ලී පබළුවලින් හැඩවන ඔබට කරට මාල අතට වළලු

අප්‍රේල් 28, 2021

දේශීය දේ අගයන්න එයට වටිනාකමක් දෙන්න වැඩි දෙනෙක් යොමුවී ඇති ආකාරයක් අපි දකින්නෙමු.

දේශීය අමුද්‍රව්‍ය යොදා ගනිමින් අත්කම් නිර්මාණ කරණයේ නියැළෙන ඔබට තිළිණයක් ලෙසින් ලී පබළු යොදා ගනිමින් නිර්මාණය කළ හැකි කරමාලයක්, කරාබු යුවළක් වගේම අත් පලඳනාවක් මෙලෙසින් ගෙන එන්නෙමු.

අවශ්‍ය ද්‍රව්‍ය

දම් වර්ණ ලී පබළු

ක්‍රීම් වර්ණ කුඩා පබළු

කළු කෝඩ් නූල්

ජම්පිං රින්ස් කිහිපයක්

ගාන්චුවක්, ලොකු මුදු දෙකක්

ටසල් දෙකක්, උල් අඬුවක්

කරමාලය නිර්මාණය කරගන්නා ආකාරය.

පළමුව මාලය සඳහා අඟල් 36 ක් පමණ දිග පබළු කෝඩ් නූල් කොටසක් කපා ගන්න. ඉන්පසු කෝඩ් නූලෙහි හරිමැදින් දම් පැහැති පබළු හයක් දමාගන්න. පසුව එහි දෙපසට මාරුවෙන් මාරුවට දම් පැහැති සහ ක්‍රිම් පැහැති පබළුව බැගින් එකතු කරගන්න. මාලය ඔබට අවශ්‍ය දිගට හදාගෙන උඩින් කෝඩ් නූල් කොටස් දෙකක් එකට එකතුකර ගැටයක් දමා ගන්න.

 

කරාබු යුවළ

මේ සඳහා ලොකු රින්ස් (මුදුවක්) ගෙන ඡායාරූපයේ පෙනෙන පරිදි වර්ණ මාරු කරමින් දම් පැහැති පබළු හතරක් හෝ ක්‍රීම් පැහැති පබළු දෙක බැගින් මුදු දෙකට දමා ගන්න. මැද ඇති ටසල් එක සිල්ක් නූල් යොදා ගනිමින් තමන්ටම සාදාගත හැකිය. ඒ සඳහා සිල්ක් නූල් කොටස් එක සමාන දිගට ගෙන ගැට දමමින් උඩ කොටසට සම්බන්ධ කරගන්න.

 

අත් පලඳනාව

මේ සඳහා කළු කෝඩ් නූල් අඟල් 18 ක් පමණ දිගට ගෙන දෙකට නමා හරි මැදට ගාන්චුවක් දමා ගන්න. පසුව එහි දෙපසට ක්‍රිම් පොඩි පබළු දෙක බැගින් දමා ගන්න. පසුව නැවතත් එක පබළුවක් දමා ක්‍රොස් කරගන්න. (පබළුව තුළින් නූල් පොටවල් දෙක දෙපසට යන පරිදි) පසුව නැවතත් දම් පැහැ පබළු දෙකක් හා ක්‍රීම් පැහැති පබළු දෙකක් දෙපසට දමන්න. පසුව ක්‍රීම් එක් පබළුවක් දමා කෙ‍්‍රාස් කරගන්න. මේ ආකාරයට දිගටම පබළු සම්බන්ධකර තමන්ගේ අතට අවශ්‍ය දිගට සාදාගෙන ක්‍රීම් පැහැති එක් පබළුවක් දමා ක්‍රොස්කර නැවතත් ක්‍රීම් පැහැ පබළු දෙක බැගින් දෙපසට දමා ගැටයක් දමා ගන්න. එවිට පබළු පහක රවුමක් නිර්මාණය වෙයි. පසුව එයට ජම්පිං මුදුවක් දමා ගැටගසා ගන්න. මෙහි වැඩි නූල් කොටස් කපා ඉවත්කර උල් අඬුව ආධාරයෙන් තවත් ජම්පිං මුදු කිහිපයක් සම්බන්ධ කරගන්න.

 

උපදෙස් -

මහරගම ප්‍රා. ලේකම් කාර්යාලයේ බාහිර උපදේශිකා, ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනී

චූලනී ජයසිංහ