බතික් නිර්මාණයක් සඳහා මෝස්තරයක් තෝරාගන්නේ කෙසේද?

මැයි 31, 2021

 

තරුණී බතික් පාඩම් මාලාව දැන් බොහොම ජනප්‍රියයි. ඒ බතික් නිර්මාණ කලාව ඉතාමත් සරලව, මුලසිටම ඔබට ඉගැන්වූ නිසා.

අප මෙතෙක් කියා දුන් දේ හොඳින් ග්‍රහණය කරගත් නිර්මාණශීලී තරුණී පාඨක කාන්තාවන් බොහෝ දෙනෙක් මේ වනවිටත් ඉතාමත් සාර්ථකව නිර්මාණ කරමින් සිටිනවා. එලෙස නිර්මාණ කිරීමේදී මතුවන පුංචි පුංචි ගැටලු පහදා ගැනීම සඳහා ඔවුන් නිරතුරුවම අප හා සම්බන්ධ වනවා.

බොහෝ දෙනාගේ ඉල්ලීම පිණිස අදත් අපි ඔබට බතික් නිර්මාණයක් කිරීමේදී වැදගත් වන කරුණු කිහිපයක් ගැන කතා කරන්නට තීරණය කළෙමු.

බතික් නිර්මාණයක් සඳහා මෝස්තරයක් තෝරා ගන්නේ කෙසේද? ඒ සඳහා තේමාවක් අත්‍යාවශ්‍ය වේද? අවශ්‍ය වන්නේ නම් තේමාවක් තෝරා ගන්නේ කෙසේද? එම තේමාව මෝස්තරයක් බවට පත් කරගන්නේ කෙසේද? යන ගැටලුවලට පිළිතුරු සැපයීමයි.

 

* බතික් නිර්මාණයක් සඳහා මෝස්තරයක් තෝරා ගන්නේ කෙසේද?

වර්තමානයේ බොහෝ බතික් නිර්මාණකරුවන් මෝස්තරයක් තෝරා ගනු ලබන්නේ අන්තර්ජාලයේ කවරකු හෝ සිදු කරන ලද නිර්මාණයක් කොපි කිරීම හෝ වෙළෙඳ සලක දක්නට ලැබෙන නිර්මාණයක් කොපි කිරීම මේ ආදී වශයෙන් වෙනත් කෙනකුගේ නිර්මාණයක් කොපි කිරීමයි.

එහෙත් ඔබ මේ කලාව ව්‍යාපාරයක් ලෙස සිදු කර කිසියම් ආර්ථික ලාභයක් අපේක්ෂා කරන්නේ නම් පාරිභෝගිකයකුගේ ඉල්ලීම පරිදි හෝ එවැනි නිර්මාණයක් සිදු කිරීම වරදකි. අප සෑම විටම පුරුදු විය යුත්තේ අපටම අනන්‍ය වූ අපගේම මෝස්තර නිර්මාණය කිරීමය. ඒ අනුව ඔබ මෝස්තරයක් පාරිභෝගිකයෙකුට නිර්මාණය කරදීමේ දී පහත කරුණු සළකා බැලීම අත්‍යාවශ්‍ය වේ.

 

1. පාරිභෝගිකයාගේ රුචිකත්වය. (වර්ණය)

2. පාරිභෝගිකයාට අවශ්‍ය ඇඳුම. උදා:-

සාරියක්, ඔසරිය, සරම, කමිසයක්

3. පාරිභෝගිකයාගේ රූපය. (පෙනුම / සමෙහි පැහැය / සිරුරේ හැඩය)

4. පාරිභෝගිකයාගේ වයස.

5. අවස්ථාව

උදා:- උදෑසන, දහවල්, රාත්‍රී උත්සව අවස්ථාවක්ද, මංගල උත්සවයක් / අවමංගල්‍ය උත්සවයක්

6. පාරිභෝගිකයා කවරෙක් ද යන බව

උදා:- ගුරුවරයෙක් / උත්සවයක ආරාධිත අමුත්තෙක් ද

7. ඇඳුමෙහි වටිනාකම.

8. සමාජ මට්ටම.

 

 

* බතික් මෝස්තරයක් සඳහා තේමාවක් තෝරා ගන්නේ කෙසේද?

අප බතික් නිර්මාණයක් සඳහා තේමාවක් තෝරා ගැනීමේදී අවට පරිසරයේ දක්නට ලැබෙන ස්වාභාවික වස්තුවක්, ජ්‍යාමිතික හැඩතලයක්, මිසර රූපයක්, සත්ත්ව රුවක්, සාම්ප්‍රදායික චිත්‍ර හෝ ඕනෑම දෙයක්. (ආගමික ශාස්තෘවරුන්ගේ රුවක් හෝ ආගමික ලාංඡන හැර) යොදා ගත හැකිය.

උදාහරණයක් ලෙස ඔබ නිර්මාණය සඳහා ශාක පත්‍රයක් තෝරා ගත්තා යැයි සිතන්න.

 

* පත්‍රයේ වර්ණයන් කෙසේ වේද?

* එම වර්ණය ක්‍රම ක්‍රමයෙන් වෙනස් වන්නේ කෙසේද?

උදා:- ළපටි දල්ලක වර්ණය

එය ඉදුණු විට වර්ණය.

එය වියළී ගිය පසු වර්ණය.

* පත්‍රයේ හැඩය

* පත්‍රයේ සැකැස්ම

* පත්‍රයේ නාරටිවල රටාව... ආදී වශයෙන්

 

අපට ශාක පත්‍රයේ විවිධ ආකාරයන් විශ්ලේෂණය කළ හැකිය. ඒ එක් එක් අංග විවිධ ආකාරයෙන් නිර්මාණය සඳහා යොදා ගත හැකිය. ඒ පිළිබඳ දල අවබෝධයක් රූප සටහන් පෙළෙන් ඔබට ලැබෙනු ඇත. (Monstera ශාක පත්‍රය මා නිර්මාණය සඳහා යොදාගෙන ඇත.)

 

ඉදිරිපත් කිරීම

kenuri batik ආයතනයෙහි

අධිපතිනි

එච්. චන්දිමා ද සිල්වා