නෙළුම් පෙත්තක හැඩැති දිවක් ඇති භාග්‍යවන්තිය හඳුනා ගනිමු

ඔක්තෝබර් 20, 2021

චත්‍රයක් හෝ පියුම් පතක ලකුණු දිවේ පිහිටීමෙන් පිරිසක් පාලනය කරන චරිතයක් වේ. දිව රත් පැහැයෙන් තරමක් දිගැටිව ඇත්නම් භාග්‍ය සම්පන්න වේ

එදිනෙදා ජීවිතයේ ඔබ ඇසුරු කරන බොහෝ දෙනෙක් ඔබේ සමීපතම යහළුවකු හෝ යෙහෙළියක කර ගන්නට නොහැකි බව ඔබට වැටහී ඇති. එයට හේතුව පුද්ගලයාගෙන් පුද්ගලයාට ගතිගුණ, හැසිරීම, කතා බහ වෙනස් වීමයි. එසේම ඇතැම් අයකු ඉතාමත් හොඳට කතා කළත්, දිය යටින් ගින්දර ගෙනයන විදිහේ අයකු බව වැටහෙන විට ඔබ ප්‍රමාද වැඩි විය හැකියි. විශේෂයෙන් ඔබ ඇසුරු කරන ඉතාමත් හොඳ ගතිගුණ ඇති අයකු පවා, තවත් අයකුගේ කතාවකින්, කේලමකින් ඔබ සමඟ සදාකාලිකව තරහා විය හැකියි. එහෙත් මෙවැනි අයකු කල්තබා හඳුනා ගත හැකි නම්. ඔව්, තරුණී සිරුරේ රහස් ලිපි පෙළින් ඔබට කෙනකුගේ ශරීරයේ පිහිටීම අනුව ඒ ඒ පුද්ගලයා කෙබඳු අයකුදැයි දැනගැනීමට හැකියාව ලබා දෙනවා.

 

විශේෂයෙන් ඔබ ඇසුරු කරන ඇතැම් අයකුගේ මුවින් පිටවන වචන වලින් ඔබේ සිත් රිදෙන්නට හැකිය. ඒ වචන වලින් ඔබට අනර්ථයක් විය හැකිය. කටවහා දෝෂ යනුවෙන් හඳුන්වන මෙවැනි දේ සෘණාත්මක දේ වලින් අපේ සිත් වලට බොහෝ බලපෑම් කළ හැකියි. ඒ නිසා කෙනකු වචන හසුරුවන්නට භාවිත කරන දිවේ පිහිටීම ගැන දැනුවත් නම් එවැනි අය කල්තබා හඳුනා ගත හැකිය.

ඔබ කෙදිනකවත් හිතුවාද කෙනෙක්ගේ දිව පිහිටීම, එහි පැහැය, හැඩතලය අනුව ජීවන තතු කිව හැකි බව. ඔව් එය සැබෑවකි. දිව පිහිටීම අනුවද දේහ ලක්ෂණ විද්‍යාවෙන් අනාවැකි පළ කළ හැකියි.

"එයාගෙ දිවේ කළු ලප තියෙනවා. අම්මෝ එයාගෙන් කටවහ වැදෙනවා."

සමාජයේ බොහොමයක් දෙනා ඔය දේ කියනවා. එතැනින් එහාට නම් ලොකු අනාවැකියක් කියන්නට එතරම් අවබෝධයක්, දැනුමක් නැහැ.තරුණී අප ඔබට මේ ලිපි මාලාව ගෙන එන්නේ ඔහුගේ / ඇයගේ ශරීර ලක්ෂණ අනුව යහගුණ හා දුර්ගුණ හඳුනා ගැනීමටයි. එම පුද්ගලයා තම ඇසුරින් ඉවත් කිරීමට නම් නොව පුද්ගල ගතිගුණ හඳුනාගෙන ඇසුරු කිරීමටයි.

* යම් කෙනකුගේ දිව රත් පැහැයෙන් තරමක් දිගැටිව ඇත්නම් භාග්‍ය සම්පන්න වේ. සැප සම්පත් හිමි වේ. යස ඉසුරු කීර්තිය ද ඇති වේ.

* දිව මොලොක්ව නෙළුම් පෙත්තක් සේ ඇත්නම් එය ඉසුරුමත් බවේ ලකුණකි. එසේ දිව පිහිටන යුවතිය මනා ගෘහ ජීවිතයක් ගෙවයි. ඇයට ඇත්තේ වාසනාව පිරි යුග දිවියකි. එවැන්නියක බිරිය කරගත් පසු සැමියාට භාග්‍යය, වාසනාව වහා උදාකර දේවි. ඈ දිරිය කතකි.

* චත්‍රයක් හෝ පියුම් පතක ලකුණු දිවේ පිහිටීමෙන් පිරිසක් පාලනය කරන චරිතයක් වේ. ඒ ලකුණු පිහිටන්නේ ඉතා කලාතුරකිනි. මනා භාග්‍යවන්ත ලක්ෂණයකි. ජනප්‍රසාදය ඇත්තියකි. වාසනාවේ නිම්හිම් නැත.

* රළු වූ පළල් වූ දිවක් ඇත්නම් බොහෝ විට බොරු කියන සටකපට වංක වූ අයෙකි. සැරපරුෂ ගති ඇත්තියකි. දුෂ්ඨකම්වලින් පිරී යන්නේය. අවාසනාවේ ලකුණකි. මැදි වියේ දී කරදරවලට මුහුණපාන්නට සිදුවේ.

* දිව මැද පැලී ඇත්නම් කළු ලප ඇත්නම් එවැනි කාන්තාවක් බොහෝ දුෂ්ඨ ගතිගුණ පිහිටියෙකි.. ජීවිතකාලයම දුක්විඳී. විවාහය වාසනාවන්ත නැත. සතුටින් කල් ගෙවන්නේම නැත. උපන් දරුවන් සතුරුවේ. දරු සම්පත්වලටද ගැටලු ඇති වේ. හැමදාමත් හැඬූ කඳුළින් කල් ගෙවන්නීය.

* සුදුමැලි දිවක් ඇත්නම් රෝගී බවින් යුක්ත වේ. නිතර නිතර රෝග වැළඳේ. රක්ත හීනතාවයෙන් පෙලේ. අනතුරුවලට ද මුහුණදේවි. භාග්‍යය හීනවී යයි. වාසනාව නොමැති වේ. බොහෝ විට එවැන්නියකගේ ජීවිතය ප්‍රශ්නවලින් හිර වී තිබේ.

 

* රත් පැහැති මහනෙල් මල් පෙත්තක හැඩැති දිවකින් නිතර නිතර දෙතොල් ස්පර්ශ කරමින් සිටින්නී මායම් ඇත්තියකි. කාමාග්නියෙන්, අනුරාගී බවක් ඉස්මතු වී පෙනෙන කෙනෙකි. වරදෙහි බැඳේ. යුග දිවිය අවුල්වන තැනට පත්කර ගනී. විවාහ කීපයකට හේතු සාදන්නියකි.

 

උපදෙස් -

ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී

බෙම්මුල්ලේ හෙන්රි