ප්‍රතිශක්තිය වඩන ආහාර

ඔක්තෝබර් 16 දිනට යෙදුණු ලෝක ආහාර දිනය වෙනුවෙනි
ඔක්තෝබර් 21, 2020

ඔක්තෝබර් 16 ලෝක ආහාර දිනයයි. මෙවර එහි තේමාව වූයේ "සෞඛ්‍ය සම්පන්න ආහාර සඳහා නැණවත් අදහස්" යන්නයි. මේ ගෙවී යන කාල වකවානුවත් නැණවත්ව ආහාර තෝරාගත යුතු කාලයකි. එසේ කියන්නේ පවත්නා කොරෝනා රෝග තත්ත්වයට මුහුණ දීමට නම් අපි කවුරුත් අපේ ප්‍රතිශක්තිකරණය පිළිබඳ සැලකිලිමත් විය යුතු බැවිනි.

විශේෂයෙන් ම ගෙදර ගෘහණිය මේ දිනවල කෑම වේලට එක්කරගත යුත්තේ ප්‍රතිශක්තිකරණය වඩවන ආහාරයි. එමඟින් මේ පවත්නා රෝග තත්ත්තවයට මුහුණ දීමට අපේ සෞඛ්‍යය සැකසේ.

ඒ නිසාම ඔබේ ආහාර වේලට එක්කරගත යුතු ප්‍රතිශක්තිකරණය වඩන ආහාර වර්ග කිහිපයක් මෙලෙස ගෙන එන්නෙමු.

‌කොත්තමල්ලි

සෙම්ප්‍රතිශ්‍යාව, උණ, ඇඟපත වේදනාව, අම්ල පිත්ත රෝග, බඩේ අජිර්ණය ආදී රෝග සඳහා සුවය සලසා දෙන බව අනාදිමත් කාලයක සිට විශ්වාස කරන ඖෂධයකි. ප්‍රතිශක්තිකරණය වර්ධනයට රුකුල්වන්නා සේම මෙහි විසබීජ නාශක ගුණයක් ද ඇත.. අප එදිනෙදා භාවිත කරන තුනපහවල කොත්තමල්ලි අඩංගු වන අතර කොත්තමල්ලි පානයක් ලෙස ද දිනපතා එක්කර ගත හැකියි. පානයක් ලෙස කොත්තමල්ලි එක්කර ගැනීමේ දී කබලේ බැද භාවිත කළ යුතුමයි.

සුදුලූනු

සුදුලූනුවල අඩංගු විටමින් ඛ් සහ ඕ6, ඛනිජ ලවණ සහ අනෙකුත් විටමින් වර්ග නිසා ලෙඩ රෝගවලින් ආරක්ෂා වීමට අවශ්‍ය ප්‍රතිශක්තිකරණය වර්ධනය කරයි. මෙහි ප්‍රතිජිවක සහ ප්‍රතිවෛරස් ගුණාංග ද අඩංගුයි. ඒනිසා දිනපතා ආහාර වේලට සුදුලූනු ගෙඩි කිහිපයක් එක්කරගැනීම සුදුසුය.

ඉඟුරු

ඉඟුරු සතුව ප්‍රතිශක්තිකරණ සහ බැක්ටීරියා නසන ගුණ ඇත. එය පරිවෘත්තීය ක්‍රියාවලිය වේගවත් කරන අතර ශාරීරික ක්‍රියාකාරකම්වල කැලරි වැය වැඩි කිරීමට උපකාරී වෙනවා. විවිධ කෑම වර්ග සහ අතුරුපස සෑදීමේ දී ඉඟුරු එක්කර ගත හැකි අතර දිනපතා ඉඟුරු යෙදූ තේ එකක් පානය කිරීමට ඔබට හැකියි. එමෙන්ම කබලේ බැදගත් කොත්තමල්ලි තම්බන විට ද ඔබට ඉඟුරු එක්කර ගත හැකියි. මෙම කොත්තමල්ලි, ඉඟුරු පානය ද දිනපතා ගැනීම ප්‍රතිශක්තිකරණය වර්ධනය කරයි.

බතල

බතල වර්ග කිහිපයක් ඇත. මේ හැම වර්ගයකම විටමින්, ඛනිජ ලවණ මෙන්ම ප‍‍්‍රතිඔක්සිකාරක සංයෝග පවතින බව පර්යේෂණවලින් හෙළි වී ඇත. වැඩෙන අවධියේ පසුවන කුඩා දරුවන්ට, ශරීරය දුර්වල වූ අයට ශරීර ශක්තිය ලබා ‌දෙන්න බතලවලට මහඟු හැකියාවක් ඇත. මෙහි බීටා කැරොටින් හි ඉහළ ‌ලෙස අඩංගුයි. මෙහි අඩංගු පෝෂ්‍ය පදාර්ථය ප්‍රතිශක්තිකරණ පද්ධතියට ආධාර කරන්නේ සුදු රුධිරාණු නිපදවීමට උපකාරී වීම මඟිනි. එමෙන්ම එය බැක්ටීරියා සහ වෛරස්වලට එරෙහිව සටන් කරයි.

කහ

මේ දිනවල හිඟ වුවද කහ යනු මාහැඟි ඔසුවකි. එය ප්‍රති- අවුලුවන සංයෝගයකි. ප්‍රතිශක්තිකරණ සෛල ක්‍රියාකාරිත්වය ඉහළ නැංවීමට සහ ප්‍රතිදේහ නිපදවීම වැඩි දියුණු කිරීමට ද කහ වැදගත් කාර්යයක් ඉටුකරයි. ඒ නිසාම අහාර පිසීමේ දී කහ අනිවාර්යයෙන් එකතු කරගත යුතුයි.

නිවිති

නිවිතිවල අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ හා ප්‍රතිඔක්සිකාරක අඩංගු බැවින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නැංවිය හැකියි. එහි අඩංගු ෆ්ලේවනොයිඩ්ස්, කැරොටිනොයිඩ්ස්, විටමින් සී, විටමින් ඊ ප්‍රතිශක්තිකරණ පද්ධතියට සහාය ‌වෙනවා.

දොඩම්

දොඩම්වල විටමින් සී බහුලව අඩංගුය. ඒ නිසාම පොදු සෙම්ප්‍රතිශ්‍යා රෝග ලක්ෂණවල දී බොහෝ දෙනා ආහාරයට එක්කර ගනී. එමඟින් ඉක්මනින් ප්‍රතිශ්‍යා තත්ත්වයෙන් මිදීමට හැකි වෙයි. එමඟින් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීමට හේතු වෙයි.

ග්‍රීන් ටී

ග්‍රීන් ටීවල කැෆේන් අඩංගු වන්නේ ඉතා සුළු ප්‍රමාණයක් බැවින් සාමාන්‍ය තේ හෝ කෝපිවලට වඩා හොඳය. ග්‍රීන් ටී පානය කිරීමෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ද ශක්තිමත් කරගත හැකියි. ග්‍රීන් ටීවල ද ෆ්ලේවනොයිඩ් අඩංගු වන අතර එය සෙම්ප්‍රතිශ්‍යාව අඩු කරයි.

ආමන්ඩ්

ආමන්ඩ් යනු විටමින් ඡ් හි බහුල ආහාරයකි. එහි මැංගනීස්, මැග්නීසියම් සහ තන්තු ද අඩංගු වෙනවා. ආමන්ඩ් කෝප්ප කාලක් හෝ අත්ලක ප්‍රමාණයක් ආහාරයට එක්කර ගැනීම සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් උරුමකර ගැනීමට හේතු වේ. එය ප්‍රතිශක්තිකරණ පද්ධතියට ද ප්‍රයෝජනවත් ආහාරයකි.

කැරට්

කැරට් විටමින් ඒ පිරුණ ගබඩාවක් වැනිය. මෙහි බීටා කැරොටින් ද බහුලව අඩංගුයි. සුදු රුධිරාණු නිපදවීමට උපකාරී වෙමින් මේ පෝෂ්‍ය පදාර්ථය ප්‍රතිශක්තිකරණ පද්ධතියට ආධාර කරයි. සුදු රුධිරාණු බැක්ටීරියා සහ වෛරස්වලට එරෙහිව සටන් කරයි. විසබීජ ශරීරයෙන් ඈත් කර තැබීම සඳහා ආරක්ෂිත බාධකයක් ලෙස ක්‍රියා කරන ශ්වසන ශ්ලේෂ්මල පටල සෑදීමට ද උපකාරී වේ.

‌දෙළුම්

දෙළුම් ප්‍රතිශක්තිකරණයට සහාය වන තවත් ආහාරයකි. දෙළුම් යුෂවල අඩංගු ෆ්ලේවනොයිඩ් ප්‍රතිඔක්සිකාරක වෛරස්ලට එරෙහිව සටන් කරන බව පෙන්වා දී ඇති අතර සෙම්ප්‍රතිශ්‍යාවේ කාලය 40% කින් අඩු කරයි.

කොළ පාට එළවළු

කොළ පාට එළවළු මඟිින් ප්‍රතිඔක්සිකාරක මෙන්ම විටමින් ඒ සහ ඛ් සහ ෆෝලේට් ඇතුළු ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වයට උපකාරී වන ප්‍රධාන පෝෂ්‍ය පදාර්ථ ලබා සිරුරට ලබා දෙයි.

බ්‍රොකලි

මෙහි විටමින් සී බහුලව අඩංගු අතර සල්ෆෝරාපේන් වැනි ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ද එහි අඩංගු වේ. මේ හේතූන් නිසා, ප්‍රතිශක්තිකරණ පද්ධතියේ වර්ධනයට සහාය වීම සඳහා නිතිපතා ආහාරයට ගැනීමට සුදුසුය.

ඩාක් ‌චොකලට්

තද කළු පාට ඩාක් චොකලට් වල තියෝබ්‍රොමින් නම් ප්‍රතිඔක්සිකාරකයක් අඩංගු වෙනවා. එය ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නැංවීමට උපකාරී වෙනවා. නමුත් ඩාක් චොකලට්වල කැලරි හා සංතෘප්ත මේදය අධික බැවින් එය ප්‍රමාණය ඉක්මවා ආහාරයට ගන්න එපා.

පෙරුම්කායම්

වෛරස් කාරකයන්ට එරෙහිව ක්‍රියා කරන අපූර්ව ඖෂධයකි. පුද්ගලයකුට හෙම්බිරිස්සාවක් ඇති වු විගස ස්වාභාවික ප්‍රතිදේහ නිපදවෙන්නට පටන් ගන්නවා. පෙරුම්කායම් මෙම ශ්වසන ක්‍රියාවලිය වඩාත් පහසු කරනවා. කුළු බඩුවක් ලෙස ආහාරයට එක්කර ගත හැකි පෙරුම්කායම් කුඩා ප්‍රමාණයක් පිරිසුදු රෙදි කොටසක් ඔතා ඔබේ දරුවාගේ සමේ ගැටෙන පරිදි ගැටගසා තිබීමෙන් බොහෝ වෛරස් රෝගවලින් දරුවා ආරක්ෂාකර ගත හැකියි. එහෙත් ගැබිනි මවුවරුන් හිතුමතේ පෙරුම්කායම් ආහාරයට එක්කර ගන්න එපා.

www.medicalnewstoday.com හා අන්තර්ජාලය ඇසුරිනි