දැරියන් කාමාතුරයන්ගෙන් බේරාගන්නා භාරතයේ යකඩ ගැහැනිය සුනීතා ක්‍රිෂ්ණන්

ඔක්තෝබර් 20, 2021

 

පින්නෙන් නැහැවී පිපෙන්නට අර අඳින මල් කැකුළියක් සුළඟ සමඟ දඟකාරකම් කරනවා. ඒත් මල් කැකුළ දන්නේ නැහැ මේ සුළඟටම තමන්ගේ පෙති අඹරවා කෑලිකර ඈතටම විසි කර දමන්නට හැකි බව.

මහ පොළොවට ම පෙති වැටුණත් පෙතිවල පැහැයවත් සුවඳවත් විනාශ කරන්න සුළඟට බැහැ. පහළොස් හැවිරිදි සුනීතා ක්‍රිෂ්ණන් ද සමාජය නම් සුළි සුළඟින් තැලී පොඩි වුණු මල් කැකුළියක්. ඒත් දිරිමත් ඇය තමන්ගේ ඉලක්කවලට සුළි සුළඟට ගසා ගෙන යාමට ඉඩ දුන්නේ නැහැ. ඇය වයස පහළොවක් තරම්වූ හිරිමල් වයසකදී ඒ වයසේ දැරියකට මුහුණ දීමට සිදුවන අතිශය අමානුෂික වේදනාකාරී කටුක අත්දැකීමට මුහුණ පෑවා. හැඩිදැඩි කාමුක පිරිමින් අට දෙනෙක් ඇයව සමූහ අපයෝජනයකට ලක් කළේ ඊර්ෂ්‍යාව, ද්වේෂය පරවශ චේතනාවෙන්. මෙවැනි සාපරාධී අපරාධයක් මේ තිරිසනුන්ටත් අන්ත මිනිසුන් විසින් සිදුකළේ දාලිත් නම් කුලහීන ප්‍රජාවේ කියවන්න ලියන්න නො දන්නා පිරිසට ඇය අකුරු උගන්වන්නට යාම නිසයි. සුනීතා සමාජ සද්කාරයට ම මිහිපිට උපන් දියණියක්. වයස අවුරුදු අටේදී අනෙක් දැරියන් බෝනික්කන් වඩා ගෙන සෙල්ලම් කරද්දී ඇය කළේ මානසික දුබලතා ඇති දරුවන්ට නර්ථනය ඉගැන්වීම. වයස අවුරුදු පහළොවේදීම සුනීතා දිළිඳු දරුවන් වෙනුවෙන් පාසලක් පවත්වා ගෙන ගියා. ඒ පාසලේ ළමයි සියයකට වඩා ඉගෙනුම ලැබුවා. තවමත් බමුණු මත රජයන ඉන්දීය සමාජයට ගැහැනු දරුවකු ගේ නායකත්වය ඇසට කටු අනින්නාක් වගේ අත්දැකීමක්. ගමේ පිරිමින් සුනීතා දෙස බැලුවේ වපර ඇසින්. සුනීතාට තිබුණේ කෙල්ලකු ගේ ගතිවලට වඩා කොල්ලකුගේ දඩබ්බර ගති. ඒ නිසාම මාපියන් ඇය කරන කියන දේ ආණ්ඩු මට්ටු කරන්න ගියේ නැහැ. ඇය ගේ එඩිතර නායකත්වයත් අඩු කුලේ සමාජයට කරන සද්කාරයත් නිසා ගමේ නො මිනිසුන්ගේ කෝපය තවත් වැඩි වුණා. තිරිසනුන්ටත් අන්ත පහත් ගති ඇති අධමයන් අට දෙනෙක් ඒකරාශී වී සුනීතා තනිවූ මොහොතක අපයෝජනය කළේ ඇය ගේ අවසානය එය වේයැයි සිතායි. අපයෝජනයෙන් නො නැවතුණු ඒ දෙපා තිරිසනුන් එදා ඇයට දුන් කනේ පහරින් එක් කනක් අඩකින් ම වාගේ ඇසෙන්නෙ නැතිව ගියා. අදටත් සුනීතා ගේ එක් කනක් අඩ වශයෙන් බිහිරියි. මේ සිදුවීම ඇය ජීවිතයට කනේ පහරක් කර ගත්තේ නැහැ. සුනීතා ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය කරගත්තේ අපයෝජනයේ, කනේ පහරේ දැඩි වේදනාවයි. බොහෝ දැරියන් මෙවැනි අත්දැකීමකින් ජීවිතය කඳුළු සයුරක් බවට පත්කර ගන්නවා. එහෙත් ඇය කඳුළට බිමට වැටෙන්නට ඉඩ දුන්නා. හින්දි සිනමාපටවල මෙන් තමන්ට හිංසා කළ අධමයන් එකිනෙකාගෙන් පලි ගන්නට උපක්‍රම යෙදුවේ ද නැහැ. එවැනි පහත් පුද්ගලයන්ට දියහැකි හොඳම කනේ පහර මල් කැකුළුවන් දැරියන් ඔවුනට බිලිවන්නට නොදී රැක ගැනීම බව ඇයට වැටහුණා. තමන්ගේ කඳුළ කාන්තාවන් සිය දහස් ගණනක ගේ සිනාව බවට පත් කරන්න ඇය එදා පටන්ම වෙහෙසුණා.

අභියෝග සුනීතා ගේ ජීවිතයට අලුත් දෙයක් වුණේ නැහැ. ඇය ඉපදුණේ ද දෙපා විකෘති දැරියක විලසින්. භෞත චිකිත්සකවරුන් ගේ උදව්වෙන් මාපියන් ඇය පොළොවේ පය ගසා යා හැකි දියණියක බවට පත් කළා.

වයස අවුරුදු අටෙන් ඇරැඹූ සමාජ සද්කාරයට මඳ විරාමයක් දී සුනීතා අධ්‍යාපනයෙන් ඉදිරියටම පියවර තබන්න ගත්තා. ඇය පාරිසරික විද්‍යාව පිළිබඳ උපාධිය ලැබුවා. ඉන්පසු ඇය කාලය කැප කළේ අපයෝජනයට ලක්වන හා ගණිකා වෘත්තියේ යෙදී සිටින කාන්තාවන්, දැරියන් පිළිබඳ පර්යේෂණ කටයුතුවලටයි. පසුව ඇය මනෝ සමාජීය ක්‍රියාකාරිත්වය පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා ගත්තා.

අධ්‍යාපනයෙන් අත්දැකම්වලින් සන්නද්ධ වුණු සුනීතා සිය සමාජ සද්කාර සටන ඇරැඹුවා. දියණියක් දිවි පරදුවට තබා අභියෝගවලට මුහුණ දෙනවා දකින්න කිසිම මවක් පියෙක් කැමැති නැහැ. විශේෂයෙන් දැරියන් සාම්ප්‍රදායික බැමිවලින් බැඳ ඇති සමාජයක එය උඩුගං බලා යනවාක් වැනි දෙයක් බව ඔවුන් දැන සිටියා. යළිත් වරක් දියණිය ගේ ජීවිතය විනාශ වනු දක්නට අකැමැති නිසා මෙවර නම් සුනීතාට තහංචි වැටුණා. සුනීතා මාපියන්ගෙන් වෙන්වී හයිද්‍රාබාද් පැමිණියේ නිදහසේ තම සටන ගෙන යන්නයි. වයස අවුරුදු පහළොවේදී හදවතේ දැල්වුණු ගිනි පුපුර ලැව් ගින්නක් වන්නට පටන් ගත්තා. භාරතය කියන්නේ කාන්තාවන්, දැරියන් විශාල වශයෙන් අපයෝජනයට ලක්වෙන, මිලියන ගණන් දැරියන් හා කාන්තාවන් ගණිකා වෘත්තියට අලෙවි වන රටක්. වයස අවුරුදු තුනේ දැරියන් පවා ගණිකා නිවාසවල සිටින, වයස අවුරුදු දහයේ දැරියක පැය දොළහකදී දෙදහසකට ආසන්න පිරිමින් අන්තර්ජාලය හරහා මිලදී ගන්නා මහා රාජ්‍යයක සුනීතාට බොහෝ දේ කිරීමට තිබුණා. ඇය තමන් ගේ සියලුම රන් අබරන, නිවෙසේ බඩු මුට්ටු බොහොමයක් විකුණා හදවතේ උපන් ගිනි පුපුරට ජීවන සුසුම් පිම්බා. " ප්‍රජ්වාලා " ඇය ඒ ජීවන හුස්මට දුන් නාමයයි. දැරියන් හා කාන්තාවන් අපයෝජනයෙන් වැළැක්වීම, ආරක්ෂාව ලබාදීම, බේරා ගනීම, පුනරුත්ථාපනය හා යළි සමාජගත කිරීම සුනීතා ගේ ජීවිතයේ එකම අරමුණ වුණා. ප්‍රජ්වාලා ඇරැඹුණේ "මෙහෙබුබ් කි මෙහෙන්දි " නමින් හඳුන්වන ගණිකා පාරාදීසයෙන්. ගණිකා නිවාස හිස්කර ඒවා පාසල් බවට පත් කරන්න සුනීතා පියවර ගත්තා. අද ඇය ගණිකා වෘත්තියේ යෙදුණු මවුවරුන් ගේ දූදරුවන් වෙනුවෙන් පාසල් විසි එකක් පවත්වා ගෙන යනවා. දූදරුවන් දස දහසකට වඩා ඒ පාසල්වල අධ්‍යාපනය ලබනවා. මීළඟ පරම්පරාව අපයෝජනයෙන් වළක්වා ගැනීම ඇය ගේ ඒකායන අරමුණයි. දිළිඳුකම නිසා පමණක් නොව මුහුණු පොතින් වට්ස්අප් නිසා අපයෝජනයට ලක්වන, නිල් සිනමා පටවලට ගොදුරුවන කාන්තාවන් ගණන වැඩිවී ඇති බැවින් සුනීතා දැන් වෙනදාටත් වඩා කාර්ය බහුල කාන්තාවක්. කාමාතුරයකු ගේ ගොදුරක් බවට පත්වන දැරියක්, කාන්තාවක් කරන්නේ ලජ්ජාවට පත්වී සමාජයෙන් කොන්වී ජීවිතය අඳුරුකර ගැනීමයි. එසේ නො කළ යුතු බව සුනීතා ලොවට ම කියා දුන්නා. ඇය පවසන්නේ ලජ්ජා විය යුත්තේ දූෂිතයා බවයි. ලිංගික හිංසනයට එරෙහි සමාජ සද්කාරයට සුනීතා පිය නඟන්නේ රෝසමල් ඇතිරූ මාවතක නො වෙයි. ඇය සමඟ සටන් වදින්නේ බිහිසුණු අපරාධකරුවන්. මරණ තර්ජනවලින්, පහරදීම්වලින් සුනීතාට අඩුවක් නැහැ. ඇයට දාහතර වරක් මේ වන විට මැර ප්‍රහාර එල්ලවී තිබෙනවා. වරක් ඇය ඇසිඩ් ප්‍රහාරයකට ද ලක් වුණා. දිනපතා ම වාගේ සුනීතාට මරණ තර්ජන එල්ල වෙනවා. මේ කිසිවක් සුනීතා සිය ඉලක්කයට බාධාවක් කර ගෙන නැහැ. ඇය ගේ ගමනට සහාය වන්නේ ඇය හා සමාන ම සිතුම් පැතුම් ඇති සැමියා රාජේශ් ටච්රිවර්. සුනීතා - රාජේශ් පෙමට මුල පිරුණේ සිනමා පිටපත් රචනයෙන්. සුනීතා කාන්තා ගැටලු සම්බන්ධ වෘතාන්ත සිනමා පට 14 ක තිර රචනය කර තිබෙනවා. ඇය ගේ අනාමිකා වෘතාන්ත සිනමා පටය සම්මාන දිනා ගත්තා. රාජේශ් පිටපත් රචකයෙක් වගේම සිනමා අධ්‍යක්ෂවරයෙක්.

සුනීතා ක්‍රිෂ්ණන් අද භාරතයේ අසරණ කාන්තාවන් දැරියන් සිය දහස් ගණනක ගේ දයාබර මාතාවයි. රටේ විවිධ ප්‍රදේශවලින් බේරා ගන්නා ඕනෑම දැරියක, කාන්තාවක සමඟ ඇය ගේ ප්‍රාන්ත භාෂාවෙන් කතා කිරීමට සුනීතා ට පුළුවන්. ඒ අසරණියන් වෙනුවෙන් රටේ සෑම ප්‍රාන්ත බසක් ම ඇය ඉගෙන ගෙන තිබෙනවා. ඇයගේ සෙවණට පැමිණි දූවරුන් උසස් අධ්‍යාපනය ලබා වෛද්‍ය වෘත්තිය ඇතුළු ඉහළ පෙළේ වෘත්තීන්හි නියැ‍ළෙනවා. පිරිමින්ට සීමාකර ඇති වඩු වැඩ වැනි වැඩවල පවා යෙදෙන කතුන් සිටිනවා. ප්‍රජ්වාලාහි සේවය කරන වැඩි දෙනෙක් අපයෝජනයට ලක්වී සුනීතා විසින් බේරා ගන්නා ලද කාන්තාවනුයි. තමන්ට අහිමි වුණු දෙය ඊළඟ කාන්තා පරපුරට හිමිකර දීම ඔවුන් ගේ පැතුමයි. හතළිස් නව හැවිරිදි සුනීතා නම් භාරත දියණිය මේ වන විට දෙස් විදෙස් සම්මාන ගණනකින්ම පිදුම් ලබා තිබෙනවා. ඉන්දීය රජයෙන් පිරිනමන පද්ම ශ්‍රී සම්මානය ඒ අතරින් සුවිශේෂීයි.

" කාන්තාවෙනි, කඳුළට බිම වැටෙන්න ඉඩ දෙන්න. සිනාසී ජීවිතය ජයගන්න. ඒ සිනාව කඳුළු පිසදා නැඟී සිටින්නට සුවහසක් කාන්තාවන්ට ඉනි මඟක් කරන්න. " සුනීතා ගේ දිවි ගමන ලොවට නිහඬව කියයි.

 

අන්තර්ජාලයෙනි

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.