ඔබ ජීවත් වෙන්නේ කුමක් වෙනුවෙන්ද?

අගෝස්තු 12, 2020

උපදෙස් - ප්‍රවීණ දේශක හා මනෝ විද්‍යා පුහුණු උපදේශක

මොහාන් පල්ලියගුරු

ජීවිතයට ඉලක්කයක් ලබා ගන්නේ කෙසේද යන්න බොහෝ දෙනකුට ගැටලුවකි. සාර්ථකත්වය ලබා ගැනීමට අවශ්‍ය වුවද ඒ සඳහා යන ගමන් මාර්ගය පිළිබඳ නිසි අවබෝධයක් නොමැති වීම මෙයට හේතුවයි.

ඒ නිසාම අපි ඉලක්කයක් ලබා ගෙන එම ඉලක්කය සම්පූර්ණ කරගන්නා ආකාරය සඳහා ඔබ සිදු කළ යුතු දේ පිළිබඳ මඟ පෙන්වීමක් සිදු කරන්නෙමු.

පසුගිය සතියේ දී අපේ රටේ එක් දිරිය තරුණියක් තම ජීවිතයට ඉලක්කයක් ලබා ගත් අයුරුත් එම ඉලක්කය නිතර සිහියේ තබා ගනිමින් එය ඉටුකර ගැනීම උදෙසා ක්‍රියා කළ ආකාරයත් අපි ඔබට ඉදිරිපත් කළෙමු. හැකියාවන් පමණක් ඇති ආර්ථික අතින් පහළ අඩියේ සිටි තරුණියක් කුඩා රැකියා, ව්‍යාපාර ආදිය කරමින් අද වන විට මහා පරිමාණ ව්‍යාපාරික කාන්තාවක් වී ඇති ආකාරය ඉන් කියැවිණි.

ඇයගේ ජීවිත කතාව දෙස බැලූ විට අපට කාරණා කිහිපයක් පැහැදිලි වේ. ඇය කොළඹට එන්නේ කිසිවක් නැතිව හිස් අතිනි. නමුත් ඇය තුළ බලාපොරොත්තුවක් ‘ඉලක්කයක්‘ පවතී. එම ඉලක්කය වටා ඇය ජීවත්වීමේ ප්‍රතිඵලය වන්නේ හෝටලයක හිමිකාරීත්වය ලැබීම පමණක් නොව, තවත් බොහෝ දේ ජීවිතයේ දී ජයග්‍රහණයකර තිබීමයි.

ඉලක්කයකට යාමේදී එයට අමතරව තවත් දේ ලැබීමේ වරප්‍රසාදය ඔබට හිමි වේ. එමනිසා ‘මට අරක නෑ.. මේක නෑ. අතදෙන්න කෙනෙක් නෑ..‘ කියමින් සිටිනවාට වඩා තමා තුළ තිබෙන ශක්තීන් තවත් අයකුට ප්‍රතිඵලයක් උදා කළ හැකි දෙයක් බවට හරවන්නේ කෙසේදැයි සිතා බැලිය හැකි නම් ඒ ඕනෑම තැනක ව්‍යාපාරික අවස්ථාවන් පවතී. අපේ ඇය කොළඹට එන්නේ කිසිවක් නැතිව හිස් අතිනි. ඔබ ධෛර්යවන්ත කාන්තාවක් නම් රැකියා සොයමින් සිටිනවාට වඩා තමා තුළ ඇති හැකියාවන් උපයෝගී කරගෙන ව්‍යවසායිකාවක් විය හැකියි. ඔබට විවේක වේලාවක් තිබේ නම් රූපවාහිනිය ඉදිරියේ, මිතුරු මිතුරියන් හෝ අසල්වැසියන් සමඟ නිකරුණේ කතාබහේ යෙදෙමින් එසේත් නැතිනම් මුහුණුපොතේ අනවශ්‍ය ලෙස එල්ලී සිටීමෙන් කාලය අපතේ නොයවා පවුලේ ආර්ථිකයට ශක්තියක් විය හැකි ගෙවත්තක් නිර්මාණය කිරීමේ කාර්යයක් වුවද සිදු කළ හැකියි. විසිතුරු මල් පැළ වගා කිරීමෙන් වුවද ඔබට ව්‍යාපාරයක් ආරම්භ කළ හැකිය. අවශ්‍ය වන්නේ ඔබට ඇති සම්පත් හා දක්ෂතා හඳුනාගෙන ඒවා නිසි සේ ප්‍රයෝජනයට ගැනීමයි.

අපේ ජීවිතයේ සාර්ථක අසාර්ථක බව තීරණය වන්නේ වාසනාව, අවාසනාව, දෛවය, කර්මය මත නොවේ. අපි ජීවිතයේදී සිදු කරන කාර්යයන් හා ඒවා සිදු කරන ආකාරය මතයි. අද අපිට හොඳ තීරණ ගෙන යහපත් කාර්යයන් සිදු කළ හැකි නම් අනාගතයේ දී අපට යහපත් ජීවිතයක් ගත කිරීමට හැකියාව ලැබේ.

වඩා හොඳ තීරණ ලබා ගන්නේ කෙසේදැයි ඔබට ගැටලුවක් පැන නගීවි. වඩා හොඳ තීරණ ගැනීමට නම් අපි අත්දැකීම්වලින් පොහොසත්ව සිටිය යුතුයි. ඇසූ පිරූ දැනුම, අත්දැකීම් වැඩි වූ තරමට අපිට වඩා හොඳ තෝරා ගැනීම් නැතිනම් තීරණ ගැනීම් සිදු කළ හැකියි. සාර්ථකත්වය කරා ළඟා වූ ලෝකයේ විවිධ පුද්ගලයන් පිළිබඳ අධ්‍යයනය කිරීමෙන් මේ බව හොඳීන් ම වටහා ගත හැකියි.

අද අපි එවැනි විශේෂ චරිතයක් ඉලක්ක ජය ගත් ආකාරය පිළිබඳ සොයා බලමු. අප කවුරුත් දන්නා ඇපල් සමාගමේ සම නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් සාර්ථකත්වය ලබා ගත් ආකාරය අපේ ජීවිතවලට ද යම් ආදර්ශයක් ලබා ගැනීමට පිටිවහලක් වනු ඇති. ස්ටීව් ජොබ්ස් අංශ ගණනාවකින් සුවිශේෂී පුද්ගලයෙක්. ඔහු මෙලොව එළිය දකින්නේ විශ්ව විද්‍යාල ශිෂ්‍යාවකගේ දරුවකු ලෙසයි. නීත්‍යානුකූල විවාහයක් නැතිව සිදු වූ මේ දරුගැබ ඇයට පීඩනයක් ලබා දෙන්නට ඇති. මව ඔහුව වෙනත් යුවළකට හදා ගැනීම සඳහා ලබා දීම නිසා ස්ටීව් ලොකු මහත් වන්නේ අරන් හදාගත් දරුවකු ලෙසයි.

 

 

2020/08/12 තරුණි පුවත්පත බලන්න