අසුපිට නැඟ කොළඹ සරන තුරඟ දියණියෝ

හෙන්ක්, බිච්වේලි, ගැලීසියන් එක්ක ගෙවන ජීවිතය ගැන හිමංශි, පියුමි සහ ශෂිකා ප්‍රථම වරට පුවත්පතකට කතා කරයි
මාර්තු 11, 2024

පොලිස් අශ්වාරෝහක පුහුණුකරුවන් අශ්වයෝ ගැන කතා අහන්න මම පුංචි කාලේ ඉඳන් ආසයි. මං වගේම හැම කෙනෙක්ම අශ්වයන්ට ආදරය කරපු පුංචි කාලයක් අපි හැමෝටම තියෙනවා. අශ්වයා ගෝන් ටික් ටික් ටික්... ඒ පුංචි කාලේ හරි අපූරුවට අපිට මතක් කරනවා.

කාලෙන් කාලෙට අශ්වයන්ට අපි ළං වුණේ අපිත් නොදන්න විදිහට. ඉස්සර ඒ කතාවල හිටපු අශ්වයෝ පිට නැඟපු රජවරු, සෙන්පතියෝ, දුෂ්ටයෝ ගැන කතා පුංචි කාලේ අපි කියෙව්වෙ හිතේ ඇඳගෙන.

ඔහොම කාලයක් ගියාට පස්සේ අපි වේගයෙන් දුවන්න පටන් ගත්තේ අශ්වයෝ වගේ. ඒ තරමටම අපි ආදරය කරපු අශ්වයෝ ගැන කතා ගොඩක් දැන් ඔයාලට මතකයට එනවා ඇති. මට නම් එකපාරටම මතකයට ආවේ 'කවුද බෝයි'. මේ කතා කරන්න යන්නේ 'කවුද බෝයි' ගැන නෙවෙයි. කවුද මේ ගර්ල්ස්ලා කියලා. දැන් අපි කෙළින්ම කතාවට බහිමු. මං ඉස්සරහ ඉන්නේ ශ්‍රී ලංකා කාන්තා පොලිස් අශ්වාරෝහක බළකායේ දැන් සක්‍රිය රාජකාරියේ යෙදෙන පළමු කාන්තා අශ්වාරෝහක නිලධාරිනියන් තිදෙනා.

මේ තිදෙනා පිටකොටුව ආශ්‍රිතව බොහෝ උදෑසනවල අපිට දකින්න පුළුවන්. මේ කතා බහ ඔවුන් තිදෙනා සමඟයි. ඔවුන්ගේ ජීවිතය ගැනයි.

මුලින්ම කතා කරන්න හිතුවේ කාන්තා පොලිස් කොස්තාපල් තශිලා හිමංශි සමඟයි. ඇය කාන්තා පොලිස් සේවයට සම්බන්ධ වෙලා වසර 6ක් වෙනවා.

රථවාහන රාජකාරියේ ගිහින් මහන්සිත් ඇති නේද?

මුලදී නම් මේ දේවල් අමාරු වුණා. දැන්නම් ඒ මහන්සිය ලොකුවට දැනෙන්නේ නැහැ.

ඉතින් ඇයි අශ්වාරෝහකයෙක් වෙන්න හිතුවේ...

පසුගිය අවුරුද්දේ මාර්තු මාසයේදී කාන්තා අශ්වාරෝහකයින් බඳවා ගන්න අයැදුම් පත්‍ර කැඳවලා තිබුණා. ඒක දැකලා මටත් ආසාවක් ආවා. ඉතින් මමත් අයැදුම් පත්‍රයක් දැම්මා. අප්‍රේල් මාසේදි මට දැනුම් දුන්නා සම්මුඛ පරීක්ෂණයට එන්න කියලා. ගැහැනු ළමයි 150ක් වාගෙත් පිරිමි ළමයි 200ක් වාගෙත් ඇවිත් හිටියා. එහිදී අපි ජයග්‍රහණය කරපු ක්‍රීඩා සහතික සහ ජාත්‍යන්තර මට්ටමේ තරගවලින් ජයග්‍රහණ ලබා ගත්ත අවස්ථා බලලයි ඒ තෝරා ගැනීම සිදු කළේ.

කුඩා කාලයේ ඉඳලම හීනය වුණේ පොලිස් සේවයට සම්බන්ධ වෙන්න ද?

මම පොලිසියට සම්බන්ධ වුණේ 2018 වසරේ. එතැන් සිට කළුතර, කොටුව, නාරා‍ෙහ්න්පිට යන පොලිස් සේවා ස්ථානවල මම රාජකාරි කටයුතු කරලා තියෙනවා. මගේ තාත්තාත් පොලිසියේ සේවය කරපු කෙනෙක්. තාත්තාව දැකලයි මගේ හීනය හැදුණේ.

අශ්වයොත් එක්ක කාලය ගත කරද්දි අනතුරුවලට එහෙම ලක්වෙන්නේ නැද්ද?

සිදුවීම් කිහිපයකට මුහුණපාලා තියෙනවා. පුහුණුව ලබන මුල් කාලේ දවසක් අශ්වයාගේ පිටේ නැඟලා හිමින් ඇවිදිමින් හිටියේ. ඒකට කියන්නේ ලැසි ගමන කියලා. එදා මාව වැටෙන්න ගියා. එදා හිතුණා මේකෙන් අයින් වෙනවා කියලත්. ඒක ඒ තරමට ලොකු පීඩනයක් වුණා. තවත් සිදුවීමක් මේ මෑතකදි වුණා. අශ්වයගෙ පිටෙන් වැටිලා මට සුළු වෙලාවක් මතකය අමතක වෙලා තිබුණා.

කාන්තා අශ්වාරෝහකයෙක් විදිහට කරන්න තියෙන වැඩ කොටසත් මතක් කරමු නේද?

සෑම දිනකම උදේ 7.30 ඉඳලා 8.30 වෙනකම් අශ්වයගේ පිටේ නැඟලා අැවිදින්න ඕනේ. රථ වාහන රාජකාරිවලටත් යනවා. ඊට පස්සේ 4.30 වෙනකම් කාර්යාලයේ වැඩ කටයුතු ටික කරනවා. එහිදී අශ්වයන් සම්බන්ධ ලියකියවිලි. කෑම බිම, බෙහෙත් ගැන බලන්න තියෙන්නේ.

අශ්වයෙක්ව බලාගන්න එකත් ලෙහෙසි පහසු නැතුව ඇති?

අශ්වයකුගේ ජීවන රටාව ගෙනියන්නේ කාල සටහනකට අනුවයි. උදේ, දිවා, රාත්‍රී එයාලට කෑම දෙන වෙනම වෙලාවල් තියෙනවා. ඒ අනුවයි කෑම දෙන්නේ. කෑම දෙන්නෙත් ප්‍රමාණයට අනුවයි. එයාලව එළියට ගන්න වෙනම වෙලාවක් තියෙනවා. අනිවාර්යෙන්ම උදේට පැයක් එයාලව ඇවිද්දවන්න ඕනේ. නැතිනම් විවිධ ලෙඩ රෝග හැදෙනවා. එයාලගේ බෙහෙත් ගැනත් අවධානය යොමු කරන්න ඕනේ. උදේට එයාලව නාවන්න ඕනේ. දවල් 2ට විතර එයාලව බ්‍රෂ් කරන්න ඕනේ. ඒකෙන් ඇඟේ තියෙන දූවිලි ඉවත් වෙනවා. අස්ගොව්වන් යනුවෙන් වෙනම කට්ටියක් ඉන්නවා අශ්වයන්ට කෑම දෙන්න. බෙහෙත් දෙන්න. අපි කරන්නේ එයාලව අධීක්ෂණය කිරීමයි.

අශ්වයෙක්ව ඉක්මනටම හීලෑ කරගන්නේ කොහොම ද?

මගේ අශ්වයාගේ නම හෙන්ක්. අශ්වයෙක්ව ඉක්මනටම යාළු කරගන්න පුළුවන් පොඩි පොඩි පැණි රස දේවල් දුන්නොත්. ටොෆි, චොකලට් වගේ දේවල්. මමත් මගේ අශ්වයට එහෙම දීලා බැලුවා. ඊට පස්සේ මං එයා ළඟට එන හැම වෙලාවෙම එයා හිතන්නේ මම පැණි රස මුකුත් ගෙනල්ලා කියලා. අත් ඉව කරනවා. සාක්කු ඉඹිනවා. එතකොට එයාලත් තේරුම් ගන්නවා මෙයා මට කරදරයක් කරන කෙනෙක් නෙවෙයි කියලා. අශ්වයෙක් පෙනුමෙන් විශාල වුණාට වෙලාවකට එයාලා පොඩි ළමයි වගේ. හරිම ආදරණීයයි.

අශ්වයෙක්ගේ පිට උඩට නැග්ගම එයාගේ හදවතයි අපේ හදවතයි එකක් වෙනවා කියලයි සාමාන්‍යයෙන් කියන්නේ. ඒ කියන්නේ අපි දෙදෙනාගෙම හදවත් සම්බන්ධ වෙලා දෙන්නම එක්කෙනෙක් වෙනවා කියන එක. දෙදෙනාගෙම සිතුවිලිත් එකක් වෙනවා.

අද ඉන්න තැන ගැන මොකද හිතෙන්නේ?

අද මම මේ තැන ඉන්නේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිළිණ හේවාපතිරණ සර්ට ස්තුතිවන්ත වෙන්න. සර්ගේ හීනයක් තමයි කාන්තා අශ්වාරෝහක කණ්ඩායමක් බිහිකරන එක. සර්ගේ හීනය නිසයි අද අපි මෙතැන ඉන්නේ. අශ්වාරෝහක කොට්ඨාසයයේ ඉන්න සියලුම දෙනාවත් පුහුණුකරුවන්වත් මතක් කරන්න ඕනේ.

පොලිස් සේවයට බැඳෙනවාට ගෙදරින් විරුද්ධත්වයක් තිබුණේ නැද්ද?

මම පවුලේ එකම ළමයා. අම්මා ලක්මිණි මාලා සුරීගේ, තාත්තා උපුල් ලක්ෂිත කුමාර සූරිය. තාත්තා හිටපු පොලිස් කොස්තාපල් කෙනෙක්. මගේ ගම ගණේමුල්ල. මම පොලිසියට බැඳෙනවට තාත්තා කැමැති වුණේම නැහැ. අපේ නෑදෑයො ඔක්කොමලම වගේ පොලිසියේ සේවය කරන්නේ. අම්ම නම් එයාගේ ආසවනේ. එයා කැමැති දෙයක් කරයි කියලයි කිව්වේ. දැන්නම් මං ගැන තාත්තත් ගොඩක් සතුටු වෙනවා. නිදහස් උලෙළට යන්න උදේ සුදු පාට නිල ඇඳුුම ඇඳලා ඒ දෙන්නට වීඩියෝ කෝල් එකක් ගත්තම ඒ දෙන්නා හොඳටම ඇඬුවා.

ඇයත් සමඟ කතාබහ අවසන්කොට අපි හැරුණේ කාන්තා පොලිස් කොස්තාපල් පියුමි ශානිකා වෙතටයි.

අශ්වයෙක්ගේ බඳ පටි ගලවමින් සිටි ඇය අප දෙසට හැරුණේ සිනහමුසු මුහුණෙන්.

ඉතින් පියුමි පොලිස් සේවයට බැඳිලා කොපමණ කල්ද?

දැන් අවුරුදු තුනක් වෙනවා. පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී අශ්වාරෝහක කොට්ඨාසයට බැඳුණා.

අශ්වාරෝහකයෙක් වීම හිතපු තරම් පහසු දෙයක් ද?

පොඩි කාලේ ඉඳන්ම හීනයක් වුණේ පොලිසියට බැඳෙන්න. මම ඒ නිල ඇඳුමටත් ගොඩක් ආසා කළා. නමුත් මම කවදාවත් හිතුවේ නැහැ අශ්වයෝ පදින්න. අයැදුම් පත්‍ර කැඳවලා තිබුණ නිසා නිකම් හිතුණා බලන්න. මුලින්ම අශ්වයෙක්ගේ පිට උඩට නැඟපු දවසේ නම් මම බය වුණා. මට මේක කරන්න පුළුවන් ද කියන හැඟීම තමයි එවලේ ඇති වුණේ. ඒක කරගෙන යද්දී සාමාන්‍ය දෙයක් බවට පත් වුණා.

ඔයාගේ කාර්යභාරය ගැනත් කියමු.

උදේ රයිඩින්ස් ගියාට පස්සේ පොඩි විවේකයක් අරන් එයාලව නාවන්න යනවා. ඊට පස්සේ හවස 4.30 වගේ වෙනකම් කාර්යාලයේ වැඩ කරනවා. දවල්ට එයාලව බ්‍රෂ් කරද්දී ඒ කටයුතු ගැනත් බලනවා. මගේ අශ්වයාගේ නම ගැලීසියන්. අපිට භාරව ඉන්න අශ්වයා ගැන විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ. එයාලා කෑම කනව ද? අසනීප තියෙනව ද. එයාලගේ හැසිරීම්වල වෙනසක් තියෙනවද කියලා බලනවා. එක් එක් අශ්වයන්ට අස්ගොව්වන් ඉන්නවා. හදිස්සියේවත් අස්ගොව්වෙක් නැති වෙලාවක් ආවොත් අපිට අශ්වයෙක් බලාගන්න අවශ්‍ය සියලුම දැනුම දීලා තියෙන්නේ. හදිස්සියෙවත් අශ්වයෙක් අසනීප වුණොත් අපි ඒ ගැන දැනුම් දෙන්න ඕනේ.

අශ්වයන් එක්ක දවස ගෙවන එක කොහොම අත්දැකීමක් ද?

ඒක වෙනස්ම විදිහක අත්දැකීමක්. හොඳ මානසික නිදහසක් ලැබෙනවා. අශ්වයොත් එක්ක ජීවත් වෙද්දි සොබාදහමත් එක්ක එකට ජීවත් වෙනවා වගේ. අශ්වයොත් එක්ක ගත කරන මේ කාලයේදී හැම දවසක්ම අමතක නොවන දවස් වුණා.

පොලිස් අශ්වාරෝහක පුහුණු පොලිස් සේවය හැමෝටම ලැබෙන අවස්ථාවක් නොවෙයි නේද?

ASP රෑන්ක් එක සඳහා සෘජුව පොලිස් සේවයට බැඳෙන අයට පමණයි මේ අශ්වාරෝහක පාඨමාලාව අනිවාර්ය වුණේ. එයාලගේ තනතුර ස්ථීර වෙන්න නම් ඒ පරීක්ෂණය සමත් විය යුතුයි. අනෙක් නිලවල ඉන්න අයට එහෙම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. නමුත් අපිට ලැබුණු අවස්ථාව වාසනාවකට ලැබුණු එකක්. එකේදී ඕනෑම නිලයක අයට ඉදිරිපත් වෙන්න අවස්ථාව ලැබුණා.

කාන්තා අශ්වාරෝහකයින් පුහුණු කිරීම සිදුවුණේ හිටපු අධ්‍යක්ෂවරයාගේ සංකල්පයකට අනුවයි. අපිට අවුරුද්දකට කිට්ටු වෙන්න ආසන්න කාලයක් ඒ පුහුණුව ලබා දුන්නා.

පාසල් කාලයෙත් ක්‍රීඩාවට මුල් තැන දෙන්න ඇති?

අනුරාධපුර පණ්ඩුකාභය මහා විද්‍යාලයෙනුත් අනුරාධපුර බැස්ටියන් සිල්වා මධ්‍ය විද්‍යාලයෙනුත් මම අධ්‍යාපනය ලැබුවා. පාසල් කාලයේදී උස, දුර සහ තුන්පිම්ම යන ක්‍රීඩාවලට තමයි මම සහභාගී වුණේ. ඒ ජයග්‍රණය කරපු තරග එකිනෙකට කියන්න අමාරුයි. ඒ තරමට ජයග්‍රහණ ලබලා තියෙනවා.

පවුලේ විස්තරත් කියමු.

මගේ අම්මා තාත්තා ගොවිතැන් කළේ. මට ඉන්නවා අයියලා දෙන්නෙකුයි අක්කෙකුයි. මම විවාහකයි. විවාහ වෙලා මාස කිහිපයක් වෙනවා. සැමියත් පොලිස් සේවයේ කෙනෙක්මයි. මගේ අයියලා දෙන්නත් ආරක්ෂක අංශයේ සේවය කරන්නේ. එක්කෙනෙක් ගුවන් හමුදාවේ. අනෙක් කෙනා නාවික හමුදාවේ. එයාලා කිව්වේ යන තැන හොඳින් හිටියොත් හොඳ විදිහට ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලා. මගේ ගම මරදන්කඩවල.

පොලිස් අශ්වාරෝහකයෙක් වෙන්න ආසාව තියෙන කෙනෙක්ට දෙන්න පුළුවන් උපදෙස මොකක් ද?

පොලිස් අශ්වාරෝහක කෙනෙක් වෙන්න ආසාවෙන් කෙනෙක් ඉන්නවනම් මුලින්ම පොලිසියට බැඳෙන්න වෙනවා. ඒක තමයි මූලිකම සුදුසුකම.

ඊළඟට අපි හැරුණේ කාන්තා පොලිස් අශ්වාරෝහක කොට්ඨාසයේ ළාබාලතම අශ්වාරෝහකයා වෙතටයි. ඇය කාන්තා පොලිස් කොස්තාපල් ශෂිකා මධුවන්ති කුමාරි.

කාන්තා පොලිස් ළාබාලතම අශ්වාරෝහකයා ඔබයි..

ඔව්. අපි තුන්දෙනාගෙන් වයසින් බාලම කෙනා මමයි. පොලිස් සේවයට බැඳිලා අවුරුදු 3ක් වෙනවා.

පසුගිදා කාන්තා පොලිස් අශ්වාරෝහකයින්ගේ ඡායාරූප කිහිපයක්ම සමාජ මාධ්‍ය ජාලාවල දකින්න ලැබුණා. ඒ අතුරින් ඔබේ ඡායාරූප කිහිපයකටයි වැඩි දෙනෙක්ගේ අවධානය යොමු වුණේ....

ඔව්, මගේ තනි ඡායාරූප කිහිපයක්ම ෆේස්බුක් එක තුළ ප්‍රසිද්ධ වෙලා තිබුණා. හැමෝම කතාබහට ලක්වන චරිතයක් වෙන්න ලැබීමම මට ලොකු සතුටක්.

තරුණ ගැහැනු ළමයි රුව ගැන ගොඩක් හිතනවනේ.. අශ්වාරෝහකයෙක් විදිහට ඔයාගේ පෙනුම ඒ විදිහටම පවත්වාගෙන යන්නේ කොහොම ද?

අව්වෙම ඉඳලා හිටියට වඩා සමේ පැහැය නම් ගොඩක් අඩු වෙලා තියෙන්නේ. දවසේ වැඩි වෙලාවක් ඉන්නේ අව්වේ නිසා රුව ගැන වැඩි උන්දුවක් දැක්වුවත් හොඳ ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. ඒ දේවල් කොහොම වුණත් හැමදේටම වඩා අශ්වයොත් එක්ක ගෙවන ජීවිතය හරි වටිනවා. ඒ වුණත් තරුණියක් විදිහට පුළුවන් හැම වෙලාවෙම පෙනුම ලස්සනට තියාගන්න මම උත්සාහ කරනවා.

අශ්වයෙක් එක්ක ගනුදෙනු කරන එක ලෙහෙසි පහසු නැතුව ඇති?

එයාලව හොඳට අධ්‍යයනය කරන්න ඕනේ. එහෙම හොඳ අධ්‍යයනයකින් හිටියොත් ඊළඟ තත්ත්පරයේදී එයා කරන්න හදන්නේ මොකක්ද කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ එයා නොසන්සුන්කාරි විදිහට හැසිරෙන්න උත්සාහ කරනව නම් ඒ දේවල් අපිට කලින්ම තේරුම් යන්න ඕනේ. නමුත් කාලයක් එයලත් එක්ක ඉඳලා එයාලා අපිට ළැදි වුණාම ඇති‍ෙවන්න තියෙන අනතුරු ඉතාම අවමයි. මොකද අපි එයාලට ආදරයෙන් සලකද්දි එයාලත් අපිට ආදරයෙන් සලකන්න ගන්නවා. අපි ගොඩක්ම කරන්නේ එයාලව අත ගගා එයාලා එක්ක කතාකර කර ඉන්න එක. එයාලා ඒකට හරි කැමැතියි.

මුලින්ම අශ්වයෙක්ගේ පිටේ නැඟපු දවස මතක ද?

ඒක හරියටම මට දැනුණේ මම බිල්ඩිමක් උඩට ගිහින් පහළ බැලුවා වගේ හැඟීමක්. බයක් ඇති වුණේ නැහැ කිව්වොත් ඒක බොරුවක්. හැබැයි දැන් ඒ දේවල් සාමාන්‍යයි. මොකද ඒ හැමදේම අපේ ජීවන රටාවෙම කොටසක් වෙලා තියෙන නිසයි. මගේ අශ්වයාගේ නම බීච්වේලි.

මේ ගමන එන්න පාසල් කාලයේදී කළ ක්‍රීඩා කටයුතුත් පන්නරයක් වෙන්න ඇති..

දෙහිඅත්තකණ්ඩිය ඉහළගම මහා විද්‍යාලයෙන් සහ දෙහිඅත්තකණ්ඩිය මැදගම ජාතික පාසලෙන් මම අධ්‍යාපනය හැදෑරුවා. පාසල් කාලයේදී වොලිබෝල්, නෙට්බෝල්, කබඩි, ක්‍රිකට් සහ එල්ලේ වැනි ක්‍රීඩා රාශියක් කළා. කරාටේ, කවපෙත්ත විසි කිරීම, හෙල්ල විසි කිරීම සහ යගුළිය විසි කිරීම වැනි ක්‍රීඩාවලින් සමස්ත ලංකා ජයග්‍රහණ පවා ලබාගෙන තිබෙනවා. අශ්වාරෝහක එකට අපිව තේරීපත් වෙන්නත් ඒ කරපු ක්‍රීඩා සහ ජයග්‍රහණ ලොකු හේතුවක් වුණා. හැම කෙනෙක්ම පාසල් කාලයේදී කුමන හෝ ක්‍රීඩාවක්කර තිබීම ගොඩක් වටිනවා කියලා එදා මට හිතුණා.

මේ තැනට එන්න පවුලේ අයත් ලොකු සවියක් වෙන්න ඇති?

මගේ ගම දෙහිඅත්තකණ්ඩිය. පවුලෙ ඉන්නෙ අම්මයි තාත්තයි මල්ලිලා දෙන්නයි. අම්මගෙ පවුලෙයි තාත්තගෙ පවුලෙයි ගොඩක් නෑදෑයින් පොලිස් සේවයේ රැකියාව කරනවා. තාත්තගේ නංගිත් පොලිසියේ සේවය කරනවා. ඒ කියන්නේ මගේ නැන්දා. සාජන් ශාන්ති මැණිකේ. තාත්තා ඒ. ජී. අනිල් රත්නායක. අම්මා බී. එම්. අමිතා කුමාරි බස්නායක. එයාලා මේ ගමනට ලොකු සවියක් වුණා . ඒ වගේම හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිළිණ හේවාපතිරණ මහතාටත් පොලිස් පරීක්ෂක ලසන්ත ගුණතුංග මහතාවත් මතක් කරන්න ඕනේ.

මේ කතාබහ අවසන්කර ඔවුන්ගේ ඡායාරූප කිහිපයක් ලබා ගැනීමට ද අපි අමතක නොකළෙමු. මෙවර තරුණී කවරය හැඩ වන්නේ ඔවුන්ගේ රුවෙනි.

මේ අවස්ථාව සම්බන්ධීකරණය කළ පොලිස් අශ්වාරෝහක කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අධ්‍යක්ෂ කේ.ජේ. පුෂ්පකුමාර මහතාටත්, පොලිස් අශ්වාරෝහක කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධන පොලිස් පරීක්ෂක එම්.ඩී. ලසන්ත ගුණතුංග මහතාටත් අපගේ ස්තුතිය පුදකරමි.

 

 

ඡායාරූප - ශාන් රූපස්සර