන්වලදී ගොඩක් දේවල් අපේ ජීවිතවලට ළංකර ගත යුතු වෙනවා. ඒක නිසාම තමයි මේ මිතුරියන් හතරදෙනා පෞද්ගලිකව තම තමන් මුහුණ දෙන ගැටලු, පීඩන, අභියෝගවලින් මිදෙන්න එකතු වෙලා වැඩ කටයුතු කළේ. කොහොම වුණත් ඔවුන් හොඳ, නරක කියන සියල්ලටම මුහුණ දෙන්නේ කරුණාවෙන් හා හාස්‍ය‍ෙයන්.

කැනඩාවේ CBC නාළිකාවේ විකාශය වූ මෙම කතා මාලාව තුළින් මවුකිරි දීම, ලිංගික හිරිහැර, අපයෝජන, සබඳතා, මානසික අවපීඩන, මවු සෙනෙහස, සමලිංගික සබඳතා, අපයෝජන ආදී සියල්ල නිරූපණය වන අතර, මිතුරියන් හතරදෙනෙකු විශේෂයෙන් වැඩ කරනා හතරදෙනෙකු ඔවුන්ගේ රැකියා, පවුල් ජීවිත සහ ආදර ජීවිත සමතුලිත කිරීමට උත්සාහ කරයි.