බිත්තිය එළිය කරන අපූර්ව නිර්මාණය

සැප්තැම්බර් 5, 2022

 

රෝස මල් පිරුණු මල් ගොමුවක වසා හිදින කුරුලු යුවළකි. බිත්ති සැරසිල්ලක් සඳහා අපූර්ව නිර්මාණයක් වන මෙය රිබන් එම්බ්‍රොයිඩරි කලාවෙන් ඔබටත් මෙලෙස නිර්මාණය කරගත හැකියි. සිල්ක් රිබන් යොදා මේ නිර්මාණය කර ඇතත් ඔබට සැටින් හා ඔගන්සා රිබන් ද එක්කරමින් මෙයට මනා නිමාවක් ලබා දිය හැකියි. පළමුව අපි අවශ්‍ය ද්‍රව්‍ය විමසා බලමු.

 

රිබන්, සිල්ක් රිබන් හා ඔගන්සා රිබන්

කොළ පැහැති හා රෝස පැහැති සැටින් රෙදි

පාසි කොළ පැහැති අඟල පළල

සැටින් රිබන් හෝ සිල්ක් රිබන්

පාසි කොළ පැහැති අඟල් 1/2 පළල,

බේබි රිබන් හා මිලිමීටර් දෙක පළල

රිබන්

ලිනන් රෙදි

කොළ, දුඹුරු වර්ණවල රෙදි

පින්තාරු තීන්ත

නිල්, දුඹුරු, සුදු, කොළ වර්ණවල

මිලිමීටර් දෙක පළල රිබන් හා කැරැලි

නූල්

ඉඳිකටු, රාමුව

පින්සල්

කතුර

 

 

පළමුව ලිනන් රෙදි කොටස සෝදා මඳ පවනේ වියළා අයන් කරගන්න, දී ඇති නිර්මාණයේ දළ සටහනක් සකසා ගන්න. එම දළ සටහන කැමැති ප්‍රමාණයකට විශාලකර රෙදි කොටස මතට පිටපත් කරගන්න. ගැළපෙන වර්ණවල රෙදි පින්තාරු තීන්ත යොදා පසුබිම වර්ණ ගන්වා ගන්න. ඉන්පසු රෙදි කොටස මඳ පවනේ වියළෙන්න තබන්න. දැන් එම රෙදි කොටස ගෙන රාමුවට දමා මැසීම අරඹන්න. පළමුව අපි මල් මැසීම අරඹමු. ඒ සඳහා ඉඳිකටුවට රෝස පාට රිබන් අමුණා ගන්න. රිබන් මැස්ම හා ලූප් මැස්ම භාවිතකර මල් වටේ පෙති මසාගන්න. සමහර මල් මැදට ෆෝල්ඩඩ් රෝස් රිබන්වලින් සකසා අල්ලාගන්න. තවත් සමහර මල් මැදට රෝස පාට සැටින් රෙදිවලින් මල් පෙති කපා වටේ ලයිටරයෙන් පුලුස්සා අල්ලා ගන්න. එමෙන්ම මල් මැදට කහ පැහැයෙන් ප්‍රංශ ගැට ද මසා තිබේ. කැමැති නම් මල් මැදට පබළු අල්ලාගන්න.

රෝස මල් මැසීමේ දී නිදහස් ලෙස ඔබේ සිතැඟි පරිදි මල් මසාගත හැකියි.

එමෙන්ම මල් පෙති මැසීමේ දී මධ්‍යස්ත රිබන් මැස්ම, වාමාවර්ත රිබන් මැස්ම හා දක්ෂිණාවර්ත රිබන් මැස්ම භාවිත කිරීමෙන් මල්වල අලංකාරය වැඩි වේ.

 

සැටින් රෙදිවලින් කොළ හැඩ කපා ව ෙට් පුලුස්සා රෙදි කොටසට තබා කොළ පාට කැරැලි නූලෙන් මැද නාරටි ආපසු මැස්මෙන් මසාගන්න. අනෙකුත් කොළ විවිධ ප්‍රමාණවල කොළ පාට රිබන් භාවිතකර රිබන් මැස්මෙන් මසාගන්න.

නටු දුඹුරු පාට රිබන් ගෙන ඒව අඹරවා ඇඹරුණු රිබන් මැස්මෙන් මසාගන්න.

 

කුරුල්ලන් අදාළ වර්ණ මිලිමීටර් 2 පළල රිබන් හා කැරැලි නූල් භාවිතකර දිගකොට මැස්මෙන් මසාගන්න.

මේ නිර්මාණය ඔබට කැමැති ලෙස වෙනස්කර ගත හැකියි. කෙසේවෙතත් සම්පූර්ණ නිර්මාණය මසා අවසානයේ දී ගැළපෙන වර්ණ නූල් ගෙන පසුපසින් ඉතිරි වූ රිබන් කොටස් රෙදි කොටසට තබා නොගැලවෙන සේ මසා ගන්න.

පසුව කැමැති පරිදි රාමු කරගන්න.