බක්මහේ හැදෙන පලතුරුවලින් අතුරුපසක රසය විඳිමු

අප්‍රේල් 28, 2021

 

බක්මහ කියන්නේ ගහකොළ මල්වලින්, ගෙඩිවලින් පිරීයන ඵළබර පිරීයන මාසයටයි.

මේ මාසයේදී තමයි අපේ රටේ වැඩිම පලතුරු ප්‍රමාණයක් හට ගන්නේ. අඹ, දඹ, ජම්බු, පේර, කෙසෙල්.... මෙවැනි පලතුරුවලින් අඩුවක් නැහැ.

සැබැවින්ම මේ මාසය හරිම විශේෂයි. ඒත් මේ තරම් පලතුරු හැදෙන මේ මාසයේ ඒවා ගස්යට වැටිලා කුණු වෙනවා. අපට කිසිම වටිනාකමක් නැහැ.

හැබැයි මේ පලතුරු හරිම රසවත් වගේම ගුණයෙනුත් අනූනයි.

අප මෙවර අතිරේකයෙන් ඔබට තිළිණ කරන්නේ දේශීයව හට ගන්නා පලතුරු ප්‍රයෝජනයට ගෙන වෙනස්ම තාලයේ අතුරුපස කිහිපයක් සාදා ගන්නා ආකාරයයි. මෙම අතුරුපස ඔබට ඇතැම්විට රස බලන්න අවස්ථාව උදාවන්නේ මේ බක් මාසයේදී පමණයි.

ඒ නිසා ඔබත් මෙවැනි අතුරුපසක රසය ඔබේ කෑම මේසයට එක් කරගන්න අමතක කරන්නම එපා. වෙනස්ම තාලයේ මේ අතුරුපසට ඔබගේ දරුවන් පවා ඉතාමත් කැමැති වේවි.

 

 

 

ඉදිරිපත් කිරීම

සුපවේදී

ඩබ්ලිව්.පී.ඒ. ප්‍රේමලාල් ගමගේ

 

************************

කැරට් හල්වා

 

 

කැරට් ග්‍රෑම් 500 ක්

නැවුම් කිරි මිලි

ලීටර් 750 ක්

සීනි ග්‍රෑම් 500 ක්

එළඟිතෙල් මිලි

ලීටර් 100 ක්

කජු ග්‍රෑම් 100 ක්

වියළි මිදි ග්‍රෑම් 100 ක්

එනසාල් කුඩු තේ

හැඳි 1 ක්

 

සාදන ක්‍රමය

පොතු ඉවත්කර පිරිසුදුව සෝදාගත් කැරට් ග්‍රේටරයක ආධාරයෙන් ග්‍රේට් කරගන්න. භාජනයක් ළිප තබා එයට කැරට් හා එළකිරි දමා මඳ ගින්නේ හොඳින් පිසගන්න. කැරට්වල තෙත ගතිය ඉවත් වී යනතෙක් පිස ගන්න.

එළඟිතෙල් රත්කර එයට කජු හා මිදි දමා බැද ගන්න. ඉතිරි එළඟිතෙල් කැරට් මිශ්‍රණයට එකතු කර බැදගත් කජු හා මිදි එකතු කරන්න. අවසානයේ සීනි හා එනසාල් එකතුකර විනාඩි 5 ක් පමණ පිසගන්න.

ඔබ දැන් රසවත් කැරට් හල්වා අතුරුපසක් නිර්මාණය කර ගෙන ඇත. මෙම මිශ්‍රණයට අවශ්‍යනම් කහ සහ රතු වර්ණ බිංදු කිහිපයක් එකතු කර ගැනීමෙන් මනා පෙනුමක් ලබාගත හැක.

***********************

 

 

අඹ පුඩිම්

 

අවශ්‍ය ද්‍රව්‍ය

ඉදුණු අඹ (කර්තකොලම්බන්) ගෙඩි 01 ක්

කල් කිරි මිලි ලීටර් 200 ක්

නැවුම් එළකිරි මිලි ලීටර් 100 ක්

සීනි ග්‍රෑම් 100 ක්

බිත්තර 04 ක්

 

සාදන ක්‍රමය

හොඳින් ඉදුණු අඹ ලෙල්ල හැර ජලය ස්වල්පයක් දමා හොඳින් බ්ලෙන්ඩ් කරගන්න.

එයට සීනි, කල් කිරි, නැවුම් කිරි දමා හොඳින් ගසා ගන්න. බිත්තර වෙනම බීට් කර කිරි මිශ්‍රණයට එකතු කරන්න. අවසානයේ බ්ලෙන්ඩර් කරගත් අඹ එකතු කරන්න. ඔබ දැන් මිශ්‍රණය සාදා අවසන්ය.

දැන් සීනි කැරමල් කරගන්න. කැරමල් සීනි ඔබ කැමති භාජනයක අඩියට දමාගන්න. ඔබට අවශ්‍ය නම් මෙම මිශ්‍රණය කුඩා භාජන කිහිපයකට වුවද දමාගත හැකිය. කැරමල් සීනි දැමූ භාජන මතට සකස් කරගත් අඹ මිශ්‍රණය දමා සෙල්සියස් අංශක 180 සගසාගත් අවන් එකක ජලය යෙදූ තැටියක් මත තබා බේක් කරගන්න. මෙය විනාඩි 35 ක් - 40 ක් පමණ බේක් කළ යුතුය. අවසානයේ ඉවතට ගෙන ශීතකරණයේ දමා ගන්න. මෙය පිළිගැන්වීමේදී කැරමල් යෙදූ මුහුණත උඩට සිටින සේ පිළිගන්වන්න.

*************************

ෆ්‍රෙෂ් පෘට් පැවුලුවා

 

 

අවශ්‍ය

ද්‍රව්‍ය

 

බිත්තර සුදුමද මීලි ලීටර් 200 ක්

සුදු සීනි ග්‍රෑම් 400 ක්

කෝන් පිටි ග්‍රෑම් 50 ක්

කැමැති පලතුරු වර්ග කැබැලි ස්වල්පයක්

 

සාදන ආකාරය

 

බිත්තර කඩා සුදුමද ජලය එකතු නොවන සේ වෙන්කර ගන්න. එම සුදුමද භාජනයකට දමා බීටරයක් ආධාරයෙන් වේගයෙන් බීට් කරගන්න. ඒ අතරතුර ක්‍රමයෙන් සීනි එකතුකර විනාඩි 10 ක් - 15 ක් පමණ බීට් කරගන්න. අවසානයේ ඔබට ඝන බිත්තර ද්‍රවණයක් දැකගත හැකියි. මෙයට එග් මෙරයන් කියනු ලබයි. මෙම මිශ්‍රණයට ක්‍රමයෙන් කෝන් පිටි එකතු කරගනිමින් අතින් හෙමින් සීරුවේ එක් පැත්තකට කලවම් කරගන්න.

පයිපිං බෑගයක් ගෙන මිලි මීටර් 2 පමණ කුඩා සිදුරක් කපා ගන්න. සාදාගත් බිත්තර මිශ්‍රණය බෑගයකට දමා සිලින්ඩරයක් උඩට සිටින සේ හැඩයට අඟල් 1 ක් පමණ විශ්කම්භයක් සිටින සේ පයිප් කරගන්න. අඩිය හොඳින් වැසෙන සේ මිශ්‍රණය පිරවීමට වගබලාගන්න. දැන් ඔබට කුඩා කුප්පියක ආකාරයේ හැඩයකින් යුතු පැවුලුවා ටාට් එකක් සෑදී ඇති. මෙවැනි ටාට් අවශ්‍ය තරම් සාදා ගන්න. සෙල්සියස් අංශක 40 ක් - 50 ක් විනාඩි 40 ක් පමණ බේක් කරගන්න.

 

දැන් අප පිරවුම

සඳහා

 

කස්ටඩ් මිශ්‍රණය සාදා ගත

යුතුය. ඒ සඳහා

නැවුම් කිරි මිලි ලීටර් 250 ක්

සීනි ග්‍රෑම් 50 ක්

කස්ටඩ් පවුඩර් ග්‍රෑම් 50 ක්

 

කිරි ප්‍රමාණය කොටස් 2 කට බෙදා එක් කොටසකට සීනි එකතුකර උණුකර ගන්න. අනෙක් කොටසට කස්ටඩ් දමා හොඳින් දියකර ගන්න. ළිප තබා ඇති ද්‍රාවණය උණු වී උතුරන විට කස්ටඩ් මිශ්‍රණය දමා හොදින් හැඳිගා ළිපෙන් ඉවතට ගෙන සිසිල් වීමට තබන්න. මෙහිදී ඔබ කැමැති රසයක කෝඩියල් වර්ගයක් (අඹ, දොඩම්) එකතුකර කස්ටඩ් මිශ්‍රණය රසකර ගන්න.

සකසාගත් පැවුලුවා වල අඩියේ සිට බාගයක් පිරෙන ලෙස කස්ටඩ් මිශ්‍රණයෙන් පුරවා ගන්න.

දැන් ඔබ කමැති පලතුරු වර්ගයක් (අඹ, ස්ටෙ‍්‍රීබෙරි, කිවි, දොඩම්, ගස්ලබු, මිදි) කැමති හැඩයකට කපා කස්ටඩ් පිරවූ පැවුලුවා මත අතුරා ගන්න. මනරම් රටාවකට හැඩකල පලතුරු පැවුලුවා දැන් ඔබ ඉදිරියේ ඇත. ජෑම් ස්වල්පයක් ගෙන වතුර දමා උතුරවා පලතුරු මත ආලේපකරන්න. එවිට දිලෙනසුලු අලංකාරයක් ලැබේ. ඇප්‍රිකොට් ජෙලි ද මේ සඳහා භාවිත කළ හැකියි.