ගෙදරදීම හදාගත්ත ෆේස් පැක් එකක් දාලා තවත් හැඩ වෙමු ද?

සැප්තැම්බර් 25, 2023

ස්වාභාවික අමුද්‍රව්‍ය යොදා ගනිමින් රූපලාවණ්‍ය නිෂ්පාදන නිපදවීම මේ වෙනකොට බොහොම ලාභදායී ව්‍යාපාරයක් බවට පත්වෙලා තියෙනවා. තමන්ගේ පෙනුම ගැන සැලකිලිමත් වෙන ඔබත් මේ නිෂ්පාදන මිලට ගනිමින් පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. ඉතින් තරුණී අපි තීරණය කළා ඔබට පහසුවෙන්ම හොයා ගන්න පුළුවන් ස්වාභාවික අමුද්‍රව්‍ය යොදා ගෙන නිවෙසේදී සකස් කරගන්න පුළුවන් ෆේස් පැක් වර්ග කිහිපයක් ගැන කියලා දෙන්න.

 

සතියකට වරක් ෆේස් පැක් එකක් භාවිත කිරීම මඟින් ඔබේ සමේ තෙතමනය රැක දීම, පිරිසුදු කිරීම, ටෝනර් කිරීම සහ තරුණ පෙනුම රැකදීම සහ ඊට අමතරව සමට සැහැල්ලු බවක් ලබාදීම කියන කාරණා ඉටු වෙනවා. හැබැයි ෆේස් පැක් එකක් භාවිත කරන්න කලින් ඔබේ සමේ ස්වභාවය හඳුනාගෙන ඒ අනුව පැක් එක සකස් කරගන්න කියන කාරණාවත් අපි මුලින්ම සිහිපත් කරනවා. කැළැල් සහ අවපැහැවීම් අවමකර

 

සම දීප්තිමත් වීම සඳහා ටොමැටෝ ලෙමන් මාස්ක්

 

ඉදුණු තක්කාලි ගෙඩියක් අරන් එයින් තලපයක් සකසා ගෙන එයට දෙහි යුෂ මේස හැඳි 2ක් එකතු කරන්න. එය හොඳින් මිශ්‍රකර මුහුණේ සහ ගෙල ප්‍රදේශයේ ආලේපකර මිනිත්තු 20ක් තියා සිසිල් ජලයෙන් සෝදා හරින්න.

 

ලෙමන් මාස්ක්

 

ආමන්ඩ් ඇට 4-5ක් ගෙන ෆ්‍රෙෂ් මිල්ක් ස්වල්පයක් සහිත බඳුනකට දමා පැය 10 ක් පමණ පෙඟෙන්නට තියන්න. ඉන්පසු ආමන්ඩ් ඇටයේ දුඹුරු පැහැති පොත්ත ඉවත්කර පේස්ට් එකක් සකස් කරගෙන මුහුණේ සහ ගෙල ප්‍රදේශයේ ආලේප කරන්න. මෙය සම්පූර්ණ රැයක් මුහුණේ තියෙන්නට හැර සෝදා හරින්න.

 

ටර්මරික් මාස්ක්

 

දෙහි යුෂ මේස හැඳි 3ක් සහ කහ කුඩු මේස හැඳි 1ක් ගෙන හොඳින් මිශ්‍ර කරන්න. (අමු කහ අඹරා සකස් කරගත් කහ පේස්ට් එකක් නම් වඩාත් සුදුසුයි.) මෙය මුහුණේ සහ ගෙලේ ආලේපකර මිනිත්තු 20ක් තබා සෝදා හරින්න.

 

ඕට්ස් මාස්ක්

 

ඕට්ස් මේස හැඳි 4ක්, කුඩු කරගත් ආමන්ඩ් ඇට 4ක්, මී පැණි මේස හැන්දක් සහ ෆ්‍රෙෂ් මිල්ක් ස්වල්පයක් මිශ්‍රකර මෘදු පේස්ට් එකක් සකස් කරගන්න. මේ පැක් එක මුහුණේ සහ ගෙල ප්‍රදේශයේ ආලේප කර විනාඩි 5ක් පමණ කාලයක් තබා මෘදුව මසාජ් කරන්න. විනාඩි 2-3ක් මසාජ් කිරීමෙන් පසු මඳ උණුසුම් ජලයෙන් සෝදා හරින්න.

 

ඔරේන්ජ් ඇන්ඩ් කර්ඩ් මාස්ක්

 

මී කිරි මේස හැන්දක් සහ දොඩම් යුෂ තේ හැන්දක් මිශ්‍රෙකර මුහුණේ සහ ගෙලෙහි ආලේප කරන්න. මිනිත්තු 2-3ක් කවාකාරව සහ මෘදුව සම්බාහනකර සිසිල් ජලයෙන් සෝදා හරින්න.

 

පම්කින් ෆේස් පැක්

 

වට්ටක්කා යුෂ මේස හැඳි 2ක්, මී පැණි තේ හැදි ½ක් සහ ෆ්‍රෙෂ් මිල්ක් තේ හැඳි ½ ක් ගෙන හොඳින් මිශ්‍ර කර මුහුණ සහ ගෙල ප්‍රදේශයේ ආලේප කරන්න. මිනිත්තු 20ට පසු සෝදා හරින්න.

 

පොටැටෝ ෆේස් පැක්

 

අර්තාපල් යුෂ මේස හැන්දක් සහ දෙහි යුෂ මේස හැන්දක් මිශ්‍රකර මුහුණේ සහ ගෙලෙගි ආලේප කරන්න. මිනිත්තු 20කට පසු සෝදා හරින්න. (ඔබේ සම වියළි සමක් නම් මෙයට මී පැණි මේස හැන්දක් එකතු කරන්න).

 

සුමුදු සමක් සඳහා

 

ගෑරුප්පුවක් භාවිතකර පොඩි කරගත් කෙසෙල් ගෙඩි 1ක්, මී කිරි මේස හැඳි 2ක් සහ මී පැණි මේස හැඳි 1ක් බඳුනකට දමා හොඳින් මිශ්‍ර කරන්න. මෙය මෘදු පේස්ට් එකක් වීමෙන් මුහුණේ ආලේප කිරීම වඩා පහසු වෙනවා. මේ පේස්ට් එක මුහුණේ සහ ගෙලේ ආලේපකර මිනිත්තු 30ක් තබා සිසිල් ජලයෙන් සෝදා හරින්න.

 

 

 වියළි සමක් යථා තත්ත්වයට පත් කිරීම සඳහා

 

බිත්තරයක් සහ ආමන්ඩ් කුඩු මේස හැඳි 1ක් බඳුනකට දමා හොඳින් මිශ්‍ර කරන්න. මෙය මුහුණේ සහ ගෙලෙහි ආලේපකර විනාඩි 20ක කාලයක් තියා සෝදා හරින්න.

 

ඇලොවේරා මාස්ක්

 

කෝමාරිකා මදය මේස හැඳි 2ක් සහ ග්ලිසරින් තේ හැන්දක් ගෙන හොඳින් මිශ්‍රකර මුහුණේ සහ ගෙල ප්‍රදේශයේ ආලේප කරන්න. මිනිත්තු 20කට පසු සෝදා හරින්න.

 

පපායා මාස්ක්

ඉදුණු පැපොල් කැබැල්ලක් ගෙන ගෑරුප්පුවක ආධාරයෙන් හොඳින් පොඩි කරගන්න. එයට ෆ්‍රෙෂ් මිල්ක් තේ හැන්දක් සහ මී පැණි මේස හැන්දක් එකතුකර පේස්ට් එකක් සකස් කරගන්න. මුහුණේ සහ ගෙල ප්‍රදේශයේ ආලේපකර මිනිත්තු 20ක් තබා මඳ උණුසුම් ජලයෙන් සෝදා හරින්න.

 

සංවේදී සමකට කැරට් ඇන්ඩ් හනී මාස්ක්

 

කැරට් අල 2ක් පමණ ගෙන තම්බා පොඩි කරගන්න. එයට මී පැණි මේස හැන්දක් එක්කර පේස්ට් එකක් සකස් කරගෙන මුහුණේ සහ ගෙල ප්‍රදේශයේ ආලේප කරන්න. මිනිත්තු 20ක් තබා සෝදා හරින්න.

තෙල් සහිත සමක් යථා තත්ත්වයට පත් කිරීමට බනානා ඇන්ට් කියුකම්බර් මාස්ක්

 

ඉදුණු පැපොල් කැබැල්ලක්, පිරිසුදු කරගත් පිපිඤ්ඤා කැබැල්ලක් සහ කෙසෙල් ගෙඩියක් බ්ලෙන්ට්කර මෘදු පේස්ට් එකක් සාදා ගන්න. මෙය මුහුණේ සහ ගෙලේ ආලේපකර මිනිත්තු 20ක් තියා මඳ උණුසුම් ජලයෙන් සෝදා හරින්න.

 

සාමාන්‍ය සමකට පපායා මාස්ක්

 

ඉදුණු පැපොල් කැබැල්ලක් සහ තක්කාලි ගෙඩියක් ගෙන බ්ලෙන්ඩ්කර මෘදු පේස්ට් එකක් සාදා ගන්න. මෙය මුහුණේ සහ ගෙල ප්‍රදේශයේ ආලේපකර මිනිත්තු 20ක් තියා මඳ උණුසුම් ජලයෙන් සෝදා හරින්න.

 

සම සිසිල්කර සැහැල්ලු කිරීමට

 

යෝගට් මේස හැඳි 2ක් සහ පැණි කොමඩු කැබැල්ලක් බ්ලෙන්ඩ්කර පේස්ට් එකක් සාදාගන්න. හිරු එළිය නිසා අවර්ණව ඇති මුහුණ සහ ගෙල ප්‍රදේශයේ හොඳින් ආලේපකර මිනිත්තු 20ක් තියා සිසිල් ජලයෙන් සෝදා හරින්න.

 

ඇලොවේරා මාස්ක්

කෝමාරිකා මදය මේස හැඳි 2ක් සහ දෙහි යුෂ තේ හැඳි 2ක් හොඳින් මිශ්‍ර කර මුහුණේ ආලේපකර මිනිත්තු 20ක් තබා සෝදා හරින්න.

 

කියුකම්බර් ඇන්ඩ් හනී

පිරිසුදු කරගත් පිපිඤ්ඤා කැබැල්ලක් බ්ලෙන්ඩ්කර එයට මී පැණි මේස හැන්දක් මිශ්‍ර කරන්න. මේ පේස්ට් එක මුහුණ සහ ගෙලේ ආලේපකර මිනිත්තු 30කට පසු සිසිල් ජලයෙන් සෝදා හරින්න.

 

 

උපදෙස් -

රූපලාවණ්‍ය ශිල්පී

සමන්ත ගුණසේකර