මනේකාගේ සත්ත්ව කරුණාව

අප්‍රේල් 22, 2020

කාලයෙන් කාලයට ඉන්දියානු දේශපාලන කරළියේ පුවත් මවන්නියක ලෙස මනේකා ගාන්ධි කෙදිනත් ප්‍රසිද්ධය. හිටපු ඉන්දීය අගමැතිනිය ඉන්දිරා ගාන්ධි සමඟ නිතර නිතර අඬ දබර ඇතිකර ගත් කටකාර ලේළිය ලෙස මුලින්ම ජනතාව ඇය හඳුනාගත්තේය. ඉන්දිරා ගාන්ධි අගමැතිනියගේ වැඩිමල් පුතු සංජේ ගේ බිරිය වූයේ ඇයය.

ඔහුගේ අකල් මරණයෙන් වයස අවුරුදු විසිතුනක් තරම්වූ තරුණ වයසකදී තෙමසක දරුපැටියකු සමඟ තනි වුව ද මනේකා නිවෙසේ මුළු ගැන්වුණු සාම්ප්‍රදායික හින්දු බිරියක නොවූවාය. මුලින් සැමියාගේ දේශපාලන දිවියට ශක්තියක් වූ ඇය ඉන්දීය පාර්ලිමේන්තුවේ ලෝක් සභාවේ හිටපු සාමාජිකාවකි. එමෙන්ම භාරතීය ජනතා පක්ෂයේ කැපී පෙනෙන සාමාජිකාවකි. මනේකා ජනතාව වෙනුවෙන් පමණක් නොව සතුන් හා සොබා දහම වෙනුවෙන් ද හඬ නඟන්නියකි.

මෑත යුගයේ මනේකා වැඩිපුරම පුවත් මවන්නේ සතුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් වදින්නියක ලෙසිනි.

මිනිස් වර්ගයා ආත්මාර්ථකාමීව තමන් ගැන පමණක් සිතද්දී මනේකා මිහිතලයට සැබෑම දියණියක වෙමින් හඩක් නොනැඟිය හැකි අසරණ සතුන්ගේ හඬ බවට පත්වී සිටින්නීය. කොරෝනා වෛරසය නිසා මුළු ඉන්දියාවම වසා දමද්දී දෛනික වේතනය අහිමිවී කුසගින්නේ සිටින මිනිසුන් මෙන්ම මිනිසුන්ගෙන් ලැබෙන ඉඳුලක් කෑමට ගෙන ජීවත් වෙන මහමඟ ජීවත් වන සතුන් ද ඇයට සිහිවිය. ඇය මහ මහ මඟ දිවි ගෙවන සතුන්ට ආහාර දීම අත්‍යාවශ්‍ය සේවයක් බව පවසමින් පොලිස් නිලධාරීන් ඇතුළු සියලු සත්ත්ව ප්‍රේමීන් උනන්දු කරන්නීය. නවදිල්ලියේ මහ මඟ සතුන්ට ආහාර දීමට යන පුද්ගලයන් වෙනුවෙන් විශේෂ බලපත්‍රයක් ද නිකුත්කර තිබේ. මනේකා සිය ට්විටර් වෙබ් අඩවියෙන් මේ ගැන සතුට පළකර මෙලෙසින් ද අදහස් දක්වා තිබිණි.. " පාරෙ ඉන්න සතුන්ට කන්න දෙන්න. එයාලගෙන් ඔයාලට වෛරසය බෝ වෙන්නේ නෑ. උන්ට ආහාර නොලැබුණොත් උන් මිය යාවි. උන් වෙනුවෙන් පුළුවන් දෙයක් කරන්න. සහකම්පනය - අනුවේදනය ගැන ලෝකයටම පාඩමක් උගන්වන්න අපට පුළුවන්. "

මේ දිනවල මනේකාගේ ප්‍රධාන රාජකාරිය බලධාරීන්ව මේ ගැන දැනුවත් කිරීමයි. මනේකා 1992 දී පිහිටුවා ගත් පීපල් ෆෝ ඇනිමල්ස් එරට විශාලම සත්ව අයිතිවාසිකම් සහ සුබසාධනය සඳහාවූ සංවිධානයයි.

------------------------------

තායිවාන් ජනපතිනිය ගේ දූරදර්ශී නුවණ

ලෝක දේශපාලන කරළියේ කාන්තා නායකත්වය සියයට හතක් තරම්වූ අඩු සංඛ්‍යාවකි. එහෙත් ඇය රටේ මුල් පුටුව හොබවන්න කෙතරම් සුදුසුදැයි කියා ලොවටම වැටහුණේ කොවිඩ් - 19 වසංගතය මර්දනය කිරීමේ ක්‍රමවේදයේදියි.

තායිවානය යනු මිලියන 24 ක ජනකායක් පදිංචි චීනයට ආසන්නම දේශයකි. තායිවාන ජනගහනය ඔස්ට්‍රේලියාවේ ජනගහනයට දළවශයෙන් සමානයැයි කියනු ලැබේ. චීනයට මෙතරම් සමීපව පිහිටියත් වසංගතය ඉතා හොඳීන් මර්දනය කළ දේශයක් ලෙස තායිවානය ඉතිහාස පොතට එක්වී තිබේ. ඒ එරට ජනාධිපතිනිය සායි ඉන්ග් - වෙන් ගේ නායකත්වය නිසාය.

තායිවාන ජනපතිනිය අද්භූත නව වෛරසයක් ගැන දැන ගත්තේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදීය. දැනගත් වහාම ක්‍රියාත්මක වූ ඇය වූහාන් සිට ඒ දක්වා පැමිණි සෑම ගුවන් යානයක්ම හොඳීන් සෝදිසි කිරීමට අණ දුන්නාය. වසංගත මධ්‍යස්ථානයට මුහුණු ආවරණ වැනි පෞද්ගලික සනීපාරක්ෂාවට අවශ්‍ය ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම වැඩි කිරීමට උපදෙස් දුනි. චීනය, හොංකොං සහ මැකෝ යන රටවලින් ගුවන් යානා පැමිණීම තහනම් කෙරිණි. කල් ඇතිව ගත් මේ ආරක්ෂාකාරී පියවර නිසා ආසාදිතයන් ගණන 393 කටත් මරණ ගණන හයකටත් සීමා විය. අද තායිවානය මිලියන ගණනින් මුහුණු ආවරණ නිෂ්පාදනය කර යුරෝපයටත් අනෙක් රටවලටත් අපනයනය කරමින්ආර්ථික වාසියක් ලබමින් විශාල සේවයක් ද සිදු කරනු ලබයි.

--------------------------

රාජකීය සමාජ සද්කාර්යයන්

නව ගෝලීය වසංගතයෙන් පීඩාවට පත් නොවුණු රටක් නැති තරම්ය. සතුටින් ජීවත්වන රාජ්‍යයක් ලෙස ප්‍රකට ස්වීඩනය වැනි රටවල පවා සතුට උදුරා ගැනීමට තරම් නව කොරෝනා වෛරසය රුදුරු විය.

මෙවැනි අවස්ථාවක රටේ රාජකීයයන් තම ආරක්ෂාව ගැන නොසිතා මහජනතාවගේ ජීවිත බේරා ගැනීමට ඉදිරිපත් වීම සැබෑවටම රාජකීය බව පෙන්නුම් කිරීමකි.

ස්වීඩනයේ කිරුළ හිමි කාල් පිලිප් ගේ සහකාරිය සෝෆියා ක්‍රිස්ටිනා හෙල්ක්විස්ට් කුමරිය පසුගියදා රාජකීය ඇඳුම් පසෙකලා හෙද ඇඳුම් ඇඳ ගත්තාය. දිනෙන් දින රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යන නිසා ස්වීඩන රෝහල්වල ද සුව සේවකයන්ගේ හිඟයක් ඇතිවී තිබේ. සෝෆියා කුමරිය හෙවත් වාම්ලන්ඩ්හි ආදිපාදවරිය තෙදිනක අන්තර්ජාලීය වෛද්‍ය හදිසි ආපදා පුහුණු පාඨමාලාවකට සහභාගීවී ස්වෙච්ඡා හෙදි නිලධාරිනියක ලෙස සේවයට එක්වී සිටින්නීය. වෛද්‍යවරුන්ට සහාය වීම ඇයට පැවරී ඇති ප්‍රධාන රාජකාරියය.

සෝෆියා උපතින්ම රජ කුමරියක නොවෙයි. ඇගේ මව ප්ලාස්ටික් කම්හලක වෙළෙඳ කළමනාකාරවරියකි. පියා වෘත්තීය උපදේශකවරයකි. මෝස්තර නිරූපිකාවක සහ රියැලිටි තාරකාවක වූ ඇය කාල් පිලිප් කුමරුගේ අත ගත්තේ වසර 2015 දීය. තිස්පස් හැවිරිදි සොෆියා කුමරිය ගේ පුතුන් දෙදෙනා වන ඇලෙක්සැන්ඩර් සහ ගේබ්‍රියල් කුමාරවරුන් ස්විඩන කිරුළට හිමිකම් කියන පස්වැනියා සහ හයවැනියාය.

 

අන්තර්ජාලයෙනි