පොළොවේ පය ගසන රජ දරුවෝ

අප්‍රේල් 22, 2020

නීතිය නම් කාටත් පොදුය. මගියාට රජ කුමරුට කියා වෙනසක් නැත. කොරෝනා වසංගතයෙන් දැඩි ලෙස පීඩා විඳීන රටක් වන බ්‍රිතාන්‍ය රජ පවුලට ද වසා දැමීමේ ( ලොක් ඩවුන් ) නීතියට ගරු කිරීමට සිදු විණි.

වසා දැමීමෙන් දැඩි දුෂ්කරතාවකට මැදිවූ රාජකීය මාපියන් යුවළ වූයේ විලියම් කුමරු සහ කේට් මිඩ්ල්ටන්ය. දඟකාරයන් තුන් දෙනකු සමඟ වසා දැමීමේ වැඩසටහනට ඔවුන් සාර්ථකව මුහුණ දුන්නේ සියලුම මාපියවරුන්ට ආදර්ශයක් බවට පත් වෙමිනි.

කේට් මිඩ්ල්ටන් දරුවන්ගේ තිර කාලය (ස්ක්‍රීන් ටයිම් ) පිළිබඳ අනුගමනය කරන්නේ දැඩි ක්‍රියා පිළිවෙතකි. අයිපැඩ් රජ මැඳුරේ තහනම් උපාංගයකි. රජ පැටවුන් තිදෙනාටම තමන්ගේ කියා ජංගම දුරකථන නැත. ඔවුන් ඒවා හඳුන්වා දී ඇත්තේ වැඩිහිටියන්ගේ සෙල්ලම් බඩු කියාය. දරුවන් රූපවාහිනිය ඉදිරියේ වාඩි කරවා තමන්ගේ වැඩක් කරගැනීමේ පුරුද්දක් ද කේට් කුමරියට නැත. මාපියන් දෙදෙනාම එක්වී දරුවන් සමඟ දවසේ වැඩි කාලයක් ගත කරන්නේ ගෙවත්තේය. ගෙවත්ත රජ දරුවන්ගේ පාසල, කෙළිබිම මෙන්ම ගෙවත්ත ද වෙයි. දරුවන් ගෙවත්තේදී පාවහන් පවා පලඳීන්නේ නැත. සොබා දහමට ආදරය කරන, රජ ලේ තිබුණත් පොළොවේ පය ගසාසිටින දූදරුවන් රටට දායාද කිරීම කේට් - විලියම් යුවළගේ අභිලාෂයයි.

පරිසරයේ සුන්දරත්වය අත්විඳීන්නට වගේම චිත්‍ර අඳීන්නටත් අත්කම් කිරීමටත් පොඩ්ඩන් රුසියන්ය. දැන් වැඩිමල් පුතු ජෝර්ජ් කුමරු හය හැවිරිදිය. එකම දියණිය චාලට් සිව් වැනි වියේ පසුවන අතර බඩපිස්සා ලුවිස් කුමරුගේ දෙවැනි උපන් දිනය යෙදී තිබුණේ අප්‍රේල් 23 වැනි දිනයි. එදින පුංචි ලුවිස් කුමරුට දෝත පුරා සොයුරාත් සොයුරියත් නිර්මාණය කළ උපන් දින සුබ පැතුම් පත් සහ තෑගි තිළිණ වශයෙන් ලැබිණි. මේ දඟකාර සුරතල් රාජකීයයන් මෑතකදී බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ දැඩි අවධානයටත් ආදරයටත් ලක්විය. ඒ ඔවුන් රටේ සෞඛ්‍ය සේවයට දෑත් වනා ආචාර කරමින් ස්තුතිය පුද කරන වීඩියෝ පටය නැරඹීමෙන් පසුවය.