දිරියෙන් දිවි දිනූ MAS දියණිය රමණි

මාර්තු 11, 2024

වටිනා සමාජමය භූමිකා නිරූපනය කරන කාන්තාව මෙරට ආර්ථික ප්‍රගමනය උදෙසා දක්වන දායකත්වය ද අති මහත්ය. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 50%කට අධික පිරිසක් අයත් වන්නේ ද කාන්තා ජනගහනයටයි. කාර්මික ක්ෂේත්‍රයේ අපනයන ඉපැයීම් අතර ප්‍රමුඛ ස්ථානයක් ගන්නා ඇඟලූම් ක්ෂේත්‍රයේද ඉහළම සේවා නියුක්තියක් සනිටුහන් කරන්නේ ද කාන්තාවයි.

ඉතිං කවදත් දිරිය ළදුන් සවිබල ගන්වමින් සහ ශක්තියක් වෙමින් ඔවුන්ගේ ලෝකය ජයගන්නට මංපෙත් විවර කරන MAS Holdings ආයතනයේ දිරිය දියණියකගේ කතාව ඔබ සමඟ බෙදාහදා ගන්නට අප සිතුවා. එතැනින් තම ජීවිතයේ නැගී සිටි ඇය අද වන විට ඉතාමත් සාර්ථක ව්‍යාපාරික කාන්තාවක් බවට පත්ව සිටින්නීය. මේ, ඇගේ ඒ කතාවයි. අපි ඒ කතාව ඇගේ වදනින්ම දැනගනිමු.

ඔබ MAS Holdings සමඟ සම්බන්ධ වූ ආකාරය ගැන පැවසුවොත්?

මම රමණි ප්‍රනාන්දු. මට දරුවන් දෙදෙනෙක් ඉන්නවා.මම මුලින්ම කළ රැකියාවෙන් ඉවත් වුවායින් පසුව 2008 වර්ෂයේදී යාළුවෙකුගේ මැදිහත් වීමකින් තමයි මට MAS Holdings හි රැකියාවට එන්න අවස්ථාව ලැබුණේ. ඇත්තටම ඒ ලැබුණු අවස්ථාව මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය බවට පත් වේවි යැයි මට එදා නිකමටවත් සිතුනේ නෑ.

MAS ස්ලීක් ලයින් එකට මම සම්බන්ධ වුණේ කාර්මික ශිල්පිනියක් (Technician) හැටියට. එහි වැඩ කරන්න තිබුණේ සේවා මුර (shift) ක්‍රමයට. මේ නිසා මගේ කාලය ඉතිරි කරගන්න පුළුවන් වුනා. ඉතින් ඒක මට විශාල මානසික සහනයක් වුණා වගේම ලොකු වාසියක් වුනා. මට දවසෙන් වරුවක් ඉතුරු වුණා. මම රැකියාවට යන නිසා මගේ දෙමව්පියෝ තමයි මගේ දරුවෝ දෙදෙනා බලා ගත්තේ. ඒ දෙන්නත් වරුවෙන් ඒකෙන් නිදහස් කරන්න මට පුළුවන් වුණා. දරුවෝ දෙන්නත් බලා ගෙන ගෙදර වැඩ කටයුතු කරගන්න මේ නිසා මට හැකි වුනා.ඇත්තටම එහෙම නිදහසක් ලැබුණු එක ගැන හදවතින්ම සතුටු වුනා. ඒ වගේම මේ රැකියාවේදී හොඳින් දිරි දීමනා ලැබුණු නිසා මා සේවය කළේ ඉතා සතුටින්.

MAS ස්ලීක් ලයින් හි සේවය කරද්දී ඔබට ලැබුණු අත්දැකීම් මොනවාද?

අත්දැකීම් ගැන කතා කරනවා නම් අද මම යම් තැනක ඉන්නවා නම් ඇත්තටම MAS ඒ ආයතනයෙන් ලබා ගත් අත්දැකීම් නිසයි කියලා මම කියන්න කැමතියි.ඒ මොකද රැකියාව ගැන යම් අවබෝධයක් තිබුණත් තමන් කරන රැකියාව සමඟ තාක්ෂණය භාවිත කරමින් බොහෝ දේවල් කළ හැකි බව මම දැනගත්තේ MAS ආයතන සමඟ සම්බන්ධ වුණාට පසුවයි. උදාහරණයක් විදියට මම මුලින් අන්තර්ජාලය ගැන හිතුවේ ඒක බොහොම නරක දෙයක්, ඒකෙන් අපිට වැඩකටයුතු කරන්න අමාරුයි වගේ දේවල්. මොකද ඒ වෙද්දී මම පෞද්ගලිකව අන්තර්ජාලය පරිහරණය කරපු කෙනෙක් නෙවෙයි. නමුත් MAS Holdings හි ‘කාන්තාවන් පෙරමුණටම’ (Women Go Beyond -WGB) වැඩසටහහන මඟින් ආයතනයේ කාන්තාවන්ට ලබා දුන් සයිබර් හිංසනය ගැන දේශනයෙන් අන්තර්ජාලය ගැන මට තිබුණු වැරදි මතය නිවැරදි කරගන්නත් ඒ පිළිබඳව වැඩිදුරටත් තොරතුරු දැන ගැනීමටත් මට හැකියාව ලැබුණා. ඒවගේම WGB වැඩසටහන මගින් කරපු කාන්තා ව්‍යවසායක් පුහුණු වැඩසටහන්වලදී අන්තර්ජාලය ඔස්සේ ව්‍යාපාර වැඩිදියුණු කරගන්න හැටිත් මම ඉගෙන ගත්තා. එපමණක් නොවෙයි ඇත්තටම අන්තර්ජාලය කියන්නේ ගොඩක් දේවල් ඉගෙන ගන්න, ව්‍යාපාර කරන්න, ව්‍යාපාර දියුණු කරගන්න, නිර්මාණශීලී දේවල් කරන්න අවස්ථා සලසා දෙන ඉතාමත් ප‍්‍රයෝජනවත් මෙවලමක් කියලා මට අවබෝධ වුණේ WGB වැඩසටහනින් කරපු පුහුණු වැඩසටහන්වලදියි. අද බොහෝ දේවල් අධ්‍යාපනය, ව්‍යාපාර, දැනුම බෙදා දීම, පණිවුඩ ලබා දීම ආදී බොහෝ දේවල් සිදු කරන්නේ අන්තර්ජාලය හරහා. ඉතිං අපිට සාර්ථක ගමනක් යන්න නම් මේ තාක්ෂණික දැනුම ලබා ගෙන මේ මෙවලම් නිවැරදිව පරිහරණය කරන්නම වෙනවා.

MAS ආයතනයේ WGB වැඩසටහන මඟින් පැවැත් වූ සයිබර් හිංසනය හා ඉන් ආරක්ෂා වීමේ දේශනයෙන් ලබා ගත්ත දැනුමෙන් මට පුළුවන් වුනා මගේ දුවගේ පාසලේ තවත් දුවක් ලක් වෙලා හිටපු සයිබර් හිංසනය සම්බන්ධ ගැටළුවකට මැදිහත් වෙලා ඒ දුවට උදව් කරන්න. එහිදී මම නිසි පියවර අරගෙන ඇගේ දෙමව්පියන්ටත් පෞද්ගලිකව කතාබහ කරලා නැති කරගන්න හිටිය ඒ දුවගේ වටිනා ජීවිතය ආපහු ලබා දුන්නා ඒ ගැන මම නිහතමානීව ආඩම්බර වනවා වගේම පුදුම විදියට සතුටු වනවා.

 

ඔබට MAS ආයතනයේ සේවය කරන අතරතුර ව්‍යාපාරයක් කිරීම අවදානමක් යැයි සිතුණේ නැද්ද? ඒ සඳහා ඔබව පෙළඹ වූ කරුණු මොනවාද?

මම කවදාවත් අවදානමක් ගන්න බිය වුනු කෙනෙක් නෙවෙයි.ඉතිං මට හිතුනා මුකුත් නොකර ඉන්නවාට වඩා උත්සාහ කිරීම වටිනවා කියලා. අපේ ආයතනයේ විවිධාකාර පුහුණු වැඩසටහන් පවත්වනවා. ඒ පුහුණු වැඩසටහන්වලින් 5S ක්‍රමය, ඉතුරුකර ගන්නා ක්‍රම, විදුලිබිල ඉතුරුකරගෙන වැඩ කරන විදිය ආදී දේ මම දැනගත්තා. ඒ දැනගත්ත දේවල් නිසා මට විදුලිබිල ඉතුරු කරගෙන වැඩ කිරීම වෙනුවෙන් පළමු ත්‍යාගය පවා හිමි වුණා. ඒ දැනගත්ත දේවල්වලින් සාමාන්‍ය ජීවිතයේ ඉතුරු කිරීම, අරපිරිමැස්ම කියන දේවල් ගැන හොඳ අවබෝධයක් ලබා ගත්තා. මට ඒ දැනුම ගොඩක් වටිනවා සහ ඒ දැනුමින් මම වැඩි ප්‍රයෝජනයක් ලබා ගත්තා. මට හිතුණා මේ කාලයෙන් මට තවත් දෙයක් කරන්න පුළුවන් කියලා. මේ දැනුම රාජකාරියේ දී විතරක් නෙවෙයි, මම මගේ පෞද්ගලික ජීවිතයටත් අදාළ කරගැනීම නිසා මුදල් ඉතිරිකර ගැනීමට හැකි වුණා.

නමුත් මේ කාලයේ දී මගේ දුව රෝගී වීම හේතුවෙන් ඇයට බෙහෙත් කරන්න මට MAS ආයතනයෙන් සැලකිය යුතු මුදලකුත් මාස තුනක නිවාඩුවකුත් ලබා දුන්නා. කොහොම නමුත් දරුවගේ ශල්‍යකර්මයෙන් පස්සෙ එයාගෙ වැඩත් එක්ක මට රැකියාවට යන්න අපහසු වුණා. පසුව මම රැකියාවෙන් ඉවත් වීමේදී ලැබුණු මුදල්වලින් මම මැෂින් තුනක් මිලදී ගත්තා. ඒ මැෂින්වලින් සබ් අරගෙන මැහුවත් ඒවායින් මට හරියට සල්ලි ලැබුණේ නෑ. මම තීරණය කළා මේ තත්වෙන් ගොඩ එන්න නම් මගේම දෙයක් කළ යුතුයි කියලා. මම ඇඳුම් මහන්න පටන් ගත්තා. ඒ අතරතුරදී MAS ආයතනයෙන් මට නැවත කතා කළා. ඇත්තටම මම අවුරුද්දක කාලයක් පමණයි රැකියාවෙන් ඉවත් වෙලා හිටියේ. ඒ අවුරුද්ද නැතිව මම අවුරුදු 17ක් MAS ආයතනයේ සේවය කරලා තියෙනවා. අනෙක් ආයතනවලදී මම කළේ එකම දෙයක් විතරයි. ඒත් MAS ආයතනයෙදී මට හැම පැත්තක් ගැනම දැනුම ලැබුණා. ඒනිසා මට ඕනෑම ඇඳුමක් කපා මැසීමේ හැකියාව ලැබුණා.

 

ඔබ අද වන විට සාර්ථක ව්‍යාපාරයක හිමිකාරිනියක්.මේ සාර්ථකත්වය කරා යාමට MAS ආයතනයෙන් ලැබුණු පිටිවහල කෙබඳුද?

MAS ආයතනයෙන් පැවැත් වූ WGB එකෙන් කරන විවිධ වැඩසටහන්වලට මම කාලයක් තිස්සේ සම්බන්ධ වුණා. එම වැඩසටහන්වලින් මට අවබෝධ වුණා සයිබර් හිංසනයෙන් කාන්තාවන් ආරක්ෂා වෙන ආකාරය ගැන දැනුම ලබා දෙනවා වගේම අන්තර්ජාලය හරහා ව්‍යවසායිකාවන් වීමට දිරිමත් කරන බව.මමත් මගේ ව්‍යාපාරය දියුණු කිරීම සඳහා අන්තර්ජාලය ප‍්‍රයෝජනයට ගත්තා. ඒ හරහා විදේශ රටවල වෙළෙඳසැල් සමඟත් සම්බන්ධ වෙලා මගේ නිමි ඇඳුම් ව්‍යාපාරය මම අද ඉන්න තත්වයට රැගෙන එන්න එය ලොකු පිටිවහලක් වුනා කිව්වොත් මා නිවැරදියි.

මම මහන ඇඳුම් MAS ආයතනයේ සාමාජිකයින්ටම අලෙවි කරන්න මට පුළුවන් වුණා. මෙයින් රැකියාවට අමතරව වෙනම ආදායමක් මම ලබා ගත්තා. මම දැනටත් ඇඳුම් කපලා තවත් අයට මහන්න සබ් දෙනවා. ඇත්තටම MAS නිසා තමයි මට දියුණු වෙන්න, ජීවිතය ජය ගන්න පුළුවන් වුණේ. ඒකට ආයතනයෙන් ලබා දුන්න දැනුම, කළමනාකරණ දැනුම ආදිය නිසා තමයි අද මම මේ තත්වයේ ඉන්නේ. ඇත්තම කිව්වොත් මම මේ MAS ආයතනයට ණයයි. මම ආයතනයේත් 100%ක් වැඩ කරනවා.රාජකාරියෙන් පස්සෙ ගෙදර ගිහිල්ලත් මම විශාල වැඩ කොටසක් කරගන්නවා.

ඇත්තටම කිව්වොත් MAS ආයතනය කියන්නේ වැඩ පොළක් නෙවෙයි පාසල් වගේ.ආයතනයෙන් අපිට දැනුම වගේම මිනිස්සුන්ව අඳුනගන්න, මිනිස්සුත් එක්ක සුහදව වැඩ කරන්න, මිනිස්සුන්ව සම්බන්ධීකරණය කරන්න, ගැටලූවක් ඇති විටකදී ඒවට විසඳුම් හොයා ගන්න වැනි දේවල් අපිට වෘත්තීය ජීවිතයේ දී විතරක් නෙවෙයි පෞද්ගලික ජීවිතයේ දී පවා හරිම වැදගත් වුණා. ගෘහ ජීවිතය, වෘත්තීය ජීවිතය, පවුල් ජීවිතය කියන මේවා හරියට දම්වැලක පුරුක් වගේ.

ඇත්තටම MAS ආයතනය නිසා මම ගිය ගමන ආපස්සට හැරිලා බලනකොට දැනෙන්නේ ලොකු සතුටක්. කවදාවත් ඉදිරියට තියපු අඩියක් මම පස්සට තියලා නෑ. මට තවත් ඉදිරියට යන්න පුළුවන්. ඇත්තටම මට හිතන්නේ මට ඒ ශක්තිය, සවිබල ගැන්වීම ලැබුණේ MAS ආයතනය නිසා කියලයි.අපිට තියෙන ප්‍රශ්න ගැන ආයතනයෙන් සොයලා බලනවා.

මගේ දුව අසනීප වුණු වෙලාවේ ආයතනයෙන් මට කිව්වේ ඔයා රැකියාව ගැන හිතන්න එපා, දරුවව සනීප කරගන්න, ඉන්පස්සෙ රැකියාව කරන්න පුළුවන් කියලා. මට නිවාඩු දීපු මාස තුනේදී මගේ සම්පූර්ණ වැටුප පවා මට දුන්නා. මට මේ දේවල් කරගන්න පුළුවන් වුණේ ආයතනයෙන් මට දීපු මානසික සහනය වගේම මූල්‍යමය උපකාර නිසා.

ඇය හැල්මේ ඇගේ ජීවිත කතාව පවසන්නීය. නැවතත් සැනසුම් සුසුම් හෙලමින් තම කතාව පැවසීමට හඬ අවදි කරන්නීය. මේ අතරට මගේ සිතට පිවිසි පැනයක් මා ඈ වෙත යොමු කළාය.

 

ඔයා පටන් ගත්ත ව්‍යාපාරයට මොකද වුණේ..?

ඒ ව්‍යාපාරය දැන් දියුණු මට්ටමෙන් කරගෙන යනවා. මම ඩමී එහෙමත් අරගෙන ෂෝ රූම් එකක් හැදුවා. දැනටත් මම ඒකෙ මැහුම් කටයුතු කරගෙන යනවා. මම ලොකු ඇණවුම් වලට වඩා කරන්නේ කෑලි 10-15 ඒවා. මොකද මම උසස් තත්වයේ නිෂ්පාදන කරන නිසා ලොකු ඇණවුම් භාර ගන්නේ නෑ. මම කරන නිර්මාණ වඩාත් උසස් තත්වයෙන් කිරීම නිසා තමයි මගේ ව්‍යාපාරය මේ වෙනකොට සාර්ථක වෙලා තියෙන්නේ.

ඇත්තටම දැන් මම හොඳ ආර්ථික මට්ටමක ඉන්නවා. තෙමහල් නිවසක් හදා ගන්නත් මට පුළුවන් වුණා.

අද වන විට ඇය සාර්ථක ව්‍යාපාරිකාවක්.සාර්ථකත්වයේ හිණිපෙත්තට පැමිණීමට ඇය පැමිණි ගමන් මග තරමක් දුෂ්කර වුවත් ඇයගේ ජීවිතය ජයගන්නට ශක්තියක් වූ MAS ආයතනයේ ඇය ඉදිරියටත් සතුටින් සේවය කරන බව ඇය සිනාමුසු මුහුණින් යුතුව අප සමඟ පැවසුවාය…..