පාට පාටින් කැරකෙන රවුමක්

මැයි 19, 2021

 

ඒ ෆෝ කොළ යොදා ගනිමින් හරිම පහසුවෙන් වගේම අඩු කාලයකින් සාදාගතහැකි ලස්සන වෙසක් සැරසිල්ලකිං

 

අවශ්‍ය ද්‍රව්‍ය

වර්ණ කිහිපයකින් ඒ ෆෝ කොළ

ගම්

කතුරක්

 

නිර්මාණය කරගන්නා ආකාරය

පළමුව ඒ ෆෝ කොළයක් ගෙන අඟලක් උස පටි දෙකක් කපා ගන්න. ඉන්පසු තවත් ඒ ෆෝ කොළයක් ගෙන එහි පළල පැත්තෙන් අඟලක් ලකුණු කර එතැන සිට දිගට කපාගත් ඒ ෆෝ පටිය අලවන්න. දැන් එහි යට කොටසටද ඉහත ආකාරයටම පළමුව අඟලක් ඉතිරිකර එතැන සිට දිගට ඒ ෆෝ පටිය අලවන්න. පසුව ඒ ෆෝ කොළයේ පටි අලවාගත් පැත්ත අනෙක් පස හරවා සිලින්ඩරයක් ආකාරයට රවුම්කර ඉහතින් අඟලක් ඉතිරි කරගත් කොටස දිගට ගම් ගා අලවා ගන්න. දැන් මෙය වේළෙන්නට තබන්න.

ඉන්පසු සිලින්ඩරයේ පටි ඇලවූ කොටස් හැර ඉතිරි කොටස මැන එය දෙකට බෙදා ලැබෙන අගය අරය වශයෙන් ගෙන වර්ණ කීපයක ඒ ෆෝ කොළ මඟින් රවුම් කීපයක් කපාගන්න. සාමාන්‍යයෙන් මේ සඳහා රවුම් 15 - 20 අතර ප්‍රමාණයක් අවශ්‍ය වෙයි.

දැන් එසේ කපාගත් රවුම් දෙකට නමා ගන්න. පසුව එක් රවුම් කොටසක් ගෙන එහි නැමුම් පාර දිගේ ගම් ගා සිලින්ඩරාකාර කොටසේ මැදින් අලවන්න. ඒ අකාරයටම වෙනත් වර්ණයක තවත් රවුමක ගම් ගා ඉහත අලවාගත් ඉරට තරමක් ඈත්කර එම රවුම අලවන්න. දැන් එම රවුම් දෙකෙහි මැද පෙති දෙක වටේට ගම් ගා පෙති දෙක සම්බන්ධ කරන්න. මේ ආකාරයට රවුම වටේටම පෙති අලවා ගන්න. අවසානයේ ඔබ අතට ලස්සන වෙසක් සැරසිල්ලක් ලැබී ඇත. මෙය එල්ලීම සඳහා කම්බි කොටසක් හෝ ඝනකම් නූලක් භාවිත කරන්න. අවශ්‍ය නම් යට කොටසට රැලි අලවා ගත හැකියි. බලන්න මෙවැනි නිර්මාණයක් හරිම පහසුවෙන් නිර්මාණය කළ හැකියි නේද කියා.