කතිර රටා මහන්න කැමැති ආධුනික ඔබට…..

අවශ්‍ය දේවල් පිළිබඳ මූලික හැඳින්වීමක්…
ජූලි 7, 2021

 

 

සියවස් ගණනාවක් ඈත අතීතයකට උරුමකම් කියන කතිර රටා එම්බ්‍රොයිඩරි කලාව අද ලෝකයේ මෙන්ම ලංකාවේ ද ජනප‍්‍රියම මැහුම් කලාව වී අවසානය. එයට හේතුව වන්නේ මැසීමේ පහසුවයි. එනම් කතිර මැස්ම මසන්න ඉතාම පහසු මැස්මක් වීමයි. වැඩිහිටි අයට පමණක් නොව පාසල් යන දියණියන්ට ද කතිර මැස්ම පහසුවෙන්ම මැසිය හැකියි.

පාසල් දරුවන්ට පාසලේදී ද මෙය මසන්නට කියා දෙන අවස්ථා දැකගත හැකියි. තවත් වැදගත් කරුණක් වන්නේ සිත් ඇදගන්නා ආකර්ෂණීය දසුන්වලට කතිර රටා මඟින් ජීවය දිය හැකි වීමයි. මේ නිසාම ඒ වෙනුවෙන් තරුණී පාඨක කාන්තා ඔබෙන් ලැබෙන දිනෙන් දින ඉහළ යන ඉල්ලීම් බොහෝය. ඒ නිසාම ආධුනික ඔබ වෙනුවෙන් මූලික හැඳින්වීමක් මෙලෙස ගෙන එන්නෙමු.

 

පළමුව අපි අවශ්‍ය දේවල් හඳුනාගනිමු.

 

රෙදි වර්ග

කතිර රටා එම්බ්‍රොයිඩරි කලාවට කොටු ගණන් කළ හැකි ඕනෑම රෙදි වර්ගයක් භාවිත කළ හැකියි. ඒත් අපි වැඩි වශයෙන්ම භාවිත කරන්නේ අයිඩා රෙදි වේ. මෙම අයිඩා රෙදි අඟලට කොටු 8, 11, 14, 16, 18 හා 20 ආදී වශයෙන් කොටුවේ ප‍්‍රමාණ අනුව ඇත. එහෙත් අපි කතිර රටා සඳහා භාවිතයට ගන්නේ අඟලට කොටු 11ක් සහ 14ක් ඇති අයිඩා රෙදිය. මෙම අයිඩා රෙදි වවිධ වර්ණවලින් ඇත. එනම් සුදු, කඵ, ඇත්

දළ පැහැ, දම්, ළා නිල් ආදී ලෙසය. අඟලට කොටු 11 ක් ලෙස අප හඳුන්වන්නේ රෙදි කොටසේ අඟලක් ගත් විට එනම් අඟලක දිගක් ලකුණු කළ විට එහි කොටු 11 ක් තිබීමයි.

එය වියමනක් ලෙස ඇති අතර ඔබට ගණන් කළ හැකියි. අඟලට කොටු 14 ක් යනු රෙදි කොටසේ අඟලක දිගක් ලකුණු කළ විට එහි අපිට ගණන් කළ හැකි ලෙස කොටු 14 ක් තිබීමයි. ඊට අමතරව ඉන්දියන් ජාවා රෙදි, ප්ලාස්ටික් කැන්වස් රෙදි, ගෝනි රෙදි හා වූවන් වීව් රෙදි ද භාවිත කළ හැකියි. එහෙත් ඔබ මතක තබා ගත යුතු වැදගත් දෙයක් වන්නේ අපි කතිර රටා මැසීමට භාවිත කරන ජනප‍්‍රියම රෙදි වර්ගය වන්නේ අඟලට කොටු 11 ක් ඇති අයිඩා රෙද්ද බවයි.

ඉඳිකටු

කතිර රටා මැසීමේ දී අප භාවිත කරන්නේ ටැපැස්ට්‍රි ඉඳිකටු වේ. මේවා විවිධ ප‍්‍රමාණවලින් ඇති අතර වඩාත් සුදුසු වන්නේ නොම්බර 24 හා නොම්බර 26 ටැපැස්ට්‍රි ඉඳිකටුය.

නොම්බර 26 නොම්බර 24 ට වඩා ප‍්‍රමාණයෙන් කුඩාය.

අඟලට කොටු 11 ක් හා අඟලට කොටු 14 ක් ඇති අයිඩා රෙද්දේ මැසීමේ දී වඩාත් සුදුසු වන්නේ නොම්බර 24 ටැපැස්ට්‍රි ඉඳිකටුවයි. අඟලට කොටු 14 ට වඩා වැඩි නම් නොම්බර 26 ටැපැස්ට්‍රි ඉඳිකටුව භාවිත කළ හැකියි. වූවන් වීව් සඳහා නොම්බර 28 ඉඳිකටුව භාවිත කළ හැකියි.

 

නූල් වර්ග

කතිර රටාවන්ට සුන්දර වූත් අලංකාර වූත් පෙනුමක් ගෙන දෙන්නේ කපු කැරැලි නූල්ය. නූල් කැරැල්ලක පොටවල් 06ක් ඇති අතර අඟලට කොටු 14 ක් ඇති අයිඩා රෙද්දේ මසන්නේ නම් පොටවල් දෙක බැගින් වෙන්කර ගෙන ඉඳිකටුවට

නූල් අමුණා මසාගත යුතුයි. ආපසු මැස්මෙන් අවුට් ලයින් කරගත යුතු ස්ථාන වේ නම් ඒ සඳහා භාවිත කළ යුත්තේ එක් නූල් පොටක් හෝ දෙපොටක් පමණි.

ප්‍රංශ ගැටවලින් මැසිය යුතු අවස්ථා ද වේ. ඒ සඳහා නූල් තුන් පොටක් භාවිත කරන්න. අඟලට කොටු 11 ක් ඇති අයිඩා රෙද්දේ මසන්නේ නම් නූල් පොටවල් තුන බැඟින් ඉඳිකටුවට අමුණා කතිර මසාගත යුතුයි. සමහරු පොටවල් හයම භාවිතකර මසයි. සිල්ක් කැරැලි නූල් ද ඇත. කැරැලි නූල් වෙළෙඳ නාම කිහිපයකින් ඇත. ඇන්කර්, ඞීඑම්සී හා ඇපල් ලංකාවේ දී භාවිත කරයි.

රාමුව

කොටු හැඩයට මෙන්ම රවුම් හැඩයට ලීවලින් සහ ප්ලාස්ටික්වලින් නිමවන ලද රාමු ඇත. එමෙන්ම විවිධ ප‍්‍රමාණවලින් ද රාමු ඇති අතර ඔබගේ කැමැත්ත අනුව රාමු තෝරාගන්න. කතිර රටා මැසීමට හොඳින් අත හුරු අයට රාමු අවශ්‍ය නොවේ.

කතුරු

හොඳින් කැපෙන කුඩා එම්බ්‍රොයිඩරි කතුරක් තෝරාගන්න.

කතිර රටා අලංකාර කිරීමට පබළු, සීකුවින්ස් ආදිය භාවිත කළ හැකියි.