රසවත් තේ කෝප්පයක රහස දැනගන්න

ජුනි 19, 2019

ඇතැම් ගෘහණියන් තේ පිළියෙල කිරීම සඳහා වතුර උණුකරන විට ඊට පෙර අවස්ථාවේ උණුකොට නිවී ගිය වතුර, කේතලයේ ඉතිරිව ඇත්නම් එම වතුරටම නැවත වතුර එකතුකර උණු කරනවා. රසවත් තේ කෝප්පයක් හදාගන්න ඕනෙ නම් ඒ වැරැද්ද කරන්න එපා. වරක් උණුකළ වතුර නැවත උණු කරලා අරගෙන හදන තේ රස නැහැ.

ඒ නිසා සෑම විටම කේතලයේ ඉතිරිව ඇති වතුර සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමෙන් පසුව නැවත අලුතෙන් වතුර දමා උණුකර ගන්න ඕනෑ. වතුර උතුරන තෙක් උණුකර ගැනීමත් අවශ්‍යයි.

එසේම තේ පිළියෙල කිරීමේ දී භාවිතයට ගනු ලබන ජොග්ගු, කෝප්ප, පීරිසි තුළට උණු වතුර ටිකක් වත්කරලා විනාඩියක් දෙකක් තැම්බෙන්නට හැරලා පාවිච්චියට ගතයුතු වෙනවා.

තේ පෙරීම සඳහා සුදු කපු රෙදි කඩකින් තේ පෙරණයක් සකසාගෙන පාවිච්චියට ගැනීමයි වඩාත් සුදුසු වන්නේ. තේ කොළ හොඳ නැවුම් රන්වන් කහටක් සහිත තේ කොළ වර්ගයක් වීම විශේෂයි.

සුළං වැදුණු, පෙඟුණු තේ කොළ සහ කිරිපිටි තේ කෝප්පයේ රසය හීන කරන බැවින් එම ද්‍රව්‍ය ඇසුරුම් කර ගැනීමේදී වාතය ඇතුළු නොවන පරිදි ඇසුරුම් කර තබා ගැනීමට මෙන්ම පාවිච්චියෙන් පසුව එම බඳුන් හොඳින් වසා තැබීමටත් සැලකිලිමත් විය යුතුයි.

ඇතැමුන් තේ කොළ බඳුන පත්ලෙහි ඉතිරිව තිබෙන තේ කොළ උඩට අලුත් තේ කොළ පැකැට්ටුව කඩලා හළනවා.

නැතිනම් පාවිච්චි කරමින් පවතින කිරිපිටිවලට අලුත් කිරිපිටි එකතු කරනවා. ඒ ක්‍රමය වැරැදියි.

පාවිච්චි කරමින් පවතින තේ කොළ, කිරිපිටි මුළුමනින්ම අවසන් වූවාට පසුව හෝ ඉතිරිය වෙනත් බඳුනකට මාරු කරගත් පසුවයි යළිත් අලුත් තේ කොළ හා කිරිපිටි එම බඳුන් තුළට දැමිය යුත්තේ.

එසේම තේ කෝප්පයේ රසය ඒකාකාරී විය යුතු නැහැ. අවස්ථානුකූලව එහි වෙනසක් සිදුකළ හැකියි. උදාහරණයක් ලෙස වැහි දවසක් ගනිමු. රැකියාවට ගිය ඔයාගේ මහත්තයා මහ වැස්සේ තෙමීගෙන හැන්දෑවෙ ගෙදර එනවා. තේ පෝච්චියට ඉඟුරු කෑල්ලක් තළා දාලා උණු උණුවෙම ඉඟුරු ප්ලේන්ටියක් හදලා දෙන්න. “ෂාහ් නියමයි” කියලා මහත්තයා කියාවි. අව්ව සැර දහවලක ගෙවත්තෙ වැඩ කරමින් වෙහෙසෙන ඔහුට තේ කෝප්පයක අවශ්‍යතාවය දැනුණොත් හකුරු කැබැල්ලක් සමඟ හොඳ කහට කෝප්පයක් පිළිගන්වන්න. වෙහෙස පිපාසය සැණෙකින් සංසිඳේවි.

තේ රස කිරීම සඳහා ඉඟුරුවලට අමතරව කුරුඳු, එනසාල් සහ කරාබුනැටි ආදිය යොදා ගැනීමට පුළුවනි.

කුරුඳු රසැති තේ ඉතා ප්‍රණීතයි. අවශ්‍යවන්නේ අඟලක පමණ අලුත් කුරුඳු පොතු කැබැල්ලක් පමණයි. කුරුඳු කැබැල්ල තළා, තේ කොළ සමඟ මිශ්‍රකර සුපුරුදු ආකාරයට තේ වත්කරගත හැකියි.

එසේ නොමැති නම්, එනසාල් කරල් දෙකක් තළා දමා තේ කෝප්පයට නවමු රසයක් එක්කර ගැනීමට පුළුවන්. ඉඳහිට දවසක කරාබු නැට්ටක් දෙකක් තළා දමා තේ රසකර ගැනීමටත් පුළුවන්. සෙම්ප්‍රතිශ්‍යාව, සෙම හේතුකොට ගෙන උගුරේ හටගන්නා වේදනාව ආදී සෙම ආශි‍්‍රත රෝගී තත්ත්වයකින් පෙළෙන විට එමඟින් යම් සහනයක් අත්විඳීමට හැකියි.

කිරි තේ සඳහා නැවුම් දියර කිරි භාවිතය වඩා යෝග්‍ය වුවත් ලාංකික ගෘහණියන් වැඩි පිරිසක් කිරිපිටි ආශි‍්‍රතයෙන් කිරි තේ පිළයෙල කරගන්නා බැව් නොරහසක්.

එහිදී කිරි කැටි ගැසීම ගැටලුවක්. එසේ නම් පහත සඳහන් ක්‍රමය අනුගමනය කරන්න. තෙත රහිත හොඳින් වියළුණු බඳුනකට කිරිපිටි සහ සීනි දමා හොඳ හැටි මිශ්‍රකර ගන්න.

ඉන්පසුව වතුර ස්වල්පයක් දමා හොඳින් ගසන්න. හැඳි ගාන්න එපා. හොඳින් ගසන්න. කිරි කැටි නොගැසෙන පරිදි ගසාගත් කිරි මිශ්‍රණයට අවශ්‍ය ප්‍රමාණයට කහට වතුර එකතුකර පෙරා ගන්න. කිරි කැටි නොගැසේවි.

නමුත් නියම ආකාරයට රසයෙන් අනූන කිරි තේ කෝප්පයක් පිළියෙල කිරීමට නම් අලුත දොවා ගත් එළකිරි වුවමනාය.

එම කිරිවලින් සාදාගන්නා කිරි තේ සහ පදමට කහට මුසු කරගත් කිරි කහට රසයෙන් ඉස්තරම්.

එළකිරි උණුකර ගන්නා විට එයට ශුද්ද කරගත් කළාඳුරු අල 2-3ක් එක්කොට ගැනීමෙන් සෙම් පීඩා ඇතිවීම වළක්වා ගත හැකිවාක් මෙන්ම කිරි ඉමිහිරි රසයෙන් ද යුතු වෙනවා.

 

2019/06/19 තරුණි බලන්න