'පංචාලි බතික්' මඟින් ජීවිතය වර්ණවත් කර ගත් පංචනා ඊශ්වරී ප්‍රනාන්දු

මැයි 23, 2022

 

පුංචි සන්ධියේ තමන් තුළ පවත්නා හැකියාව රැකියාවක් කර ගන්නේ කීයෙන් කී දෙනාද? සමහරකුට එය හඳුනා ගන්නට නොහැකියි. තවත් අයකුට හඳුනා ගත්තත් එයට ජීවය දීමට ශක්තියක් නොවෙයි. එසේත් නැතිනම් මව්පියන්ගේ කැමැත්තට ඉඩ දී තම හැකියාව සඟවා වෙනතකට යොමු වන්නට වෙයි. එහෙත් ඇතැමුන්ට හිටි හැටියේම තම හැකියාව ප්‍රයෝජනවත් වන අවස්ථා හමු වෙයි.

ඇය පංචනා ඊශ්වරී ප්‍රනාන්දු.උපන් ගම මොරටුව. පානදුර, යහපත් එඬේරාගේ කන්‍යාරාමයෙන් හා ශ්‍රී සුමංගල බාලිකාවෙන් අධ්‍යාපනය හදාරා තිබේ. කලා අංශයෙන් උසස් පෙළ හැදෑරූ ඇයට විශ්ව විද්‍යාල සිහිනය බොඳ වූයේ දශම ගණනක ලකුණු ප්‍රතිශතයකිනි.

චිත්‍ර කලාව ඇය සතු උපන් හැකියාවයි. මෙය තේරුම්ගත් මව්පියන් තම දියණියගේ හැකියාව ඔප් නංවාලීමේ අරමුණින් කලාශූරී ජයසිරි සේමගේ වෙතට ඇයව යොමු කරනවන ලදී. ඒ අනුව පළමු සිතුවම් දැක්ම 2003 වසරේදී ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ දී ඇය විසින් පවත්වන ලදී.

ජීවිතය උඩු යටිකුරු වන්නට ගතවන්නේ ඒ හැටි කාලයක් නම් නොවේ. ඇගේ කතාව ඒ සඳහා තවත් එක් නිදසුනකි. 2004 වසරේ දී ඇයගේ විවාහය සිදු විය. විවාහයෙන් පසුව ගෘහණියක ලෙසින් නිවෙසේ කොටු වූ ඇයට පාළුව, තනිකම මකාලන්නට සාරි වැඩ දැමීමේ පාඨමාලාවකට සම්බන්ධ වන්නට සැමියාගෙන් අවසරය ලැබිණි. ඒ අනුව ප්‍රවීණ සාරි නිර්මාණ ශිල්පිනී ජයන්ති ගමගේ ළඟ ඇය මේ ශිල්පය ප්‍රගුණ කරන්නට විය. 2012 වසර වන විට තිදරු මවක් වන්නට වරම් ලැබිණි. තම ආදරණීය කැදැල්ලේ පිරි සතුටට කණකොකා හඬලන්නේ මේ කාලවකවානුවේ දී යි.

ඇය ඒ පිළිබඳ කඳුළු පිරි දෙනෙතින් පැවසුයේ මෙලෙසිනි.

"මගේ සැමියා පෞද්ගලික අංශයේ උසස් රැකියාවක නිරත වූ අයෙක්. අපට කිසිදු අගහිඟකමක් තිබුණෙ නැහැ. මමත් රූපලාවණ්‍යාගාරයක් පවත්වාගෙන යමින් කාලය ගත කළා. විදෙස් රටක පදිංචිය සඳහා ප්‍රවේශයක දී සැමියාට දරුණු රෝගාබාධයක් ඇති බව තහවුරු වුණා. එතැන් සිට අපේ මුළු ජීවිතයම කණපිට හැරුණා. හඳුනා නොගත් ලෙඩකින් ඔහු පීඩා විඳිද්දී නොගිය රෝහලක්, වෛද්‍යවරයෙක් මෙන්ම නොගිය පන්සලක්, පල්ලියක් නැහැ. එය පිළිකාවක් ලෙස මුලින් කීව ද පසුව ෆයිබ්‍රොයිඩ් ලෙස වෛද්‍යවරු පැවසුවා. සැමියා ලෙඩ ඇඳට වැටුණා. සියල්ල ක්‍රමයෙන් අහිමි වුණා. කරගෙන ආ රැකියා, අත රැඳි මුදල්, රන් ආභරණ මෙන්ම ළඟින් හිටි නෑ හිතවතුන් ද අපෙන් ඈත් වුණා. ඒ නිසා ජීවිතයේ අමාරුම කාලයේ සියල්ල වටහා ගැනීමට හොඳ පන්නරයක් ලැබුණා.

මා සතු චිත්‍ර නිර්මාණ කිහිපයක්ම තුට්ටු දෙකට අලෙවි කළේ මේ කාලයේ දී යි. ඒ තරමට එදා වේල ගැට ගසා ගන්නටවත් අතේ සතේ තිබ්බෙ නැහැ. ඒ වින්ද දුක අද මතකයට නැඟෙද්දී හරි පුදුමයි. දරු පැටවුන් තුන් දෙනා එක්ක කොහොම ඒ කාලය ගත කළාදැයි අද හිතාගන්නටත් බැහැ.

මම මොනම හෝ දෙයක් කර මුදල් ඉපයිය යුතුයි තරයේ අදිටන් කර ගත්තා. ඒ අනුව 2019 ව්‍යවසාය ප්‍රදර්ශනය BMICH හි දී පැවැත්වූ විට එයට සහභාගි වුණා. මා කරගෙන ආ චිත්‍ර අලෙවියට 2019 පාස්කු ප්‍රහාරයත් 2020 වසරේ කෝවිඩ් වසංගතයත් මරු පහරක් වුණා. ඒ වන විට මා සීනි සම්බෝල බෝතල් කොට අලෙවියට යොමු වී සිටියා.

මේ අතර 2020 ජුනි මස සැමියා ශල්‍යකර්මයකට භාජනය කළා. චිත්‍ර අලෙවියත්, සීනි සම්බෝල බෝතල් කර අලෙවි කිරීමත් ඉන් මඟහැරුණා. එක් පියවරක් පස්සට ගනිද්දී තව පියවර දෙකක් ඉදිරියට තැබීම මගේ උපන් ගතිය වන්නට ඇති. එබැවින් මා බතික් නිර්මාණ කලාවට යොමු වුණා. කොහොම කොහොම හරි ඉතා දුෂ්කරතා මැදින් අතේ රැඳි අවම මුදලින් 'පංචාලි බතික්' ලෙසින් ලියාපදිංචි වි 'Panch Esh' සන්නාමයක් ලෙස ලෝකයට හඳුන්වා දුන්නේ මා සතු නොපසුබස්නා උත්සාහය නිසායි.

කෝවිඩ් වසංගතයෙන් පසු රට විවෘත වෙද්දී බතික් තාක්ෂණය ඉගැන්වීම දක්වාම මා පියවර ගණනාවක් ඉදිරියට ආවා.

මගේ අම්මා, තාත්තා, සැමියා, නංගී, මල්ලී, මගේ දරු තිදෙනා මාලයක මුතු මෙන් මා වටා සිටීම මට ලොකු ධෛර්යයක් වුණා. මා අද හිත ශක්තිමත් ගැහැනියක්. මා ඔබට නොකියූ බොහෝ වැටුණ, තැවුණු තැන් තිබේ. එහෙත් ඒ එකම ස්ථානයකදීවත් මා මගේ ගමන නැවැත්වූයේ නැහැ. එලෙස නැවතුණේ නම් අද ඔබට මා හමුවන්නේ මහමඟ යාචකයෙක් ලෙසින්. කැපකිරීම, උත්සාහය මතින් ආ ගමන අද මගේ කැදැල්ලේ දිරිය ශක්තියයි.

'පංචාලි බතික්' ඔබත් කොහේදී හෝ ඇතැම් විට මිලට ගෙන ඇති."

ඇගේ ජීවිත කතාව තවත් එක් දිරිය කතකටම හෝ ආශිර්වාදයක් වීම අපේ අරමුණයි. ඔබත් මෙවැනි දිරිය කාන්තාවක් නම් ඔබ ගැන ද රටටම කියන්නට අපි සූදානම්.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.