සහයෝගය දැක්වීමෙන් සබඳතාවට දීර්ඝායුෂ..

පෙබරවාරි 19, 2020

සබඳතා රැක ගැනීමට අද සමාජයේ දී වැඩි වෙහෙසක් දැරීමට සිදු වේ. සංකීර්ණ සමාජයක් තුළ අපේ ජීවිත ද සංකීර්ණ වී තිබේ. ඒ සංකීර්ණ බව නොදැනුවත් ව අපේ සබඳතා තුළට ද අවතීර්ණ වී ඇත. ඒ නිසා නැවත නැවතත් ඒ පිළිබඳ ගැඹුරින් සිතා බලා කටයුතු කිරීමට සිදු වී තිබේ.

සබඳතාවක් මනාව පවත්වා ගැනීමේ දී සැලකිය යුතු ප්‍රධාන කාරණා තුනක් පිළිබඳ අප ඔබට පැවසුවෙමු. ඉන් පළමුවැන්න වන සංවාද හා දෙවැන්න වන සංවේදී වීම ගැන අපි පසුගිය සතිවල දී කතාබහ කළෙමු. අද එහි තෙවැන්න වන 'සහයෝගය' යන්න මඟින් සබඳතාවලට ලබා ගත හැකි වටිනාකම් පිළිබඳ සාකච්ඡා කරමු.

ඕනෑම සම්බන්ධතාවයක අන්‍යෝන්‍ය සහයෝගයක් පවතී. තේරුම්ගත යුතු වැදගත් ම දේ වන්නේ එකිනෙකා කෙරෙහි යම් කිසි දෙයක් කෙරෙයි යන අපේක්ෂාවයි. එය ඥාතීත්වය ලෙසින් හැඳින්විය හැකියි. යම් කිසි සේවාසපයන්නෙක් හා සේවාදායකයෙක් අතර පවතින්නේ ද එවැනි සම්බන්ධතාවකි. මෙහිදී දෙදෙනා තුළම යම් අපේක්ෂාවක් පවතී.

නමුත් මෙම සම්බන්ධතාව කලක් යාමේ දී මිත්‍රත්වයක් දක්වා දියුණු විය හැකියි. මිත්‍රත්වයක ඇති ලක්ෂණය වන්නේ කිසිදු දෙයක් සම්බන්ධතාව තුළින් අපේක්ෂා නොකිරීමයි. එනම් බලාපොරොත්තුවක් නොමැති වීමයි. මේ සම්බන්ධතා දෙක අතර ඇති වෙනස වන්නේ ද මෙයයි. මිත්‍රත්වය ඇති වීමට පෙර සම්බන්ධතාවයේ දී මිත්‍රශීලී බවක් ඇති විය හැකිය. නමුත් එය මිත්‍රත්වය ම නොවේ. මන්ද යත් දෙදෙනා තුළ ගනුදෙනුවක් සිදුවන බැවිනි.

අපේ ජීවිතය ගත් විට ඔවුන්ගේ නිවෙස්වලට පැමිණේ යැයි මෙන්ම තමාට සැලකිල්ලක් දක්වතැයි බලාපොරොත්තු වේ. ඥාතීන් අතර සම්මුතියක් තිබේ නම් එයට අනුගත වේ යැයි හා කරපු දේවල් මතක තබා ගනී යැයි බලාපොරොත්තු වේ. එසේ නොවූ විට ඥාතිත්වයේ දී ගැටලු මතු වේ.

එහෙත් මිත්‍රත්වයේ දී එසේ බලාපොරොත්තු නොවේ. අපේක්ෂාවන් නැති යාළුකම් තමාව තමා හැටියට බාරගන්නා යාළුකම් බොහෝ කල් පවතී. සමහර අයට අප වැඩියෙන් ආදරය කිරීමට පෙලඹෙන්නේ අප කැමැති ආකාරයට ඔවුන් ඉන්නා තාක් කල් පමණි. ඔවුන්ගේ වෙනසක් දුටු විට අපේ හිතේ ඇති ආදරය, පැහැදීම නැතිව යයි. එයින් කියැවෙන්නේ ඔවුන් මා කැමැති ආකාරයට සිටිනු ඇතැයි මම සිතීමයි.

 

උපදෙස්

කළමනාකරණ උපදේශක

දීපාල් සූරියආරච්චි

2020/02/19 තරුණි බලන්න