බිත්ති සැරසිල්ල හැඩකරන සූරියකාන්ත මල්

පෙබරවාරි 28, 2022

 

හිරු දැක සිනාසෙන, හිරුට ආදරණීය සූරියකාන්ත මල් නෙත පිනවන සොබාදහමේ අපූර්ව නිර්මාණයකි. කහ පැහැයෙන් පිපී හිනැහෙන මේ මල් කුමරියන් රැසක් කඩදාසි කොළවලින් සකසා ඒවා එක්තැන්කර සැකසූ නිර්මාණයකි මෙය.

විසිතුරු නිර්මාණයකින් නිවෙස හැඩකරගන්න හිතන ළඳුන් වෙනුවෙන් අපි අද මේ පේපර් කුවිලිං නිර්මාණය තිළිණ කරන්නෙමු. මෙහි දැක්වෙන නිර්මාණය ආදර්ශයට ගෙන මෙයට වඩා වෙනස් නිර්මාණ කරන්නටත් ඔබට හැකියි.

 

අවශ්‍ය දේවල්

 

සුදු වර්ණ ඝනකම් බෝඩ්

කහ වර්ණ කිහිපයක, කොළ වර්ණ කිහිපයක, සුදු, රතු, දුඹුරු හා ක්‍රීම් වර්ණ ඒෆෝ කොළ

කුවිලිං ටූල් එක

හොඳින් ඇලවෙන ගම් වර්ගයක්

කතුරු, ඉටි කොළ, පින්, රිජිෆෝම් කොටසක්

පේපර් ෂෙඩර් මැෂින් එකක්

 

නිර්මාණය කිරීම

 

මේ සඳහා පළමුව අවශ්‍ය පටි කපාගත යුතුයි. විශාල පටි ප්‍රමාණයක් අවශ්‍ය නිසා පේප්ර් ෂෙඩර් මැෂින් එකක් භාවිතයෙන් පටි කපාගන්න.

ඒ සඳහා අඟලෙන් 1/8ක් පළලට පටි කපාගත යුතුයි. සුදු මල් මැද සඳහා ෆ්‍රින්ගඩ් ෆ්ලවර්ස් සකසා ගත යුතුයි. ඒ වගේම සූරියකාන්ත මල් සඳහා අඟල් 1/2 පළලට පටි කපා ඒවායේ පැත්තක් වෙසක් කූඩුවක රැලි කපන ආකාරයට කපා ඒවායින් ටයිට් කොයිල් සකසා ගත යුතුයි.

එම කොයිල් සඳහා දුඹුරු, කහ ආදී වර්ණ කිහිපයක පටි භාවිත කරන්න. කහ පැහැයෙන් අඟලක පමණ පළල පටි කපා ඒවායේ එක් පැත්තක් රැලි පටි කපන්න. එම රැලි කැපීමේ දී උල් හැඩය මතුවන සේ කපා ගැනීමට සැලකිලිමත් වන්න. එම පට් ද මල මැද සඳහා සාදාගත් කොයිල් වටා ඔතා අලවා ගන්න. අඟලින් 1/8 පළල කහ හා ක්‍රීම් පැහැයේ පටිවලින් මාකිස් හැඩතල සකසා ගන්න. එලෙස සකසා ගත් මාකිස් දෙකක් එකට තබා ඒවා වටා කහ පාට පටියක් හෝ දෙකක් අලවන්න. එලෙස සාදාගන්නේ සූරියකාන්ත මල් පෙතිය.

කොළ වර්ණ කිහිපයක පටිවලින් මාකිස් හැඩ සකසා ඒවා කිහිපයක් එකට තබා අලවා කොළ නිර්මාණය කරගන්න. නිර්මාණයේ කොළ දෙස බැලීමේ දී එය නිර්මාණය කරන ආකාරය පැහැදිලි වේවි. ඒ සඳහා ඔබට අවශ්‍ය කොළ හැඩය කොළයක ඇඳගන්න.

එය රිජිෆෝම් කොටස මතින් තබන්න. ඊට උඩින් ඉටි කොළයක් තබා නොසෙල් වෙන්නට පින් ගසන්න. දැන් මාකිස් හැඩ ගෙන කොළය පිරෙන්නට රටාවකට අලවන්න. හැඩතල එකට ඇලවී කොළය සැකසුණු පසු වියළෙන්න තබන්න. වියැළුණු කොළ නිර්මාණය සඳහා එක්කරගැනීමට පසෙකින් තබන්න.

රතු හා ක්‍රීම් පැහැ පටිවලින් ටයිට් කොයිල් සකසා ඒවා තරමක් එළියට ඇද ගෙඩි ආකාරයට සකසා ගන්න. එමෙන්ම ස්ක්‍රොල් හැඩතල ද කොළ පැහැ පටි භාවිතයෙන් සකසා ගන්න. සුදු පැහැ පටිවලින් ටියර් ඩ්‍රොප් සකසා ගන්න. එම මල් මැදට කහ පැහැයෙන් කුඩා ෆ්‍රින්ගඩ් ෆ්ලවර්ස් සකසා ගන්න.

දැන් තෝරාගත් බෝඩ් කොටස සමචතුරස්‍රාකාර හැඩයට කපාගන්න. එහි මේ මල් පොකුරට අදාළව දළ සටහනක් ඇඳගන්න.

පළමුව සකසා ගත් කොළ අලවන්න. ඉන්පසු සූරියකාන්ත මල්වල මැද කොයිල් අලවන්න. දැන් මල් පෙති මෙහි දැක්වෙන ආකාරයට අලවා ගන්න. නැත්නම් කොළ වෙනම අලවා සකසා ගත් ආකාරයට සූරියකාන්ත මල් ද වෙනම අලවා වියැළුණු පසු නිර්මාණයේ අලවාගත හැකියි. රතු හා ක්‍රීම් ගෙඩි ද තැනින් තැන අලවන්න. සුදු පාට ටියර් ඩ්‍රොප් මල් පෙති අලවන්න. ඒවා‍ෙය් මැදට කහ පැහැති කුඩා ෆ්‍රින්ගඩ් ෆ්ලවර්ස් අලවන්න. (කපාගත් රැලි පටි ටූල් එක වටා ඔතා ගැනීමෙන් මෙම මල් සැකසිය හැකියි.) අවසන් වශයෙන් නිදහස් ස්ක්‍රොල් හැඩ තල හා කොළ පැහැයෙන් සකසා ගත් ටයිට් කොයිල් අලවන්න.

මෙම නිර්මාණය ඔබට කැමැති ලෙස වෙනස් කරගත හැකියි. එමෙන්ම මෙය හොඳින් බොක්ස් ‍ෆ්‍රේම් ක්‍රමයට රාමුකර ගැනීමෙන් අලංකාරය වැඩි වේ.