කොරෝනා අපේ ජීවිතවලට වෙස්වළා ගත් ආශීර්වාදයක්

- ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී චාන්දනී බණ්ඩාර
පෙබරවාරි 21, 2022

 

චාන්දනී බණ්ඩාර කියන්නේ තරුණී පාඨක ඔබට නුහුරු නුපුරුදු නමක් නම් නෙවෙයි. ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනියක සේම රූපලාවණ්‍ය නිෂ්පාදන බොහොමයක් ඔබ වෙනුවෙන් නිෂ්පාදනය කළ දක්ෂ ව්‍යාපාරික කාන්තාවක් හැටියටත් ඇය ජනප්‍රියයි.

දශක ගණනාවක් පුරා තරුණී සමඟ ළෙන්ගතු සබැඳියාවකින් කටයුතු කරන ඇය පසුගිය කාලයේ දකින්නට නොලැබුණා. ඒ සිය දියණියගේ අධ්‍යාපන කටයුතු මෙන්ම ව්‍යාපාරික කටයුතු වෙනුවෙන් විදෙස්ගත වුණු ඇයට කොරෝනා වසංගතය හමුවේ මෙරටට පැමිණෙන්නට නොහැකි වූ නිසා.

ඉතින් කාලෙකට පස්සෙ හමුවුණු ඇය ආගිය තොරතුරු ගැන කතාබහකට එකතු වුණේ සුපුරුදු ළෙන්ගතුකමින්මයි.

කාලෙකට පසුව ඔබ නැවතත් වැඩ කටයුතුවල නියැළෙනවා. මේ දිනවල නැවතත් කාර්යබහුලයි වාගේ.

“මේ දවස්වල මගේ සුපුරුදු වැඩ කටයුතුවල යෙදෙමින් සිටිනවා. රූපලාවණ්‍ය නිෂ්පාදන කටයුතුවල වාගේම රූපලාවණ්‍යාගාරවල වැඩත් සිදුවෙනවා. මේ වන විට අපේ හැම සැලෝන් එකක්ම විවෘතයි. කොරෝනා වසංගතය නිසා පමා කරන්නට සිදු වූ විවාහ මංගල්‍යයන් බොහොමයක් මේ දිනවල පැවැත්වෙනවා. ඒ නිසා දිගින් දිගටම මනාලියන් හැඩගැන්වීම සිදු වෙනවා.“

කොරෝනා වසංගතය හමුවේ අපේ රටේ ජන ජීවිතය අඩාල වුණා. රූපලාවණ්‍යාගාර බොහෝ කාලයක් විවෘත කරන්නට නොහැකි වුණා. ඔබේ ව්‍යාපාරික කටයුතුවලටත් එය තදින්ම බලපාන්න ඇති.

“ඇත්තටම කොරෝනා වසංගතයේදී මුළු ලෝකයම අඩපණ වුණා. සෑම රටකටම මෙය බලපෑවා. අපේ රටත් වැඩි කාලයක් තිබුණේ වහලා. රූපලාවණ්‍යාගාර වසා තිබුණත් අපේ රූපලාවණ්‍ය නිෂ්පාදන ආයතනවල කටයුතු දිගටම සිදු කරගෙන ගියා. විශේෂයෙන්ම මේ කාලයට අවශ්‍ය අත් සෝදන දියර වාගේම විසබීජ නාශක දියර වැඩි වශයෙන් වෙළෙඳපොළට නිකුත් කරන්නට සිදුවුණා. ඒ වාගේම ඔන්ලයින් භාණ්ඩ අලෙවියටත් වැඩි දෙනකු පුරුදු වුණා. ඒ නිසා ඇත්තටම කිව්වොත් අපේ කට්ටියට වැඩියෙන්ම වැඩ කරන්න සිදුවුණු කාලවකවානුවක් කිව්වොත් නිවැරැදියි.“

ඔබ පසුගිය කාලයේ විදෙස්ගත වුණා. ඒ දියණියගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන්ද? නැතිනම් ව්‍යාපාර කටයුතුවලටද?

“ඔව්. මමයි, මහත්තයයි, දියණියයි පසුගිය කාලයේ ඕස්ට්‍රේලියාවට ගියා. ඒ දියණියගේ උසස් අධ්‍යාපන කටයුතුවලට වාගේම ව්‍යාපාර කටයුතුවලට. අපේ රූපලාවණ්‍ය නිෂ්පාදන අලෙවි කරනවාට අමතරව මම ඒ රටේ රූපලාවණ්‍යාගාර කිහිපයක් පටන් ගත්තා. ඉතින් ඒ කටයුතු එක්ක මම කාර්යබහුල වුණා.“

ඕස්ට්‍රේලියාව හැරුණුවිට ඔබේ රූපලාවණ්‍ය නිෂ්පාදන තවත් රටවල් බොහොමයක දැකිය හැකියි.

“අමෙරිකාව, කැනඩාව, ඩුබායි, අබුඩාබි, වියට්නාමය, පකිස්තානය වාගේ රටවල් බොහොමයක අපේ නිෂ්පාදන අලෙවි කෙරෙනවා.“

 

 

චාන්දනී බණ්ඩාර කියන්නෙ දක්ෂ රූපලාවණ්‍ය ශිල්පිනියක්. ව්‍යාපාරික කාන්තාවක් වාගේම හරිම සැහැල්ලු චරිතයක්. විදෙස්ගතව හිටපු ඔබ මේ කොරෝනා වසංගතය බාර ගත්තේ කොහොමද?

“මම කවදත් පෙරළුණු පිට හොඳයි කියලා හිතන චරිතයක්. අපේ පවුලේ අයත් ඉස්සර ඉඳන්ම කිව්වෙ මම හැමදේම සැහැල්ලුවෙන් බාරගන්න කෙනෙක් කියලයි. ඉතින් මම හිතනවා හැමදේම වෙන්නෙ හොඳට කියලා. අපි පුංචි කාලේ මැලේරියා වසංගතය දැක්කා. ඊට පස්සෙ යුදමය වාතාවරණයක ජීවත් වුණා. ඒ අතරතුරේ සුනාමියට මුහුණ දුන්නා. දැන් කොරෝනා වසංගතය. ඉතින් මේකත් අපේ ජීවිතවලට ඇවිදින් යයි.

අනික මම හිතනවා මේ කාලය අපේ ජීවිතවලට වෙස්වළාගත් ආශීර්වාදයක් කියලා. අපි තුන්දෙනාට පවුලක් විදිහට එකතු වෙලා ඉන්න අවස්ථාව ලැබුණා. කාර්යබහුල ජීවිතවලින් මඳකට අත්මිදිලා සැහැල්ලුවෙන් කාලය ගත කළා. දුවත් එක්ක අලුත් කෑම ජාති අත්හදා බැලුවා. අධ්‍යාපනික පොතපත හොඳින් පරිශීලනය කළා. බුද්ධාගම ගැන හොඳ හැදෑරීමක් කරන්න කාලය ලැබුණා. ඉතින් ඇත්තටම මේක අපිට ලැබුණු හොඳ විවේක කාලයක්.“

අපේ කාන්තාවන්ට පණිවුඩයක් දෙන්න ඔබ කැමැති ඇති.

“අපේ කාන්තාවන් හැම තිස්සෙම හිතන්න ඕනේ මේ මොහොතේ තියෙන ගැටලුව, ගැටලුව‍ක් නෙමෙයි. ඊට වඩා බැරෑරුම් ගැටලුවලට මුහුණ දෙන්න අපිට සිද්ධ වෙනවා කියලා. මොකද අපි යමක් දිහා බලන ආකාරය අනුවයි වෙනස් වෙන්නෙ. අපි නැති දේ ගැන තැවෙනවා වැඩියි. උදාහරණයක් විදිහට ‘ඔයා මහත වැඩියි‘ කියලා මට සමහරු කියනවා.

හැබැයි ඒක මට ගැටලුවක් නෙමෙයි. මම හිතනවා මහත වුණාට මොකෝ මට ලස්සන හමක් තියෙනවා. ආසා විදිහේ කොණ්ඩයක් තියෙනවා. හොඳ ව්‍යාපාරික දැනුමක් තියෙනවා.

ඉතින් මොකටද තැවෙන්නේ කියලා.

මේ සමාජයේ බොහෝ දෙනෙක් ඉන්නවා අනෙකාව මනසින් වට්ටවන්න උත්සාහ දරන. ඒත් අපි කවදාවත් වැටෙන්න හොඳ නැහැ. අපිට නැති දේ ගැන දුක්නොවී, ඒ පසුපස හඹා නොයා තියෙන දෙයින්, අපිට ලැබෙන දෙයින් සතුටු වෙන්න පුරුදු වෙන්න.

ඒ වාගේම තමයි කාන්තා ඔබ කිසි විටෙකත් අනිත් කෙනාට ඊර්ෂ්‍යා කරන්න යන්න එපා. තමන්ගෙ වාගේම අනෙක් කෙනාගේ හිත රිදෙනවා කියලා හැමවෙලාවෙම හිතන්න. මවාගත් ලෝකයක ජීවත් නොවී මේ සැබෑ පොළොවේ පය ගහලා ජීවත් වෙන්න පුරුදු වෙන්න.“

ඔබ විදෙස් කාන්තාවන් එක්ක වැඩ කටයුතු කරනා නිසා ඒ වෙනස අත්විඳින්න ඇති.

“ඇත්තටම ඔව්. ඒ රටේදී මට අපේ ලාංකික කාන්තාවන්ට වාගේම විදේශීය කාන්තාවන්ටත් මගේ සේවය ලබා දෙන්න සිදු වෙනවා. ඒ වගේම මගේ සැලෝන්වල ඒ රටේ කාන්තාවන් සේවය කරනවා. ඒ නිසා ඔවුන් සමඟ වැඩ කිරීමේ අත්දැකීම මට තියෙනවා.

ඇත්තටම කිව්වොත් එයාලත් එක්ක වැඩ කිරීම පහසුයි. අනුන්ගේ දේවල් ඔවුන්ට වැඩක් නෑ. අවශ්‍ය රාජකාරිය, අවශ්‍ය වේලාවට කිරීමයි ඔවුන්ට වැදගත් වෙන්නෙ.

ඒ නිසා මට අපේ කාන්තාවන්ටත් කියන්න තියෙන්නෙ අනුන්ගේ දේවල් එතරම් හිතන්න එපා. ඔබේ දක්ෂතාවන්ගෙන් නිසි ඵල ප්‍රයෝජන අරගෙන සමාජයට වැඩදායි කාන්තාවක් වෙන්න. හරිදේ හරියට කරන්න.

 

ඡායා - ශාන් රූපස්සර