මම ගැන හොඳටම දන්නෙ මම විතරයි

මාර්තු 11, 2024

අභිමානවත් ජාත්‍යන්තර කාන්තා දිනයක් සමරන මේ මොහොතේ අපේ රටට අභිමානය කැන්දන කාන්තා චරිත ගැන කතා නොකරම බැහැ. විශේෂයෙන්ම මෙරට ප්‍රධාන පෙළේ ආයතන කිහිපයක මුල් පුටු හොබවන කාන්තා චරිත අතරේ ඇයද කැපී පෙනෙන්නියකි. ඒ බව පසක් කරමින් මේ වසරේ Women in management (WIM) මඟින් එළිදැක්වූ වසරේ විශිෂ්ටතම කාන්තා දින දසුනෙහි එක් මාසයක් හැඩ වන්නේ ද ඇයගේ සොඳුරු රුවෙනි.

ඇය නීතිඥ දිල්රුක්ෂි කුරුකුලසූරිය. ඩිමෝ ලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂිකාව මෙන්ම ප්‍රධාන මානව සම්පත් නිලධාරිනියයි. තවත් විදිහකට පැවසුවහොත් ඩිමෝ ලංකා හි විධායක අධ්‍යක්ෂ පුටුවෙහි අසුන්ගත් පළමු කාන්තාව ඇයයි. එන්න. මල් සේම ගල් මුල් ද නොඅඩුවම... ඇතිරූ ඇයගේ ගමන්මඟ ගැන අපි කතා කරමු.

අද දවසේ විධායක තනතුරක වගකීම් ඔබට බරක් නොවන්නේ පුංචි කාලේ ඉඳන් ලැබුණු පන්නරය නිසා කියලයි ඔබ හිතන්නෙ. ඒ හින්දා අපි ඒ අතීතය ගැන පොඩ්ඩක් මතක් කරමු.

“දරුවන් හයදෙනෙක් ඉන්න පවුලක වැඩිමහල් දියණිය තමයි මම. ඉතින් පුංචි කාලේ ඉඳන්ම නංගිලා දෙන්නගෙයි, මල්ලිලා තුන්දෙනාගෙයි වගකීම තිබ්බෙ මට. මොකද අපේ තාත්තා ව්‍යාපාරිකයෙක්. ඒත් කාලයක් යද්දි ඒ ව්‍යාපාර කඩාගෙන වැටුණා. ඒ වෙලාවෙ මගේ අම්මටයි, තාත්තටයි දෙන්නටම රැකියා සඳහා විදෙස්ගත වෙන්න සිදු වුණා. ඉතින් පාසල් යන නංගිලා, මල්ලිලාගේ හැමදේම හොයලා බලලා කරන්න වුණේ මට. පවුලේ වැඩිමලා විදිහට අනෙක් අයත් ගොඩදාගෙන තනියම ගොඩනැඟෙන්න මට පුළුවන් වුණා. ඉතින් ඒ ලබපු පන්නරය තමයි මේ තරම් දුරක් එන්න මට පාර පෙන්නුවේ කියලයි මම හිතන්නෙ.”

ඔබ පාසලෙත් කැපී පෙනුණු සිසුවියක්.

“මහනුවර හිල්වුඩ් විදුහලේ ආදරණීය පාසල් ජීවිතය තුළ මම ලබාගත් දේ බොහෝමයි. අධ්‍යාපන කටයුතු වාගේම බාහිර වැඩ කටයුතු අතරේ කැපී පෙනෙන චරිතයක් වෙන්න මට හැකියාව ලැබුණාා. ක්‍රීඩා, නාට්‍ය, විවිධ සංගම් මේ සියල්ල තුළ මගේ දක්ෂකම් ඔප් නංවා ගන්නත් ඒ ඇසුරේ පාසලට කීර්තියක් අත්කර දෙන්නට මට හැකියාව ලැබුණා.”

විද්‍යා විෂයයන් හදාරපු ඔබ අන්තිමට නැවතුණේ නීතිඥ වෘත්තියේ.

“මට වෛද්‍ය විද්‍යාලයට යන්න ලකුණු මදි වුණා. ඊට පස්සෙ නංගිලා, මල්ලිලාගේ් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ඔවුන්ගේ වගකීම් කරට ගත්තු මට අවුරුදු පහක් අධ්‍යාපන කටයුතුවලින් ඈත්වෙන්න සිදු වුණා. මොකද ඔවුන් වැරදි පාරක නොයා ජීවිතයේ ඉහළ තලවලට ඔසවා තබන මූලික අඩිතාලම වෙනුවෙන් අක්කා විදිහට මට කැපකිරීමක් කරන්න සිදු වුණා. ඊට පස්සෙ තමයි මම නීතිඥ විද්‍යාලයට බැඳිලා නීතිය හදාරන්න පටන් ගත්තෙ.”

හැබැයි හැම තිස්සෙම ඔබේ හිතේ පුංචි කනස්සල්ලක් තිබුණා නේද කාලය අපතේ ගියා කියලා.

“ඒක ඇත්ත. මොකද නීති විද්‍යාලයේදි ඉගෙන ගන්න වුණේ මට වඩා අවුරුදු කිහිපයක් ළාබාල පිරිසක් සමඟ. ඉතින් මට හැමතිස්සෙම හිතෙන්න ගත්තා මගේ ඉගෙනගන්න තිබුණු කාලය නාස්ති වුණා නේද කියලා. ඒ සිතිවිල්ල නීති විද්‍යාලයෙන් ඉවත් වෙලා ජූනියර් කවුන්සලර් කෙනෙක් විදිහට කටයුතු කරද්දි විතරක් නෙමෙයි නීති නිලධාරිනියක් විදියට රැකියාව ආරම්භ කරද්දිත් මට දැනුණා.”

ඊට පස්සෙ.................

මේ කොතැන වැඩ කළත් මට හැම තිස්සෙම හිතෙන්න ගත්තා මගෙන් වැඩ ගන්නවා මදියි වාගේ හැඟීමක්. ඔය අතරේ ඇට්ලස් ආයතනයේ නීති සහ මානව සම්පත් අංශයේදි මට කළමනාකාරීත්වය සමඟ ඍජුව වැඩ කරන්න ලැබුණා. එතකොට මට හරි ආසයි. ඒ වෙනකොට මම විවාහ වෙලා පුංචි දුවෙකුත් ඉන්නවා. ඒත් මම හරිම ආසාවෙන් රෑ නිදි වරාගෙන වැඩ කරනවා. කිසිම වෙහෙසක් දැනුණේ නෑ. ඔය විදිහට තවත් ආයතනයක වැඩ කරලා 2008 වර්ෂයේ තමයි ඩිමෝ ආයතනයට සම්බන්ධ වුණේ. ඒ මානව සම්පත් කළමනාකාරිනියක් විදිහට.”

ඔබ දැන් මේ ආයතනයේ ප්‍රධාන මානව සම්පත් නිලධාරිනිය වාගේම විධායක අධ්‍යක්ෂිකාව. වගකීම් බහුල රාජකාරියක්.

“මම හිතන්නෙ මම පුංචි කාලේ ඉඳන්ම පවුලේ වගකීම්, යුතුකම් ඉටුකිරීම හරහා ඕනෙම තැනක වගකීම් දරන්න හුරු වුණා කියලයි. මොකද මගේ චරිතය ඇතුළේ තියෙන ප්‍රධාන අංග දෙක තමයි යුතුකම් සහ වගකීම් කියන දේ. මම සතුටු වෙන්නෙ ඒ හරහා. ඒ නිසාම කොයිතරම් වගකීම් සහිත රැකියාවක් වුණත් ඉතාම සැහැල්ලුවෙන් කරන්න හැකියාව ලැබිලා තියෙනවා. ඕනෑම බැරෑරුම් ගැටලුවකට වුණත් ඒ ප්‍රශ්නය තුළින්ම පිළිතුරු සොයාගන්න මම පුරුදු වෙලා ඉන්නවා.”

ඔබ ගැන ඔබට දැනෙන්නෙ කොහොමද?

“මම ගැන හොඳටම දන්නෙ මම විතරයි. මම ගැන හිතලා ආඩම්බර වෙන්න වාගේම මටම හිනාවෙන්නත් මට පුළුවනි. මොකද මගේ ශක්තිය වාගේම දුර්වලතා හොඳින් හඳුනන්නෙ මම. මගේ දුර්වලතා, වැරදි තව කෙනෙක් පෙන්වන්න කලින් අඳුරගෙන ඒවා හදාගන්න තමයි හැමවිටම උත්සාහ දරන්නෙ.”

ඔබේ පෞද්ගලික ජීවිතය ගැනත් කියමු.

“මගේ සැමියා බැංකු ක්ෂේත්‍රයේ රැකියාව කළේ. මගේ එකම දුව චෙනුලි විදෙස්ගතව අධ්‍යාපනය ලබනවා. විවේකයක් ලැබුණු ගමන් අපි දුව බලන්න යනවා. ඇවිදිනවා. චිත්‍රපටි බලනවා. මම ලස්සනට ඉන්න, විලාසිතා කරන්න වාගේම ඇවිදින්න, යහළුවොත් එක්ක විනෝද වෙන්න හරිම කැමැතියි. හැබැයි මේ කොයිදේත් ගාණට මිම්මට. මොකද ඕනෙම දෙයක් ඕනෙවට වැඩියෙන් ඕනෙ නෑ කියලයි මම හිතන්නෙ.”

ජාත්‍යන්තර කාන්තා දිනයේ දී අපේ කාන්තාවන්ට දෙන්න තියෙන පණිවුඩය මොකක්ද?

මට අපේ කාන්තාවන්ට කියන්න තියෙන්නෙ කාන්තාවක් වෙලා ඉපදුණා කියලා ජීවිතයේ ඉදිරියට යන්න ඒ ගැහැනුකම බාධාවක්කර ගන්න එපා කියලයි. ඔබ අනිවාර්යෙන්ම හොඳ අධ්‍යාපනයක් ලබා ගන්න. ඔබේ දියණියන්ටත් හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න. අධ්‍යාපනය වගේම වෘත්තිය හැකියාව දියුණුකර ගන්න.

ඔබ අධ්‍යාපනය සහ වෘත්තිය හැකියාව සකසා ගත්විට රැකියාව තුළ ඔබේ වටිනාකමට ඉඩක් තියේවි. මොකද ඔබේ වටිනාකම සකසා ගත යුත්තේ ඔබමයි. ඔබ මේ සමාජය තුළ දකින්න කැමැති වෙනස මුලින්ම ඔබ තුළින් දකින්න. එවිට අනෙක් අය තුළින් එය ඔබට පෙනේවි.”

 

ඡායාරූප - ශාන් රූපස්සර