18+ කෙල්ලෙක්ගේ හෑන්ඩ් බෑග් එකේ තියෙන්න ඕනෙම දේවල්

පෙබරවාරි 26, 2024

ඔයා අවුරුදු 18ක කෙල්ලෙක් ද? 16 -17 වුණත් කමක් නැහැ. අපි මේ ලියන්න හදන්නේ යන හැම තැනකදිම තමන්ගේ පරෙස්සමට වගේම අවශ්‍ය වන හෑන්ඩ් බෑග් එකේ තිබිය යුතුම දේවල් ගැන. කතාවට නම් කියන්නේ කෙල්ලෙක්ගේ හෑන්ඩ් බෑගයේ නැති දෙයක් නෑ කියලා. නමුත් ඉතින් අවශ්‍ය වෙලාවට බැලුවම ඕනේ කරන කිසිම දෙයක් නෑ. කෙල්ලෙක් කියන්නේ ටිකක් වගකීමෙන් වැඩ කරන්න ඕනේ කෙනෙක්නේ. මේ නිසා හදිසි අවස්ථාවකට මුහුණ දෙන්න අවශ්‍ය වෙන අත්‍යවශ්‍යම දේවල් ටිකක් කෙල්ලෙක්ගේ අත් බෑගයේ තිබිය යුතුමයි. සමහරවිට ඔයාට හිතෙන්න පුළුවන් දැනටමත් මේ දේවල් ඔයාගේ බෑග් එකේ තියෙනවා කියලා.

ඒත් අපි කියන්න යන්නේ තිබිය යුතු අත්‍යවශ්‍යම දේවල් ගැනයි. මේක කියවලාම බලන්න.

මෙඩිකල් පැක් එකක්

මේක නම් අත්‍යවශ්‍ය දෙයක්. මොකද අපි එළියට ගියාම මොන මොන දේවල්වලට මුහුණ දෙන්න වෙයිද දන්නේ නෑනේ. අපි දවල් වෙලාවක ගියොත් නම් අව්ව සැරටත් එක්ක ඔළුව කැක්කුමක් නම් අනිවාර්යෙන් එනවා. ඒ වගේම මඟතොටේදි අනතුරු වෙන්නෙ කිය කිය නෙමෙයිනේ. ඒ නිසා කෝකටත් බෑග් එකේ පොඩියට පැනඩෝල් 2ක්, ඩයිජින් පෙත්තක්, ඇක්ස් ඔයිල් එකක්, සිද්ධාලේප එකක්, තැල්මකට ගාන ක්‍රීම් එකක්, පොඩි ප්ලාස්ටර් රෝලක් එක්ක මිනි ඩ්‍රග් කන්ටේනර් එකක් වගේ පොඩි දේවල් අඩංගු බෑග් එකක් තියෙනවා නම් ගොඩක් වටිනවා. ඒ වගේම සනීපාරක්ෂක තුවායක්, පොඩි ලේන්සුවක් තිබීමත් ඉතාම වැදගත්.

සොවින් කිට් එකක්

ඒ කියන්නේ මඟතොටේදී අපේ ඇඳුමක බොත්තමක් ගැලවුණොත්, සිපර් එක කැඩුණොත්, ඇඳුමක වාටියක් ලෙහුණොත් වගේ වෙලාවක දන්න අඳුරන කෙනෙක් ළඟපාතක නැතිනම් අපි ගොඩක් අපහසුතාවයට පත් වෙනවා නේද? ඒ වෙලාවට නොදන්නා කෙනෙක්ට කටක් ඇරලා කියන්නත් අපි මැළි වෙනවා නේද? ඉතින් ඒ වගේ අවස්ථාවක ප්‍රයෝජනයට ගන්න ඉඳිකට්ටක්, නූල් ටිකක්, එක්ක අමතර බොත්තම් කිහිපයක්, සේෆ්ටි පින්ස් ටිකක්, කුඩා කතුරක් වගේ දේවල් අඩංගු පැක් එකක් තිබුණොත් ගොඩක් වටිනවා. එතකොට විශ්වාසයෙන් එළියට බැහැල යන්නත් පුළුවන් හැඟීමක් ඇතිවෙනවා. ඒ වගේම මඟතොටේදි වෙන කෙනෙක්ට ඒ වගේ කරදරයක් වුණොත් ඔයාට පුළුවන් බය නැතුව එයාලට පිහිට වෙන්නත්. මොකද ඔයා සියල්ලෙන් සමන්විතයිනෙ නෙහ්.

මේකප් කිට් එකක්

මේක නම් කිව්වත් නැතත් අපේ ගෑනු ළමයි ගාව අනිවාර්යෙන්ම තියෙන දෙයක් කියලා දන්නවා. විශේෂයෙන්ම ඔෆිස් යන කෙනෙක් වුණාම උදේට පොඩි මේකප් එකක් දාගෙනනේ එළියට බහින්නේ. ඒ වගේමයි ඔෆිස් එකේ ඉද්දි දවල් කෑමෙන් පස්සෙ වගේම හවස එළියට එනකොට මේකප් කරන එක අපි හැමෝම වගේ කරන දෙයක්නේ. ඒ නිසා ඒ වගේ වෙලාවකට අපි ළඟ මොයිස්චරයිසර් ක්‍රීම් එකක්, පෑන් කේක් ආලේපයක්, ලිප්ස්ටික් එකක්, ලිප් ලයිනර් එකක්, ලිප් බාම් එකක්, කුඩා සුවඳ විලවුන් බෝතලයක්, පොඩි ෆේස් වොෂ් එකක්, ටිෂූ පැකට් එකක්, කුඩා කණ්ණාඩියක්, පුංචි කතුරක්, පනාවක්, හෙයා පින්ස් ටිකක් සහ සන් ප්‍රොටෙක්ෂන් ක්‍රීම්, අමතර හෙයා බෑන්ඩ් එකක් වගේ දේවල් හැමවෙලේම ළඟ තියාගන්න එක ගොඩක් වටිනවා. ඒ වගේම අමතර කරාබු දෙකක් තියාගන්නත් අමතක කරන්න එපා.

නෝට් බුක් එකක් එක්ක පෑනක්

මඟතොටේදී වෙන්න පුළුවන් දේවල් අපිට කලින් දැනගන්න වෙන්නෙ නෑනේ. ඒ නිසා වැදගත්වන තොරතුරු ටික ලියපු පොඩි නෝට් බුක් එකක් ළඟ තියෙනවානම් හදිසි වෙලාවක ගොඩක් වටිනවා. ඒකේ ළඟම ඥාතීන්ගේ නම්බර්ස් වගේ තමුන්ගේ විස්තරත් පොඩ්ඩක් ලියලා තියාගන්නව නම් හොඳයි. ඒ වගේම ඔයාට වෙනත් කුමන හෝ විශේෂිත රෝගාබාධ එහෙම තියෙනව නම් ඒවත් නෝට් කරලා තියාගන්න එක බොහොම වැදගත්.

කුඩයක්, වතුර බෝතලයක්

කිව්වත් නොකිව්වත් අපි හැමෝම අරගෙන යන දෙයක් තමා කුඩය කියන්නේ. මොකද ගෑනූ ළමයි සම හා තමන්ගේ රුව ගැන හරි සැලකිලිමත්නේ. කුඩය එක්කම අමතර ඉටි බෑග් එකක් තියාගන්නත් අමතක කරන්න එපා. වැස්ස වෙලාවකට කුඩේ බෑග් එකට දාගන්න ඒක ප්‍රයෝජනවත්. ඒ වගේම වතුර බෝතලයක් අරගෙන යන එකත් පුරුද්දක් කරගත්තට නරක නෑ.

මඟතොටේදී යාළුවෙක් මුණගැහිලා හරි පාක් එකකට වගේ ගිහින් ආහාර ගන්නාවිට ළඟපාතක තියෙන ටැප් එකෙන් නිකම් වතුරෙන් අත හෝදනවට වඩා මේ වගේ කුඩා බෝතලයක් ළඟ තියාගෙන ඒ වෙලාවට ප්‍රයෝජනයට ගන්න එක ගොඩක් වටිනවා.

පර්ස් එක

උඩින් කිව්ව ඔක්කොම දේවල් අරන් ගියත් වැඩක් වෙන්නෙ නෑ ඔයාගෙ මුදල් පසුම්බිය අමතක කරලා ගියොත්. මොකද ඒකනෙ වටිනම දේ අපේ බෑග් එකේ තියෙන. ඒ නිසා පර්ස් එක දාගන්න අමතක කරන්න එපා. ඒ වගේම පර්ස් එක අනවශ්‍ය කොළ කෑලිවලින් පුරෝගෙන ඉන්නත් එපා. තමුන්ට අවශ්‍ය බැංකු කාඩ්, ක්ලාස් කාඩ්, බිස්නස් කාඩ්, සල්ලි වෙන වෙනම අසුරලා තියාගන්න.

මුදල් පසුම්බියේ ඇති මුදල්වලට අමතරව හෑන්ඩ් බෑගයේ ඇතුළු පොකට් එකක ගමන් ගාස්තුවට සමාන හෝ ඊට වැඩි මුදලක් තබාගන්න.

හැඳුනුම්පත හා බැංකු කාඩ් බෑගයේ ඇසිරිය යුත්තේ ඉතා ආරක්ෂිතව. හෑන්ඩ් බෑග්වල ඇති රහස් පොකට් මේ සඳහා සුදුසුයි.

පිටරටවල නම් අවුරුදු 18ක කෙල්ලෙක් නම් හෑන්ඩ් බෑග් එකේ කොණ්ඩම් එකකුත් තියාගන්න අමතක කරන්නේ නැහැ. මේ කතාව ටිකක් සදාචාර සම්පන්න නැහැ කියලා ඔයාට හිතෙයි. හැබැයි මේක තමයි ඇත්ත. හැමදේටම වඩා ආරක්ෂාව වැදගත්.

මේ ලිස්ට් එක කියෙව්වාම ඔයාට හිතෙයි මේ සේරම ගෙනියන්න ට්‍රැවලින් බෑග් එකක් අරන් ගියා නම් මීට වඩා හොඳයි කියලා. හැබැයි මේ දේවල් නිවැරදිව ඇසිරුවොත් පුංච් හෑන්ඩ් බෑග් එකේ තව ඉඩත් ඉතුරු වෙයි.