නෙත් අඳ මුත් නෙත් දහසක් ඇතිසේ ලෝකය දකින දිය කිඳුරිය අසාන්ති

නොවැම්බර් 3, 2021

 

මේ කව් පන්තිය ඇගේ ජීවිත යථාර්ථය හෙළිදරව් කරන කැඩපතක් වැනිය.

අසන්ති රුවන්මලීද සිල්වා....

කවිය , ගීතය, කෙටිකතාව, නව කතාව, සහ විචාරය ජීවිතයේ ගමන්මග කරගත් නව පරපුරේ දක්ෂ කලාකාරිනියක් වගේම දුකදිනා ජීවිතය ජයගත් දිරිය කතකි.

ඇය මේ සියල්ල කරන්නේ ඔබ මා මේ ලෝකය දකින මසැසින් බලා නොව මනසින් බලාය. ‘නෙත් අඳ මුත් නෙත් දහසක් ඇතිසේ ලෝකය දකින්නෙමි‘ යන කියමන යථාර්ථයක් කරමින් නෙත් ඇති බොහෝ දෙනකුටවත් කරන්නට අපහසු දේ කර පෙන්වමිනි.

ඇගේ නිර්මාණ අතර චමිරා චතුරංගි ගයන දළදා මැදුරේ ගීතය , 2019 ජාතික රූපවාහිනීය විකාශය කළ හුස්ම හෙලන පන්හිද කෙටිකතාව (ජාතික කාන්තා දිනය වෙනුවෙන්) සුනෙත්ලිය සඟරාවේ සුන්දර මොහොත කෙටිකතාව පාඨක සිත් සතන් ඇද බැද තබන්නට සමත් වී ඇත.

මේ දිනවල මුහුණුපොතේ touch and sense ඇගේ පිටුව කොටස් වශයෙන් පලවන නවකතාවක් ඇතුළු නිර්මාණ ගණනාවක් පාඨකයන්ට ඉදිරිපත් කොට ඇත.

ඇගේ නිර්මාණ කියවන, දකින, රසවිඳින බොහෝ දෙනෙක් නොදන්නා කරුණක් තිබේ. මේ නිර්මාණ යට දුක සඟවා ගත් දෑස් නොපෙනෙන රුවක් සිටින බවය.

මිනිස් සිතේ හාස්කමින් පල නෙළන මේ අපූරු කලාකාරිනිය ජීවිතයේ තවත් ඉසව්වක් තරණය කරමින් සිටී.

ඇය දක්ෂ පිහිණුම් ශූරියක් ලෙසද ජීවිතයේ තවත් සුවිශේෂී කඩඉමක් පසුකරමින් සිටී.

2016 වසරේ ප්‍රවීණයන්ගේ පිහිණුම් ඉන්දු ශ්‍රීලංකා තරගය ලෝකඩ පදක්කම දිනාගත් ඇය 2018 වසරේ ගල්කිස්ස මුහුදු තීරයේ එකම කාන්තා පිහිණුම් නියෝජනය වූවාය. එසේම 2019 වසරේ මීටර් 600 ද්විත්ව පිහිනුම් තරගය (අයන් මෑන්) දියගොඩ තරණය කරමින් ලෝකඩ පදක්කම දිනාගත්තේ ඇයයි. 2021 අප්‍රේල් "රේන්බෝ" ජල ක්‍රීඩා සමාජය මීටර් 25/50 ළය ආර පිහිණුම් තරග ඉසව්වේ දෙවැනි ස්ථානය ඇය ජයග්‍රහණය කරන විට තරග නරඹන්නන් අසුන්වලින් නැගිට ඇයට ගෞරව පුද කළේ නෙත් නොපෙනුනත් සිතින් මෙන්ම ගතින්ද අධිෂ්ඨානය ජයග්‍රහණයක් කරන්නට ඈ සමත් වු නිසාය.

මේ සුවිශේෂී ජයග්‍රහණය පිටිපසු ‘රේන්බෝ‘ අධ්‍යක්ෂක හා පිහිණුම් උපදේශක ජුලියන් බෝලින් මහතා සිටින අතර ඔහුගේ මඟපෙන්වීම පිළිබඳව ඈ සිය කෘතවේදීත්වය පළකර සිටී.පෞද්ගලික පුහුණුකර ලෙසට කටයුතු කරන පේණුක විජේමාන්න මහතාවද ඇය හදවතින් සමරයි.

මේ සුවිශේෂී හැකියාවන්ට අමතරව ඇය නිවසේ සියලු කටයුතුද සිදු කරන්නේ තනිවමය. ඇය මේ තත්වයට ආවේ බ්‍රේල් ක්‍රමය අභිබවනය කරමින් විශේෂිත වූ කථන මෘදුකාංගය ( software computer system) ක්‍රමය ඉතා කැපවීමෙන් හැදෑරූ නිසාය. ඒ තුළ touch and sence ක්‍රමවේදය මුහුණු පොතින් ඇගේ නිර්මාණ අතරට පිවිස ඇත. ඇගේ නිර්මාණ සහ ජීවිතයේ සියලු කටයුතු පිටුපස සිටින එරංග හර්ශන ඇගේ සැමියා විපතේදී අත්නොහරින උතුම් මිනිසෙක් බව ඇය කියයි.

ඔහු සැබෑ ආදරයක සංසාර පුරුද්දක් මෙන් තමාගේ ජීවිතයේ සියලු ක්‍රියාකාරකම් සහය දෙන බව ඇය කියන්නේ කෘතවේදීත්වය පිරුණු හදිනි.

https://www.facebook.com/asanthi.ruwanmani (asanthi ruwanmani (touch and sence official page) පාඨක ඔබට නැරඹිය හැකිය.

 

 

 

සටහන සහ ඡායාරූප -

කල්‍යාණ ප්‍රිය රණසිංහ

හොරණ සමූහ