වර්ෂ 2025 ක්වූ May 19 වැනිදා Monday
අකලට නිවීගිය දැල්පන්දු තාරකාව මෙලනි

මෙලනි අමා විජේසිංහ.... ඇය ශ්‍රී ලංකා දැල් පන්දු පිටියට පෑයූ දක්ෂ තාරකාවකි. එලෙසින්ම ඇය දැල්පන්දු කණ්ඩායමේ අනාගත බලාපොරොත්තු දල්වා තැබූ උප නායිකාව වන්නේ ද ඉතාම ළාබාල වයසේදීමය.
කොළඹ විශාඛා විද්‍යාලයේ දිදුළන සිසුවියක්ව සිටි මෙලනි ක්‍රීඩාවට මෙන්ම ඉගෙනුමට ද එකලෙස උපන් හපන්කම් දැක්වූ ශිෂ්‍යාවකි. අනාගතය පිළිබඳ බොහෝ බලාපොරොත්තු තැබිය හැකි වූ මේ දක්ෂ ක්‍රීඩිකාවට දිනෙක අප රට රනින් බබළවන්නට හැකි බව කාගෙත් අපේක්ෂාව විය. අවුරුදු 17 ක් වූ මෙම පුංචි ක්‍රීඩා තරුව කවුරුත් නොසිතූ ලෙසින් මෙලොවින් සමු ගත්තේ කාගෙන් දෙනෙතට කඳුළක් එක් කරමිනි.
ඇයගේ මේ හදිසි වියෝවෙන් මහත් සේ කම්පා වූ සහෘද මිතුරියක් වන විශාඛා විද්‍යාලයේ අමාෂා ඉන්ද්රවර්ණ ප්‍රනාන්දු දියණිය මෙලනීගේ සමුගැනීම වෙනුවෙන් තැබූ ඉහත කවි පදවැල් පෙළ බෙහෙවින්ම හැඟුම්බරය. තම හදවතින්ම නැගුණු දුක වාවා ගන්නට නොහැකි ඇයගේ හිතවතියන් ගුරුවරුන් හා නැදෑ හිතවතුන් මහත් සේ කම්පාවෙන් ඇය ගැන සිහිපත් කරන්නේ දැඩි වේදනාවෙනි.
මේ වේදනාව තදින්ම දැනෙන්නේ මෙලනී වෙනුවෙන් දිවා රෑ නොබලා වෙහෙස වූ මවුපියන්ටය. ඔවුන් තම දරුවාගේ හදිසි සමුගැනීම තවමත් සිහිනයක් දැයි සිතයි. මහමෙරක් තරමට බලාපොරොත්තු දල්වා බලා සිටි මෙලනීගේ ආදණීය අම්මා චන්ද්‍රිකා දමයන්ති තම දුක හිත තුළ රඳවාගෙන ඇය ගැන සිහිපත් කළේ මහත් වේදනාවෙනි.
“අපට දුවයි පුතයි විතරයි ඉන්නේ. ලොකු දුව තමයි මෙලනි. එයා පුංචි කාලේ පටන්ම හැම දෙයකටම දක්ෂ දරුවෙක්. ඉගෙන ගන්න, ක්‍රීඩාවට දෙකටම පුදුම දක්ෂතාවක් තිබුණා. මුලින්ම මෙලනි ගියේ කිරිබත්ගොඩ විහාර මහා දේවි විද්‍යාලයට. එයා ශිෂ්‍යත්ව විභාගය හොඳට පාස්වුණා. ඊට පස්සේ තමයි විශාඛා විද්‍යාලයට දැම්මේ. එයා සාමාන්‍ය පෙළත් හොඳටම පාස්වුණා. ඒ කාලේ තමයි දුව ක්‍රීඩාවටත් යොමු වුණේ. එතකොට එයාට අවුරුදු 12 ක් විතර ඇති. ඒ කාලේ දුව පිහිනුම් ක්‍රීඩාවත් කළා. ඇත්තටම දුව ඉගෙන ගන්න දක්ෂ නිසා තමයි උසස් පෙළ ජීව විද්‍යාව තෝරා ගත්තේ. එයා ක්‍රීඩාවට කොයි තරම් මහන්සි වුණත් අධ්‍යාපන වැඩ කිසිම අතපසුවීමක් නැතුව කළ නිසා අපි කිසිම දවසක එයාට ක්‍රීඩාවෙන් ඈත් කරන්න උත්සාහ කළේ නැහැ.
එයා අන්තිමටම ජාත්‍යන්තර තරගයකට ගියේ ජපානයට. එහෙදී දුවට සෙල්ලම් කරන්න බැරි වෙලා අත කැක්කුමක් ඇවිත් තියෙනවා. එතකොට ඒ අතේ කැක්කුමට වේදනානාශක බෙහෙත් දීලා තියෙනවා. එයා ලංකාවට ඇවිත් ටික දවසක් ඉන්නකොට තමයි කුරුණෑගල ක්‍රීඩා තරගයක් පටන් ගත්තේ.
එයාගේ අතේ අමාරුව නිසා පුහුණු කරන ගුරුවරු කිව්වා එයාට රෙස්ට් කරන්න කියලා. නමුත් එයාට හරි ආසාවක් තිබුණා සෙල්ලම් කරනවා පොඩ්ඩක් තරග බලන්න. ඒ නිසා අපි පහුගියදා තිබුණු කුරුණෑගල තරගයට ගියා.
එහිදී දුව යාළුවෝ සෙල්ලම් කරනවා බලාගෙන හිටියේ පුදුම ආසාවෙන්. එයා මට පොඩි වෙලාවක් සෙල්ලම් කරන්න දෙන්න කියලා රුචිරා ටීචර්ගෙන් ඉල්ලුවා. ඊට පස්සේ විනාඩි පහකට එයාව සෙල්ලම් කරන්න දැම්මා. හැබැයි දුවට විනාඩි දෙක තුනක් යනකොට සෙල්ලම් කරන්න බැරුව කලන්තේ දාලා වැටුණා.
අපි ඉක්මනටම කුරුණෑගල හොස්පිටල් එකට ගිහින් ප්‍රතිකාර කළා. එහිදී බ්ලඩ් ටෙස්ට් කළාම එයාගේ හිමොග්ලොබින්, සුදුරුධිරානු අඩුයි කියලා කිව්වට පස්සේ දරුවාට හොඳට කන්න බොන්න දුන්නා. අපි හිතුවේ දරුවා ජපානෙදිත් කාපු නැති නිසා ඇඟ දුර්වල වෙලා තමයි මෙහෙම කලන්තේ දැම්මේ කියලා. පහුවෙනිදා දරුවාගේ බ්ලඩ් කවුන්ට් එක වැඩි වෙලා තිබුණා.
හැබැයි ආයෙමත් තවත් අඩුවුණා. එහිදී ඩොක්ටර්ස්ලා කිව්වේ දරුවාගේ ලේවල ප්‍රශ්නයක් තියෙනවා කියලා. එදා රෑ අපි දුවව කොළඹ ජාතික රෝහලට ගෙනාවා. ඊට පස්සේ ජාතික රෝහලේ ප්‍රතිකාර කළා. ටික දවසක් ප්‍රතිකාර කරනකොට දරුවාට සනීප වුණා.
ඊට පස්සේ අපි ගෙදර එක්කරගෙන ගිහින් සායනයට එක්කරගෙන ආවා. දවසක් දරුවා තෙමිලා උණ හෙම්බිරිස්සාව හැදුණා. එයාට ටිකක් අමාරු වුණා. ආයෙමත් ප්‍රතිකාර කරගෙන යනකොට වෛද්‍යවරු කිව්වා මෙයට කරන්න තියන ප්‍රතිකාර කරලා තියෙන්නේ රෝගය හොයාගන්න බැරි නිසා මහරගම අපේක්ෂා රෝහලට යවනවා කියලා. ඊට පස්සේ ර්අධ් වාර්තාවකුත් අරගෙන මහරගමට යැව්වට පස්සේ 18 වැනි දවසේ දරුවාට අමාරු වුණා. 20 වැනි දවසේ හුඟක් අමාරු වෙලා තමයි මිය ගියේ. ඇත්තටම මේ සිද්ධිය අදහා ගන්නත් බැහැ. වෛද්‍යවරු කියන්නේ ලේවල ජානමය ප්‍රශ්නයක් තියෙනවා කියලා.
2019/10/30 තරුණි පුවත්පත බලන්න