බ්‍රෑන්ඩ් එකක් වෙන එක 16න් පටන් ගන්න

මාර්තු 18, 2024

බ්‍රෑන්ඩ් වෙන්න හදන අයට, පසුගිය සතියේදී පොඩි මූලාරම්භයක් දුන්නා මතක ඇති. තමන් බ්‍රෑන්ඩ්කර ගනිද්දි හිතන්න ඕනෙ පොඩි දේවල් ගැන දැන් ඔබට පොඩි අවබෝධයක් ඇති. හැබැයි බ්‍රෑන්ඩ් වෙන එක එහෙම වචනයකින් දෙකකින් විස්තර කරන්න පුළුවන් දෙයක් නම් නෙවෙයි. ඉතින් බ්‍රෑන්ඩ් එකක් වෙන්නම ඕනෙ කියලා ඔළුවෙම තියාගෙන ඉන්න කෙනෙක්ට මේ කියන්න යන දේවල් හරිම වැදගත් වේවි.

බ්‍රෑන්ඩ් එක විදිහට ප්‍රොමෝට් කරන්නේ මොන ක්ෂේත්‍රයේ ද?

හරි, දැන් අපි කියමු කවුරුත් අපිව දන්නෙ නෑ ඒ තරම්. හැබැයි අපිට අනාගත අරමුණු සහිතව බ්‍රෑන්ඩ් එකක් වෙන්න වුවමනායි. දැන් අපි හිතලා බලන්න ඕනෙ අපි බ්‍රැන්ඩ් එකක් විය යුත්තේ මොනවා සම්බන්ධයෙන් ද කියන එක. උදාහරණයක් විදිහට, අපි කියමු ඔන්න ට්‍රැවල් ෆොටෝස්, තමන්ගේ ලස්සන සෙල්ෆිස් එහෙම දාලා, අපි ක්‍රමයෙන් ඉන්ස්ටග්‍රෑම්, ටික්ටොක්වල ලොකු ෆලෝවින් එකක් හදාගන්නවා. දැන් අපි තව ඉස්සරහට අපිවම බ්‍රෑන්ඩ් එකක් විදියට නිර්මාණය කරගන්න හිතලා, ඒකට වැඩ කරනවා නම්, අපි බ්‍රෑන්ඩ් එක වෙන්න ඕනෙ මොන පැත්තෙන් ද කියලා අපිට අදහසක් තියෙන්න ඕනෙ. එතැනදී විශේෂයෙන් හිතන්න ඕනෙ අනාගතේදී අපිට තියෙන අරමුණු ගැන. උදාහරණයක් විදිහට, බ්‍රෑන්ඩ් එකක් ට්‍රැවලිනුත් කරන ගමන්, මොඩ්ලිනුත් කරන ගමන්, කෑමත් හදනවා නම්, ඒක බ්‍රෑන්ඩ් එකක් විදිහට ෆේල් වෙන්න තියෙන ඉඩ වැඩියි.  මේකට ඇත්තටම කියන්නේ අපේ unique value proposition එක හොයාගන්නවා කියලා. එතැනදී උදාහරණයක් විදියට, අපි බ්‍රෑන්ඩ් එකක් වෙන්නේ ට්‍රැවල් පර්සනැලිටි එකක් විදියට වෙන්න පුළුවන්. ඒක තමන් හොයාගන්න ඕනෙ, තමන්ගේ හැකියාවන්, කැමැති දේවල් සහ මාකට් එකේ ඒකට තියෙන අවස්ථාවන් එක්ක හිතලා බලලා.

බ්‍රෑන්ඩ් එකක් නම් එක්ස්පර්ට් වෙන්න ඕනෙ

දැන් අපි අපේ unique value proposition  එක හොයාගෙන ඒකත් එක්ක ඉස්සරහට යන්න හිතනවා නම් මුලින්ම තේරුම් ගන්න ඕනෙ, මේක එක රැයකින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක කැපවීමෙන් කරන්න ඕනෙ වැඩක්. එතකොට අපි කරන්න ඕනෙ එක දෙයක් තමයි, අපි තෝරගන්න ක්ෂේත්‍රයේ එක්ස්පර්ට් කෙනෙක් වෙන එක. උදාහරණයක් විදිහට, අපි හිතමු අපි ට්‍රැවල් ඇන්ඩ් ෆුඩ් ක්‍රිටික් කෙනෙක් විදියට අපේ පර්සනල් බ්‍රෑන්ඩ් එක හදන්න හිතනවා කියලා. එතකොට අපි නිකම්ම කොහේ හරි ගිහින් කෑමක් කාලා, ඒ කෑම එක ගැන විස්තර ටිකක් ලියලා ෆොටෝස් ටිකක් දාලා හරියන්නෙ නෑ. අපිට සූප ශාස්ත්‍රය ගැන, ෆුඩ් ට්‍රෙන්ඩ්ස් ගැන ඉගෙනගන්න වෙනවා. කොටින්ම කිව්වොත්, අපිට කෑම ගැන චෙෆ් කෙනෙක්ට වගේම හොඳ දැනුමක් අවශ්‍ය වෙනවා. අන්න ඒ දැනුම ලබාගන්න වෙනවා. එහෙම කෑම බීම ගැන එක්ස්පර්ට් කෙනෙක් වුණොත් තමයි, අපිට හරියටම ෆුඩ් ක්‍රිටික් කෙනෙක් විදිහට බ්‍රෑන්ඩ් එක හදාගන්න පුළුවන් වෙන්නේ. නැතිනම් අපි තව අවුරුදු පහක් ගියත් නිකම්ම නිකම් සෝෂල් මීඩියා ඉන්ෆ්ලුවන්සර් කෙනෙක් විතරයි.

බ්‍රෑන්ඩින්වල 3C

බ්‍රෑන්ඩින් ගැන කතා කරනකොට, 3C  කියලා සංකල්පයක් තියෙනවා. Clarity, consistency, constancy.  ඒ කියන්නේ. පැහැදිලිකම, සංගතභාවය සහ නියත බව. පළමුවෙනි එකේදී අපි තීරණය කරන්න ඕනෙ අපි බ්‍රෑන්ඩ් එකක් වෙන්නේ මොකකින්ද කියන එක. ඒක තමයි කලින් කිවුවේ. හැබැයි එතැනදී අපි බ්‍රෑන්ඩ් එකක් විදිහට සුවිශේෂී වෙන්නේ කොහොමද, වෙනත් බ්‍රෑන්ඩ් එකකින් නොලැබෙන, ඒත් අපෙන් ලැබෙන දේ මොකක්ද කියන එකත් පැහැදිලිව කියන්න ඕනෙ. ඊට පස්සේ consistency  කියන්නේ බ්‍රෑන්ඩ් එකෙන් ලබාදෙන හැමදේකදීම තමන්ගේ ෆෝකස් එක වෙනස් නොකිරීම. උදාහරණයක් විදිහට ගත්තොත්, අපි පර්ෆියුම් විකුණනවා නම්, ඒක විශේෂයෙන් කරන්න ඕනෙ. එහෙම නැතිව පර්ෆියුම් විකුණන අතරෙම ටූත්පේස්ට්, ටොයිලට් ක්ලීනර් එහෙමත් අපේ බ්‍රෑන්ඩ් එකෙන් විකුණන්න ගියොත් වැඩේ අවුල්. අන්තිමට Constancy, ඒ කියන්නේ නියත බව. එතැනදී කියන්නේ මෙහෙම දෙයක්. දැන් ඔන්න අපි බ්‍රෑන්ඩ් එක ප්‍රොමෝට් කරගෙන කරගෙන යනවා. ඊට පස්සේ මාස ගාණකට අපෙන් සද්දයක්වත් නෑ. ඊට පස්සේ ආයෙමත් නින්දෙන් ඇහැරුණා වගේ බ්‍රෑන්ඩ් ප්‍රොමෝෂන් කරනවා. එහෙම හරියන්නෙ නෑ, බ්‍රෑන්ඩ් එක බොහොම ස්ථාවරව, ස්ථායිව පවත්වාගන්න ඕනෙ.

බ්‍රෑන්ඩ් එකෙන් දෙයක් කියන්න

අපි පර්සනල් බ්‍රෑන්ඩ් එකක් හදනකොට ඒ බ්‍රෑන්ඩ් එකෙන් කතාවක් කියවෙන්න ඕනෙ. ඒ කියන්නේ නිකම්ම ෆේස්බුක් ලයිව් එකක් ඇවිල්ලා ‘යාළුවනේ මෙන්න මගේ නමෙන් එන අලුත්ම පර්ෆියුම් එක, මෙන්න මේක ගන්න’ කියලා කිව්වට ඒක කාටවත් දැනෙන්නේ නෑ. හැබැයි මිනිස්සුන්ට ගැඹුරට දැනෙන කතාන්තරයක් ඒ බ්‍රෑන්ඩ් එක සහ ප්‍රඩක්ට් එක වටා නිර්මාණය කරන්න පුළුවන් නම්, අන්න ඒකෙන් තමයි මිනිස්සුන්ට ප්‍රඩක්ට් එක වගේම බ්‍රෑන්ඩ් එකත් දැනෙන්නේ. එහෙම කතාවක් නිර්මාණය කරන්න අපිට ඔය ලියපු ස්ටේටස් අප්ඩේට් වගේම, වීඩියෝස් වගේ මාධ්‍යයත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කතාන්තරය බ්‍රෑන්ඩ් එකට පර්සනල් වෙන තරම ඒකේ බලපෑමත් වැඩියි. උදාහරණයක් විදිහට, “මේ පර්ෆියුම් එක මම මගේ බ්‍රෑන්ඩ් එකෙන් කරන ප්‍රඩක්ට් එක විදිහට තෝරගැනීම පිටිපස්සේ, මගේ ගර්ලෆ්‍රෙන්ඩ් අපි යාලු වෙච්ච මුල් කාලේ සල්ලි එකතුකරලා මට අරගෙන දීපු මගේ පළමුවෙනි සෙන්ට් එකේ මතකය තියෙනවා” කියනකොට, මිනිස්සුන්ට ඒක දැනෙනවා.

ඉන්නවා කියන එක පෙන්නන්නත් ඕනෙ

අපි බ්‍රෑන්ඩ් එකක් නිර්මාණය කළාට විතරක් වැඩක් නෑ. ඒක මිනිස්සු අතරට ගෙනියන්න ඕනෙ. ඒකට ඉස්සරට වඩා ඉතාම පහසු ක්‍රම සහ විධි දැන් තියෙනවා ඩිජිටල් ලෝකය හරහා. ඒක පටන් ගන්න පුළුවන් සෝෂල් මීඩියා හරහා. සරලවම අපි බ්‍රෑන්ඩ් එක විදිහට අපේ නමින් හදන ෆේස්බුක් පේජ් එකකට මේ බ්‍රෑන්ඩ් එක

තියෙනවා කියන එක කියන්න පටන් ගන්න පුළුවන්. හැබැයි එතැනින් නවතින්න බෑ. අපි ට්විටර්, ඉන්ස්ටග්‍රෑම්, ලින්ක්ඩ්ඉන්, ටික්ටොක් වගේ දැන් කාලේ ජනප්‍රිය සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් හැම එකකින්ම අදාළ ඒවා නිර්මාණශීලි විදිහට අපේ පර්සනල් බ්‍රෑන්ඩ් එක වෙනුවෙන් පාවිච්චි කරන්න ඕනෙ. ඒ වගේම අපි බ්‍රෑන්ඩ් කරන්නේ අපිව නම්, අපේ නමින් වෙබ්සයිට් එකක් එහෙමත් තියෙන එක වටිනවා. ඊට පස්සේ අපේ නම ගූගල් කළහම, අපේ බ්‍රෑන්ඩ් එක පිළිබඳ තොරතුරු එන විදිහට අපේ ඩිජිටල් අඩි සලකුණු තියන්නත් ඕනෙ. බ්ලොග්ස්, ආටිකල්ස් වගේ එව්වාත් ඒකට උදවු වෙනවා.

ෆීඩ්බැක්

දැන් අපි බ්‍රෑන්ඩ් එකක් හැදුවට විතරක් මදි. ඒ බ්‍රෑන්ඩ් එක අපිට නම් මරු කියලා හිතෙන්න පුළුවන්. හැබැයි ඇත්තටම අනික් අයටත් මේ බ්‍රෑන්ඩ් එක මරු කියලා පේනව ද? ආන්න ඒ ගැන තමයි හිතන්න ඕනෙ. උදාහරණයක් විදිහට කිවුවොත් අපිට නොපෙනෙන අඩුපාඩුකම්, ගැටලු එහෙම බ්‍රෑන්ඩ් එක ගැන පේන්න පුළුවන් පිටින් ඉඳන් බලන අයට. අන්න ඒ නිසා, අපි ඒ අයගෙන් අදහස් උදහස්, ෆීල්ඩ්බැක් ලබා ගන්න ඕනෙ. එතැනදී අපිට පුළුවන් අපිත් එක්ක වැඩ කරන අයගෙන්, අපේ පවුලේ අයගෙන්, හිත මිත්‍රයන්ගෙන් එහෙම අදහස් උදහස් විමසන්න. අපිට සියට සීයකට ආසන්න අපක්ෂපාතී ෆීල්ඩ්බැක් එකක් ඕනෙ නම්, එතනින් එහාට ගිහින් අපිව පෞද්ගලිකව නොදන්න අයගෙන්, ඒ කියන්නේ මිතුරන්ගෙ මිතුරන්ගෙන් වගේ එහෙම අදහස් උදහස් ලබා ගන්නත් පුළුවන්.