වර්ෂ 2025 ක්වූ May 19 වැනිදා Monday
මම සංගීතය හදාරනවා කිව්වම, තාත්තා බොහොම සතුටු වුණා

පසුගිය දා පදනම් ආයතනයේ දී හරි අපූරු එළිදැක්වීමක් සිදු වුණා. කොරෝනා ව්‍යසන සමයේ කලා නිර්මාණයක් එළි දැක්වූ ප්‍රථම අවස්ථාව එයයි.
කුමාර තිරිමාදුරගේත් සරත් කොතලාවලගේත් සිනමා අධ්‍යක්ෂණයක් සහ ආචාර්ය බන්දුල ගුණවර්ධනයන්ගේ නිෂ්පාදනයක් වන 'ද නිවුස්පේපර්' සිනමා පටයේ අම්මා නොවේ බුදු වන්නේ නුඹයි පුතේ ගීතය එළිදැක්වීම එලෙස සිදුවුණා.
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ පද රචනයට විශාරද නන්දා මාලිනිය ගායනා කරන මේ ගීතයේ සංගීත නිර්මාණය කළේ සංගීත අධ්‍යක්ෂක ගයත්‍රි කේමදාස සංගීතවේදිනියයි. දැවැන්ත සංගීත අධ්‍යක්ෂකවරයකු වන ප්‍රේමසිරි කේමදාසයන්ගේ බාල දියණිය ඇයයි. ඇගේ සංගීතයෙන් රසවත්වන මේ ගීතය ගැනත් ඇගේ තොරතුරු ගැනත් කතා බහ කරන්න තරුණී සමඟින් එකතු වුණා
ද නිවුස්පේපර් සිනමාපටයේ සංගීත අධ්‍යක්ෂණය කරන්න ඔබට අවස්ථාව ලැබුණේ කොහොම ද?
මේ සිනමාපටය කුමාර තිරිමාදුර අයියගෙත් සරත්කොතලාවල අයියගෙත් අධ්‍යක්ෂණයක්. නිෂ්්පාදනයෙන් දායක වුණේ අචාර්ය බන්දුල ගුණවර්ධන, එච්. ඩී. ප්‍රේමසිරි සහර රවීන්ද්‍ර ගුරුගේ යන අය. මේක අවුරුදු ගණනක් ඇදි ඇදී තිබුණු පිටපතක්. කොහොම හරි සරත් අයියගෙත් කුමාර අයියගෙත් කැපවීම නිසාම මේ චිත්‍රපටය නිර්මාණය කරගෙන ගියා.. මෙහි සංගීත අධ්යක්ෂණයට කුමාර අයියයි සරත් අයියයි මට කතා කළා. මොකද ඒ දෙන්නාගේ 'තණ්හා රති රඟා' චිත්‍රපටයටත් සංගීත අධ්යක්ෂනයෙන් දායක වුණේ මමයි. ඉතිං මේ සිනමා පටයටත් මාව ම තෝර ගත්තා. මට පිටපත ගෙනත් දුන්නා. මං මේ කතාවට කැමැති වුණා.
අම්මා නොවේ බුදු වන්නේ නුඹයි පුතේ... සිනමා පටය එළිදක්වා නැතත්, මේ ගීතය දැනටම ප්‍රේක්ෂකයින් අතරට ගොස් අවසානයි....
ඇත්තටම හරිම සතුටුයි මට ඒ ගැන. ද නිවුස්පේපර් සිනමා පටය ළඟදීම එළිදක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.. නමුත් එහි සිනමාපටයේ ගීතය පසුගිය දා එළිදැක්වුණා. ඒ අවස්ථාවට කලාකරුවන්, මාධ්‍යවේදීන් අතුළු සුළු පිරිසකට අරාධනා කර තිබුණේ. කොරෝනා ගැටලුව පවතින අවස්ථාවක තිබූ පළමු කලා එළිදැක්වීම එය කියලයි මා හිතන්නේ. සෞඛ්‍ය නීතිවලට යටත්ව ඒ අවස්ථාව සාර්ථකව පැවැත්වූවා.
ඒ ගීතය ගැන හැමෝම හොඳ ප්‍රතිචාර දැක්වූවා. දැනටම අන්තර්ජාලය ඔස්සේත් මේ ගීතය වැඩි පිරිසක් නරඹලා තිබුණා.
මේ සිනමා පටය වෙනුවෙන් ඔබ භාවිත කළ සංගීත ක්‍රමය ගැනත් සඳහන් කළොත්....
ද නිවුස් පේපර් සිනමා පටය ළඟදීම ප්‍රේක්ෂකයින්ට නරඹන්න අවස්ථාව ලැබෙනවා. ඒ නිසා එහි අන්තර්ගත කතාව ගැන කියන්න අපහසුයි. ගීතය හරහා තමයි මෙහි අන්තර්ගතය එළියට එන්නේ. ඒ නිසා ගීතය ගැන කතා කරන්න පුළුවන්.
ගීතයේ පද රචනය කළේ සුනිල් ආරියරත්නයන්. මේ ගීතයේ පද ටික අතට ආපූ ගමන් මමයි සරතුයි කුමාරයි එකඟ වුණු දෙයක් තමයි මෙයට නන්දා මාලිනියගේ කටහඬ යොදා ගනිමු කියලා.
මේ චිත්‍රපටය තුළ විශේෂම චරිතයක් තමයි අම්මා. මේ අම්මා මුළු චිත්‍රපටය පුරාම ඉන්නවා. නමුත් මේ අම්මා එයාගේ කතාව කියන්නේ වචනවලින් නෙවෙයි. ඇය නිහඬව තමයි එයාගේ කතාව කියන්නේ. ඈත්තටම මේ ගීතයේදී තමයි ඇය ඇයගේ කතාව එළියට දාන්නේ.
නන්දාමාලිනිය කියන්නේ සුවිශේෂී කටහඬක් තියෙන කෙනෙක්. අම්මාවරුනේ ගීතය ගත්තොත් එය හැමෝටම දැනෙන ගීතයක්. මේ සිනමාපටයේ ඉන්න අම්මා මුළු ලංකාව පුරාම ඉන්න අම්මා කෙනෙක්. අම්මා කෙනෙක් ගැන කියන්න හොඳම කටහඬ තියෙන්නේ නන්දා මාලිනියට.
සුනිල් ආරියරත්නයන්ගේ මේ පද රචනය සුවිශේෂයි. මේ ගීතයෙහි ගීතමය ශෛලියක් නෙවෙයි තියෙන්නේ. ගීතයත් කවියත් අතර අතර මැද යන එකක් කිව්වොත් නිවැරැදියි.
මේ ගීතයට ඔබට ලැබුණු ප්‍රතිචාර ගැන කතා කළොත්..
අම්මා නොවේ බුදු වන්නේ නුඹයි පුතේ ගීතය එළිදැක් වූ අවස්ථාවේදී ශාලාව තුළ නිශ්ෂබ්දතාවක් ඇති වුණා. ඇත්තටම හැමෝම වගේ ඒ ගීතය ඒ තරමට රසවින්දා. ආපු හැමෝගෙම ඇසට කඳුළක් එක්කළ ගීතයක් වුණා එය. ඒ තරමටම සංවේදීි හදවතට දැනෙන ගීතයක්.
ගීතය එළිදැක්වූ අවස්ථාවට සහභාගී වූ ජැක්සන් ඇන්තනී ඒ ගීතය ගැන ගොඩක් දේවල් කතා කළා. ගීතයේ සංගීතයට නන්දා මාලිනියගේ කටහඬෙහි ගැලපීම ගැන ඔහු ලබා දුන් විචාරය ගැන මට ලොකු සතුටක් දැනෙන්නේ.
ඡායා- ටෙනිසන් එදිරිසිංහ
2020/07/01 තරුණි පුවත්පත බලන්න.