යහපත් සිතුවිලි සහ පැවැත්මට විශ්වයේ ආශීර්වාදය නිතැතින් ම හිමිවෙනවා

අගෝස්තු 4, 2021

 

HDFC බැංකුවේ සභාපතිනිය වසන්තා මංචනායක

 

ඕනෑම පුද්ගලයකුගේ මූලික අවශ්‍යතාවන්ගෙන් එකක් බවට පත්වන්නේ තමන්ටම කියලා නිවහනක්, සොඳුරු කැදැල්ලත් ඉදිකර ගැනීමයි. ඉතින් ඒ නිවාස සිහිනය සැබෑ කරන්නට ඇපකැප වූ ආයතනයක් හැටියට නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව එහෙමත් නැතිනම් HDFC බැංකුව හඳුන්වා දෙන්නට පුළුවනි.

වසර තිහකටත් අධික කාලයක් තිස්සේ මෙරට ජනතාවගේ ආදරය දිනාගත් මේ බැංකුව ඔස්සේ බොහෝ දෙනකු තම නිවාස සිහිනය ඉටුකර ගත්හ. ඊට අමතරව ඔවුන්ගේ ජීවිතවල විවිධාකාරයේ මූල්‍යමය ගැටලුවලට විසඳුම් සොයා ගත්හ.

ඉතින් පොදු ජනතාවගේ හිත දිනාගත් ආදරණීය ආයතනයක් වූ මේ HDFC බැංකුවේ මුල් පුටුව හොබවන්නිය ද කාන්තාවකි. පවුලක සේම රටක ජීවනාලිය වන්නේ කාන්තාවන්. පවුලේ දුක හඳුනන්නී, එය ඉවසා දරා සිටින්නී ඇයයි. එවන් ඇයට මූල්‍යමය වශයෙන් ශක්තියක් වන්නට උරදෙන ආයතනයක මුලසුන හොබවන ඕ කාන්තාවක වීම කාන්තාවන් වූ අපට මහත් අභිමානයකි. ආඩම්බරයකි.

එන්න. ඉතින් අපි ඇය දැන හඳුනා ගනිමු.

ඔබේ නම?

"මගේ සම්පූර්ණ නම වෙන්නේ රාජතේව මොහොට්ටිලාගේ රංජනී වසන්තා මංචනායක. හැබැයි වැඩි දෙනකු මාව හඳුනන්නේ වසන්ති මංචනායක කියලයි."

උපන්ගම සහ පවුලේ විස්තර සඳහන් කළොත්?

"මම ඉපදුණේ කළගෙඩිහේනේ. මගේ අම්මා කල්‍යාණවතී පතිරණ. ඇය හෙදියක්. පියා පීටර් සෙනෙවිරත්න. රැකියාව කළේ ආහාර දෙපාර්තමේන්තුවේ. මට සහෝදරියෝ තුන් දෙනෙක් සහ එක් සහෝදරයෙක් සිටිනවා."

ඔබ පාසල් කිහිපයකටම ගිහින් තියෙනවා.

"රජයේ සේවකයෝ වුණු මගේ මව්පියන්ට වරින්වර ස්ථාන මාරු ලැබෙනවා. ඉතින් ඒ නිසා අපිට පාසල් කිහිපයකටම යන්න සිදුවුණා. මම මුලින්ම ගියේ රාජගිරියේ පාසලකට. ඊළඟට මතුගම ආනන්දයට. අනතුරුව ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයට. දැන් එය පිරිමි පාසලක් වුණත් අපේ කාලයේ එය මිශ්‍ර පාසලක්."

ඔබතුමිය පුංචි කාලෙ ඉඳන්ම ඉගෙනීමට හරිම කැමැතියිලු?

"ඇත්තටම ඔව්. මම ඉගෙන ගන්න හරිම ආසා කෙනෙක්. මගේ අත් අකුරුවලට ජයග්‍රහණත් හිමි කරගෙන තියෙනවා. උසස් පෙළ හදාරලා විශ්ව විද්‍යාලයට යනකම් මම මරදානේ කාර්මික පාසලට ගියා. විදේශ භාෂා, ඉංග්‍රීසි භාෂා ආදී ඩිප්ලෝමා කිහිපයක්ම කළා. කැලණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා විශේෂවේදී උපාධිය හදාරන අතරේම ශ්‍රී ලංකා නීති විද්‍යාලයෙන් නීති උපාධියත් හැදෑරුවා."

ඔබේ මුල්ම රැකියාව වුණේ තක්සේරු නිලධාරී.

"ඔව්. තක්සේරු නිලධාරිනියක් විදිහට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට එකතුවුණු මම වසර 34ක සේවා කාලයකින් අනතුරුව එයින් ඉවත් වුණේ එහි කොමසාරිස් ජනරාල්වරිය ලෙස කටයුතු කරලයි."

රැකියාවේ යෙදෙන අතරතුරේත් ඔබ ඉගෙනගත්තා.

"අපොයි ඔව්. ඉගෙනීම පිළිබද මට තිබුණේ පිපාසාවක්. තක්සේරු නිලධාරිනියක් ලෙස පුහුණුව ලබන අතරතුරේ තමයි මම නීතිඥවරියක හැටියට දිවුරුම් දුන්නෙ. ඊට අමතරව රාජ්‍ය පරිපාලන ආයතනයෙන් මම ඩිප්ලෝමා කිහිපයක්ම කළා. රාජ්‍ය පරිපාලනය පිළිබඳ පශ්චාද් උපාධිය කළා. කළමනාකරණය පිළිබඳ ඉගෙනගත්තා. ඇත්තටම මේ වාගේ තනතුරක් දරද්දී මගේ ඒ දැනුම හරිම ප්‍රයෝජනවත්. ඉගෙනගත් දෙයක් කවදාවත් අපතේ යන්නෙ නෑ කියලයි කතාවටත් කියන්නෙ."

 

රැකියාවේ යෙදෙමින් අධ්‍යාපන කටයුතුවල යෙදෙනවා කියන්නෙ ඇත්තටම අභියෝගයක්. ඒ අභියෝගය ජයගන්න ඔබට සහයෝගය දුන් අයත් ඇති.

"මගේ සැමියා තමයි මේ හැමදේකම පිටිපස්සෙ ඉඳන් මට පුදුමාකාර සහයෝගයක් දුන්නෙ. ඔහු විජය මංචනායක. විශ්ව විද්‍යාලයේ ඉඳන්ම මගේ මිතුරෙක්. ඒ කාලේ ළඟ ඉඳගෙන මට සුවිශාල සහයක් ලබා දුන්නා. දරුවෝ පුංචි කාලේ ඒ සහයෝගය අසීමිතයි. කෘෂිකර්ම සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ විදිහට කටයුතු කරලා දැන් විශ්‍රාම දිවියක් ගත කරනවා."

එතකොට ඔබේ ආදරණීය දියණියන් ගැනත් මතක් කළොත්...

මට ඉන්නෙ දියණියන් දෙන්නෙක්. ඒ දෙන්නම විවාහකයි. මම දැන් මිනිබිරියන් දෙන්නෙක්ගෙ ආත්තම්මා කෙනෙක්. ඉතින් රැකියාව ඉවරවෙලා හවසට ගෙදර යන්න මඟ බලාගෙන ඉන්නෙ ඒ පුංචි පැටික්කියන්ගේ හුරතල් බලන්න."

ඔබ බොහොම ස්වාධීන චරිතයක් කියලා කිව්වොත් මම නිවැරැදි ද?

"හරියටම හරි. මම පුංචි කාලේ ඉඳන්ම හරිම ස්වාධීනයි. අනුන්ගෙන් යැපෙන්න සූදානම් නෑ කිසිම අවස්ථාවක. ඒ වාගේම තමයි මම කාටවත් කරදරයක්, හිරිහැරයක් වෙන්න කැමැතිත් නැහැ. පුංචි කාලේ ඉඳන් මගේ වැඩ තනියම කරගත්තා. පිළිවෙළ වාගේම පිරිසුදුකම මම හරියට අගය කරන දෙයක්. ඒ නිසා මගේ වැඩ පිළිවෙළයි. පිරිසුදුයි. ඒ පිළිවෙළ තමයි මේ තරම් දුරක් එන්න මට හැකියාව ලැබුණේ. මොකද යහපත් සිතුවිලි සහ පැවැත්මට විශ්වයේ ආශීර්වාදය නිතැතින්ම හිමිවෙනවා කියලයි මම නම් හිතන්නෙ."

ඒ කියන්නෙ කාන්තාවක් විදිහට ඔබට ගේ දොර වැඩ හොඳට හුරුපුරුදුයි කියන එක නේද?

"අපොයි ඔව්. ගැහැනියක් විදිහට ගෙදර දොරේ හැම වැඩක්ම මට හොඳටම පුළුවනි. ඉවුම් පිහුම්, පිරිසුදු කිරීම් විතරක් නෙවෙයි මල් වවන්න, මහන්න, ගොතන්න මේ හැමදෙයක් මට පුළුවනි. තව අදටත් ගෙදර දොරේ කටයුතු සිදුවෙන්නෙ මේ දෑතින් තමයි."

ඔබේ ජීවිතයේ පරමාදර්ශී චරිතයක් තිබුණාද?

"ශ්‍රී ලංකාවේ හිටපු ප්‍රධාන පෙළේ කාන්තා චරිතයකට මම හරිම ප්‍රිය කළා. මගේ තරුණ කාලයේ දී හිතුවේම ඇය වාගේ වෙන්න ඇත්නම් කියලා. ඇය තමයි මගේ ජීවිතයේ පූර්වාදර්ශී චරිතය. අභියෝගාත්මක චරිතයක් වුණු ඈ ජීවිතයේ ඕනෑම අවස්ථාවකට නොබියව මුහුණ දුන් චරිතයක්. ඒ ශක්තිමත් කාන්තා පෞරුෂයට මම හරිම කැමැතියි."

ජීවිතයේ අතපසු වුණු දේවල් එහෙමත් තිබුණාද?

"මගේ හිතේ පුංචි කලකිරීමක් තියෙනවා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට තව සේවය කරන්න බැරිවුණා කියලා. මොකද මම සෑහෙන්න මහන්සි වුණු ඇතැම් ව්‍යාපෘති කඩාකප්පල් වුණා. මහන්සිය, කැපකිරීම් අපතේ ගිය අවස්ථා තිබුණා. හැබැයි එහෙම කියලා තැවි තැවී ඉන්න චරිතයක් නෙමෙයි මම. දැනට HDFC බැංකුවේ සභාපතිනිය විදිහට මම උපරිම සේවයක් ලබා දෙන්න උත්සාහ දරනවා."

අපේ කාන්තාවන් වෙනුවෙන් ලබාදෙන්න පණිවුඩයක් ඇති ඔබට....

" අපේ කාන්තාවන් මනසින් හරිම ශක්තිමත්. ඉතින් ඔබ කරන කාර්යය විශ්වාසයෙන් සහ ශක්තිමත්ව ඉටුකරන්න. ඕනෑම වැඩක් යහපත් චේතනාවෙන් යුක්තව කරනවා නම් එය කවදාවත් වරදින්නේ නෑ. එවිට විශ්වය ඔබට ආශීර්වාද කරනවා."

අපේ ජන සමාජයේ පවුල තුළ කාන්තාව එහෙමත් නැතිනම් මව කියන්නේ සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරන්නියක්. ඉතින් ඇයව බලගැන්වීම සඳහා ඔබේ බැංකුව විසින් ගනු ලබන ක්‍රියාමාර්ග ගැනත් අපි සඳහන් කරමු.

"සෑම නිවෙසකම කුසගිනි නිවන්නී අම්මා. ඉතින් ඇයව ආර්ථිකමය වශයෙන් වාගේම දැනුමෙන් ශක්තිමත් කරන්නට අපි හැමවිටම සූදානම්.

විශේෂයෙන්ම තමන්ගේ දරුපැටව් බලාගෙන නිවෙසේ ඉන්න ගමන් නිරතවිය හැකි ස්වයං රැකියා සඳහා අප සහයෝගය ලබාදෙනවා. සපත්තු සෑදීම, බතික් නිර්මාණය, මල් වැවීම, බිම්මල් සැකසීම, රූපලාවණ්‍යාගාර, කේක් හෝ බේකරි නිෂ්පාදන ආදිය සඳහා අපි ණය මුදල් ලබා දෙනවා.

ඊට අමතරව දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහාත්, විශේෂයෙන්ම මේ දිනවල පවතින ඔන්ලයින් අධ්‍යාපනය සඳහා අවශ්‍ය පරිගණක, ලැප්ටොප් ආදිය වාගේ දේවල් මිලදී ගන්නටත් අපේ සහය ලබා දෙනවා."වරුසප්පෙරුම

 

 ඡායා - ශාන් රූපස්සර