අලුත් අවුරුද්දට අලුත් අච්චාරු

අප්‍රේල් 3, 2023

සිංහල අලුත් අවුරුද්ද ළං වෙද්දි අපේ ගෘහණියන් සිංහල අච්චාරුවක් හදන්න නම් අමතක කරන්නේ නැහැ. ඒ තරමට අපිට අවේණික වූ සිංහල අච්චාරුව සිංහල අලූත් අවුරුද්දට සමීපයි. අච්චාරු කිව්වම මුලින්ම මතකයට එන්නෙත් අපේ සිංහල අච්චාරුව.

ඒ හැරුණම මැලේ අච්චාරුවත් අපි අතර ජනප්‍රියයි. මීට අමතර තවත් නොයෙකුත් අච්චාරු වර්ග රාශියක්ම තියෙනවා. ඉතිං මෙදා සැරේ සිංහල අවුරුද්දට වෙනස්ම විදිහක අච්චාරු හදලා බලමු. කෑම පිසීම කලාවක් කරගත්තු කෙනකුගේ අතින් පිළියෙලවන අච්චාරුවෙන් වෑහෙන රසය මතක් වෙද්දි කටට කෙළත් උනනවා නේ...

සිංහල අලුත් අවුරුද්දට දින කිහිපයකට පෙර සාදා සූදානම් කර පසෙකින් තබන මෙම අච්චාරු එදිනට පදම් වී රස ගැන්වී සුවද හමන්නේ මුලු කෑම මේසයම සරු සාර කරමින් බව නොරහසකි.

 

උපදෙස්

විධායක සූපවේදී

සුජිත් ආරියරත්න

 

ඡායාරූපය - ශාන් රූපස්සර

 

 

බීට් අච්චාරුව

 

බීට් රූට් ගෙඩි 4ක්

අමුමිරිස් කරල් 4ක්

රතුලූනූ ගෙඩි 4ක්

ඉඟුරු, සුදුලූනූ පේස්ට් තේ හැඳි 1ක්

අඹරාගත් අබ ස්වල්පයක්

විනාකිරි කෝප්ප 1ක්

එනසාල්, කරාබු නැටි කිහිපයක්

සීනි කෝප්ප 1/2ක්

කහකුඩු තේ හැඳි 1/2ක්

මිරිස්කුඩු තේ හැඳි 1/2ක්

ලුණු

 

 

බීට්රූට් ටික මහතට තීරු කපාගන්න. මැටි භාජනයක් ළිපේ තියලා විනාකිරි දාගන්න. විනාකිරි රත්වෙනකොට අඹරාගත් අබ, ඉඟුරු, සුදුලූනූ පේස්ට් එක, එනසාල්, කරාබු නැටි දාගන්න.

මිරිස්කුඩු, කහකුඩු එක්ක රස අනුව ලුණු සහ සීනි ටිකත් දාලා කලවම් කරලා සීනි දියවෙනකල් හැඳි ගාන්න.

ඊලඟට බීට්රූට්, රතුලූනූ හා අමුමිරිස් ටික දාගන්න. විනාකිරි හිඳීගෙන එනකොටම ළිපෙන් බාගන්න. නිවුනම හට්ටිය හොඳින් වහල තියල දවස් තුනකින් රස බලන්න.

*************************

සුදුලූනූ අච්චාරුව

සුදුලූනූ ග්‍රෑම් 250ක්

අමුමිරිස් ග්‍රෑම් 100ක්

කැරට් අල 2ක්

විනාකිරි බෝතල් 1/2ක්

මිරිස්කුඩු තේ හැඳි 1ක්

කෑලි මිරිස් තේ හැඳි 1ක්

කහ තේ හැඳි 1ක්

අබ තේ හැඳි 1 1/2ක්

ගම්මිරිස්

ඉඟුරු

මුරුංගා පොතු කිහිපයක්

කුරුඳු

ලුණු

 

පළමුව සුදුලූනූ පොතු සුද්ද කරගන්න. කැරට් සාමාන්‍යයෙන් මැලේ අච්චාරුවට ගන්න ප්‍රමාණයෙන් දික් අතට කපාගන්න. 

අමුමිරිස් ටික දික් අතට වෙන් නොවෙන විදියට පලාගන්න.

අබ, කහ, ඉඟුරු, මුරුංගා පොතු, මිරිස් කුඩු, කෑලි මිරිස්, සුදුලූනූ බික් දෙකක් හා ගම්මිරිස් ටිකක් විනාකිරි පොඩ්ඩක් දාලා අඹරගන්න. 

මැටි වළඳක් අරගෙන ඒකට විනාකිරි වලින් බාගයක් හා ලුණු දාලා උතුරවගන්න. 

දැන් ඒකට සුදුලූනූ ටික දාලා කලවම් කරගන්න. ඒකටම කැරට් හා මිරිස් ටිකත් දාගන්න. බාගෙට වගේ විනාකිරෙන්ම තැම්බෙන්න අරින්න.

වෙනම මැටි හට්ටියකට ඉතිරි විනාකිරි හා අඹරාගත් අබ මිශ්‍රණය දාලා දියකරගන්න. දැන් ඒකට තම්බගත්ත සුදුලූනූ, අමුමිරිස් සහ කැරට් ටික බේරල දාගන්න.

කුරුඳු පොතු කෑලි ටිකක් උඩින් දාලා, නිවුනට පස්සෙ රෙදි කෑල්ලකින් කට වැහෙන්න හොඳට ගැට ගහලා දවස් 3කට පස්සෙ කෑමට ගන්න.

*******************

 

රාබු අච්චාරුව

ලියාගත් රාබු ග්‍රෑම් 250ක්

අමුමිරිස් කරල් 4-5ක්

විනාකිරි කෝප්ප 1ක්

අඹරාගත් ඉඟුරු, සුදුලූනූ

අඹරාගත් අබ ස්වල්පයක්

රතුලූනූ ගෙඩි 8-10ක්

එනසාල් ඇට 2ක්

වතුර කෝප්ප 1ක්

ලුණු තේ හැඳි 1ක්

සුදු සීනි කෝප්ප 1ක්

 

පළමුව මැටි භාජනයකට වතුර දාලා විනාකිරි, සීනි ටික දාගන්න. හොඳට කලවම් කරලා ලුණු ටික දාගන්න.

දැන් මේ භාජනේ ළිපේ තියල මද ගින්දරේ රත් කරගන්න. සීනි ටික දියවෙනකල් රත් කරගන්න.

හොඳට උතුරනකොට අඹරාගත් අබ සහ ඉඟුරු, සුදුලූනූ දාලා අමුමිරිස්, එනසාල් හා රතුලූනූ ටිකත් දාගන්න. 

හොඳට විනාකිරෙන් තැම්බුනාම රාබු ටිකත් එකතු කරගන්න. තෙත ගතිය හොඳටම හිඳෙනකම් ළිපේ තියාගෙන ජීවාණුහරණය කළ බෝතල් වල අසුරගන්න.

 

********************

අන්නාසි අච්චාරුව

හොඳට පැහුණු අන්නාසි ගෙඩියක්

පැහුණු අඹ ගෙඩි 3ක්

විනාකිරි ලීටර් 1/2ක්

සියඹලා යුෂ මේස හැඳි 1ක්

සීනි මේස හැඳි  1ක්

සූදුරු තේ හැඳි 1/2ක්

මාදුරු තේ හැඳි 1/2ක්

අබ ග්‍රෑම් 50ක්

ලුණු ටිකක්

 

මුලින්ම අන්නාසි ගෙඩිය පොතු ඇරලා තීරු වලට කපාගන්න

අඹ ගෙඩියත් ඒ වගේම කපන්න.

විනාකිරි ටික ළිපේ තියලා උතුරනකොට අඹ කෑලි දාලා විනාඩි 2ක් විතර තැම්බෙන්න තියන්න.

අන්නාසි තම්බන්න ඕනෙ නෑ.

දැන් සූදුරු, මාදුරු හා කුඩු කරගත්තු අබ විනාකිරෙන් අඹරගන්න.

වෙන භාජනයකට තීරු විදියට කපාගත්තු අඹ හා අන්නාසි ටික දාලා අබ හා ඉතිරි විනාකිරි, ලුණු, සීනි, සූදුරු මාදුරු මිශ්‍රණය හා සියඹලා ටික එකතු කරලා පොල්කටු හැන්දකින් කලවම් කරගන්න.