ශක්තිමත් ම බැම්ම ඇත්තේ පවුල් ජීවිතයේ

අසම්මත බැමිවලින් සදහටම වෙන්වන්න කාලයයි මේ
මැයි 27, 2020

ජීවිතය ජීවත් කරන්නේ බැඳීම්ය. ඉපදුණු මොහොතේ පටන් මියෙන තුරාවටම බැඳීිම් සමඟ ජීවත් වන අප, ජීවිතයේ අතිශය වැදගත් බැඳීම ලෙස සලකන්නේ ⁣පවුල් ජීවිතයත් සමඟ ඇති බැඳීමයි. කොරෝනා ජීවිතයට නොයෙකුත් පාඩම් කියා දෙන අතරේ අන් කවරදාකටත් වඩා පවුල් ජීවිතයක ඇති බැඳීම කාගේ කාගෙත් සිත් පතුලටම කිඳා බස්සවා ඇත.

නිවෙසටම වී සැමියා, බිරිය දූ දරුවන් සමග ජීවත් වන්නට සිදුව ඇති වකවානුවක මෙතෙක් අනියම් සබඳතාවලට පැටළුණු අයට මොකද වුණේ. අනියම් සබඳතාවක හරසුන් බව කියා පෑමට සුදුසු ම කාලය නොවෙද මේ උදාව ඇත්තේ.

ඉතාම කලාතුරකින් අනියම් සම්බන්ධයක ආදරයක් තිබෙද්දී අනෙක් සෑම විටම එහි ඇත්තේ ලිංගික ආකර්ෂණයයි.

''එයාගේ නපුරු ගතිගුණ නිසයි මම එහෙම වුණේ, එයා මට සලකන්නේ නැහැ, මට ආදරේ නැහැ...'' මේ හැම දෙයක් ම අනියම් සම්බන්ධයක් සාධාරණීකරණය කර ගැනීමට මවා ගත් කාරණාය.

තවත් බොහොමයක් අසම්මත ප්‍රේමයන් අන්තර්ජාලය වෙතින් ලද දායාදයන් ය. නිවෙසේ සිටින හැම විටමත් දුරකතනයම පීරමින් සිටියදී අන්තර්ජාලය ළඟ සිටින අය ඈත් කරවමින්, ඈත සිටින අය ළං කරවයි.

අසීරුවෙන් බැංකු ණයක් ලබා ගනිමින් මුළු සේසතම යටකොට සෑදු නිවෙසේ ආදරණීයයන් සමඟ පැය 24 ගත කිරීමට නොහැකිව ළතැවෙයි. ඒ ණය ගෙවා දැමීමට ඇති වසර ගණන එහෙමමය. නිවෙසේ පළුදුවීම් වෙන්නටත් කලින් පවුල් ජීවිතයේ පළුදුවීම් ඇරැඹී ඇත. නිවෙසින් පිට පනින්නටම සිත කියයි.

කවදා හෝ එළිවන රහස

පවුලේ බැඳීිම්වලින් දුරස් වෙමින් අනියම් පෙමක රසය විඳීන්නට හුරු වූ කෙනාගේ සිත හැමවිටම රහස්වලින් පිරුණු එකකි. රහසක් කියන දේ කවදා හෝ එළිවනු ඇත. රහසක ආයුෂ කෙටිය. එබැවින් රහසිගත බැඳීිමක් කවදා හෝ එළිවනු ඇත. නිසැකවම ලැජ්ජාවකට මුහුණ දෙන්නට සිදුවේ. වෙස් මුහුණු ගලවන්නට වූ දාට ශේෂ වනුයේ පසුතැවිල්ලක් ම පමණි.

පෙර කීවාක් මෙන් පෙරුම් පුරමින් සෑදූ නිවෙසේ බිරිය එක නිදන කාමරයක සිටියදී සැමියා තවත් නිදන කාමරයක සිටියි. ඒ අනියම් පෙම එළි වූ පසුවය.

එදිනෙදා කාර්යාලයට යන එන දුම්රියේ, බස් එකේ තහනම් පෙමට ලොල් වූ පිරිස් කොපමණ වෙයි ද. කාර්යාලයට ඒම නොවැරදීම කරන්නේ යන එන හෝරා කිහිපය රසවත්ව ගෙවා දැමීමට ය. පවුල් ජීවිතයේ මිහිරියාව නොඅඩුවම භුක්ති විඳීන අයවලුන් සති අන්තය එනතුරු නොඉවසිල්ලෙන් සිටියදී අනියම් පෙම රස විඳීන්නවුන්ට සති අන්තය ඉක්මනින්ම ගෙවී යනතුරු පුලපුලා බලා සිටියි.

ඔවුන් තම ජංගම දුරකතනය පිළිබඳ සැලකිලිමත් වෙයි.බොහෝවිට එය නිශ්ශබ්ද කරතැබීමට (ඵඪතඥදබ)පෙළ⁣ඹෙයි. රහසිගත බැඳීමක් සිතක් නිරන්තරයෙන්ම අසහනයට පත් කරයි. ගැහැනු හෝ පිරිමි වේවා මෙවැනි පිරිස් බොහෝවිට අම්මා, තාත්තා, නැන්දම්මා , මාමණ්ඩිය වැනි වයසක අය එම නිවෙසේ සිටිනවාට කැමැත්තක් නොදක්වයි. හැමවිටම ඔවුන්ව නුරුස්සයි. නිවෙසේ සිටින වැඩිහිටි පිරිස් දුරකතන ඇමතුම් ආදිය කෙරෙහි සැලකිල්ලෙන් සිටීම මොවුන් දැඩි ලෙස අපහසුතාවට පත් කරයි.

ආර්ථික වාසි තකා

බොහොමයක් තරුණ ගැහැනු ළමයින් වයසින් බොහෝ වැඩි පිරිමින් සතපවන්නට පෙළඹෙන්නේ ආර්ථික වාසිවලට මුල් තැන දෙමිනි. එහි ආදරයක් හෝ ලිංගික ආකර්ෂණයක් ඇත්තේම නැති තරම්ය.

එක්තරා කාර්යාලයක යුවතියක් කිසිදු ආකර්ෂණයක් නොමැති තම ප්‍රධානියා සමඟ හාදවන්නේ ⁣නවීන විලාසිතාවට අනුව සකසා ගත් කොණ්ඩය නඩත්තු කිරීමට අවශ්‍ය ෂැම්පු, කන්ඩිෂනර් ආදිය මිලදි ගැනීමටයි.

නිරන්තර පසුතැවිල්ලක්.

අනියම් බැඳීමක් වුව අවසානයේ ⁣ශේෂ කරනුයේ දුකක්, කනගාටුවක් පමණි.පසුතැවිල්ලට අමතරව සියල්ල තනිවම විඳ දරාගත යුත්තේ තමන්මය. එදා අනියම් පෙමට උඩගෙඩිදුන් කිසිවෙක් දැන් නැත.ඒ හැම ඔබව මඟහැර යන්නේ සිතාමතාමය.ඔබේ චරිතයට ගෙනා ඒ කළු පැල්ලම කෙසේ නම් ඉවත් කරන්න ද?

උස් මහත් වූ දරුවන් සිටින එක්තරා කාන්තාවක් හෘදයාබාධයකින් පෙළෙන තම සැමියා රැකියාවට යන තුරු බලා සිටිනුයේ අනියම් සැමියා නිවෙසටම ගෙන්වා ගැනීමට ය.සැමියා සහ අනියම් සැමියා සමඟ එකම යහනේ නිදිවදින ඇගේ මේ නින්දිත ක්‍රියාවට වැටකඩොළු බැඳුනේ අසල්වැසියන් දින ගණනාවක් තිස්සේ එය නිරීක්ෂණය කරමින් සිට එක්තරා දිනෙක එම නිවෙසේ වහලයට නොනවත්වාම ගල් ගැසීමෙනි.

සැමියාගේ පුංචිම පුංචි වරදකදී වුව කිසිසේත්ම සමාව දෙන්නට නොසිතන බිරිය හැම විටම ඇනුම්පද කියයි. රණ්ඩු සරුවල් කරයි. මෙවැනි අනවශ්‍ය සැක කිරීම්වලදී සිදුවන්නේ සැමියා බිරියට රිදවන්නටම අනියම් පෙමක් සොයා යෑමයි.ඒ සිත් රිදවීමත් අවසානයේ උරුම වන්නේ ඇයටමයි.

දුක හා සතුට අතර දෝලනය වෙමින්

අනියම් පෙමකින් ජීවිතයේ මෙතෙක් නොලද සතුට සොයා යන්නට සිතු ඔබට ඇත්තටම සතුටක් ලැබුණේ ද? දුකයි සතුටයි අතරේ වැඩිපුරම ලැබුණේ මොකද්ද? සරලව අවංකව ගෙවා දමා ජීවිතයක් මොනතරම් සැහැල්ලු ද, සුන්දර ද.?

දුකින් මිදෙන්නටැයි සිතා අනියම් පෙමක් සොයා ගිය ඔබ දුකකින් තවත් එවැනි ම දුකකට නොවෙද වැටුණේ. හරියට අඟුරුවල දැවටි දැවටී සිටි කෙනා ගින්නට වැටුණාක් මෙනි. නැතිනම් සීතල වතුර නාන්නට වූ කෙනා හිම කන්දක එරුණාක් මෙනි.

අනුමත කළ නොහැකි යෝජනාවන් හමුවේ වුව

අනියම් පෙමක පැටළී සිටියදී ඒ සහකරුවා හෝ සහකාරිය ⁣අනුමත කළ නොහැකි මොන දේ කළත් සාදරයෙන් පිළිගන්නට අනෙකා බලා සිටියි. කවර අන්දමේ යෝජනාවක් කළත් ඊට අවනත වේ. ඒ තවදුරටත් අනියම් පෙම රැක ගැනීමටයි. මතුපිටින් බලද්දී ආදරයක් ඇතැයි සිතුණත් එතැන සැබෑවටම ඇත්තේ ආදරයක්දැයි මොහොතකට සිතා බලන්න.

සැමියා සමඟින් දූදරුවන් සමඟින් ඔවුනගේ යුතුකම් සහ වගකීම් ඉටුකරමින් ඔවුන්ටම බැඳීි සිටිමින් ගත කරමින් ගතකරන ⁣ජීවිතයෙන් තෘප්තිමත් වන්න.

මානසික රෝගී තත්ත්වයක් ලෙස සැලකෙන උන්මාදය නම් අවස්ථාවේ එක්තරා පැතිකඩක් ලිබිඩෝ නම්වේ. මෙහිදී අධික කාමාශාවක් ඇතිවේ. මෙය මනෝ චිකිත්සක ප්‍රතිකාර කෙරෙහි යොමු විය යුතු අවස්ථාවකි.

 

 

උපදෙස් :

මනෝ උපදේශිකා, මනෝ චිකිත්සක

අමා දිසානායක