දෝණිගෙ හැඩ පෙන්වන්නට ජම්ප් සූට් විලාසිතාවක්

සැප්තැම්බර් 19, 2022

 

මලක් වගේ ඉන්න දඟකාර දෝණි ට ලස්සනම ලස්සන ඇඳුම් විලාසිතා තෝරන්නයි අම්මාගේ කැමැත්ත. එවැනි අම්මාවරුනට තම දියණිය වෙනුවෙන් තෝරා ගත හැකි විලාසිතාවකි මේ. ජම්ප් සූට් එකක් වූ මේ ඇඳුම ඔබේම අතින් මසා දෝණිට තිළිණ කරන්න.

 අවශ්‍ය මිමි -

උරහිස අඟල් 11

කර වට අඟල් 12

ඉණ දක්වා උස අඟල් 14

පපුව වට අඟල් 28

ඉණ වට අඟල් 27

ගොල්ෆි උස අඟල් 10

උස අඟල් 34

ජම්ප් සූට් එක සඳහා මිමි ගැනීමේ දී බ්ලවුසයට හා කලිසමට දෙකටම මිමි මැනගත යුතුයි.

මුලින් බ්ලවුසය සඳහා රෙදි කොටස බලවාටියට තබාගන්න. බලවාටියේ සිට අඟල් 1/2ක් තබා නැම්ම අඳින්න. (ඔබට අවශ්‍ය නම් පතරොමක් සාදාගත හැකියි.)

ඉහළින් හරහට රේඛාවක් අඳින්න. එය උරහිස රේඛාවයි. උරහිස මිම්ම දෙකට බෙදා එම පිළිතුරට මැහුම් වාසි අඟල් 1/2ක් එකතු කර උරහිස රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AB වේ. B සිට අඟල් 1 1/4ක් පහත් කර A ලක්ෂ්‍යයට යා කරන්න. එය AC වේ.

කර වට ප්‍රමාණය හතරෙන් බෙදා එන පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AD වේ. එම පිළිතුරෙන් අඟල් 1/2ක් අඩු කර ඉතිරි ප්‍රමාණය AC රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AE වේ. DE යා කර මූලික කර අඳින්න.

E සිට පහතට ඉණ දක්වා උස පහත් කර හරහට රේඛා අඳින්න.

අත් කට රේඛාවට උස සෙවීම සඳහා පපුව වට ප්‍රමාණය හතරෙන් බෙදා එන පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AF වේ. හරහට රේඛාවක් අඳින්න. එය අත් කට රේඛාවයි.

අත් කට රේඛාවට දිග ලකුණු කිරීම සඳහා පපුව වට ප්‍රමාණය හතරෙන් බෙදා එන පිළිතුරට මැහුම් වාසි හා බුරුල සඳහා එකතු කර අත් කට රේඛාවේ හරහට ලකුණු කරන්න. එය FG වේ.

ඉණ වට ප්‍රමාණය හතරෙන් බෙදා එන පිළිතුරට බුරුල සඳහා හා මැහුම් වාසි එකතු කර ඉණ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය HI වේ.

GI යා කර අංශය අඳින්න.

අත් කට වක්‍රය ඇඳීම සඳහා C සිට අත් කට රේඛාවට කෙළින් ඉරක් ඇඳ එම රේඛාවේ මැද ලක්ෂ්‍යය ලකුණු කරන්න. උරහිස මිම්මෙන් අඟල් 1/2ක් අඩු කර ඉතිරි ප්‍රමාණය නැම්මේ සිට මැද ලක්ෂ්‍යය දෙසට ලකුණු කරන්න. C සිට එම ලක්ෂ්‍යය කැපී යන සේ රේඛාවක් ඇඳ අත් කට වක්‍රය අඳින්න.

කර ගැඹුර පහත් කර අවශ්‍ය කර හැඩය අත් කටට අඳින්න. මැහුම් වාසි 1/2ක් තබා කපාගන්න. උරපටි පළල සඳහා අවශ්‍ය උස කරේ සිට මැනගත යුතුයි.

ඉදිරිපස විවරයට අඟල් 3ක් පමණ පටි 2ක් කපාගන්න.

පසුපස

පසුපස සඳහා නැම්මට තබා අවශ්‍ය කර ගැඹුර පහත් කර ඉදිරිපස ආකාරයට කපාගන්න.

ෆ්‍රිල් එක සඳහා බයස් අතට නමා අවශ්‍ය උසට කපාගන්න.

එය කපන ආකාරය

3,4 රූප මඟින් දැක්වේ.

 

කලිසම

කලිසම සඳහා අවශ්‍ය උස ගෙන එය හරහට නමාගන්න. අඟල් 1/2ක් මැහුම් වාසි සඳහා වෙන් කර ඉණ රේඛාව අඳින්න.

ඉණ රේඛාවේ සිට පහතට ගොල්ෆි උස හා සම්පූර්ණ උස පහත් කරන්න. හරහට රේඛා අඳින්න. වාටිය සඳහා අඟල් 1ක් හෝ 1 1/2ක් පහත් කර වාටිය රේඛාව අඳින්න.

ගොල්ෆි රේඛාවේ හරහට බලවාටියෙ සිට අඟල් 1 1/2ක් ලකුණු කරන්න. එය AB වේ. බලවාටියෙ සිට ඉණ රේඛාවේ අඟල් 2ක් ලකුණු කරන්න. එය CD වේ. B හා D යා කරන්න. B සිට අඟල් 1 1/2ක් ලකුණු කර ගොල්ෆි වක්‍රය අඳින්න.

ඉණ වට ප්‍රමාණය හතරෙන් බෙදා එන පිළිතුර හා රැලි හෝ ප්ලිට් තබන්නේ නම් ඒ සඳහා අඟල් 3ත් 8ත් අතර ප්‍රමාණයක් ලකුණු කරන්න. එය DE වේ. E සිට වාටිය රේඛාවට කෙළින් ඉරක් අඳින්න. බ්ලවුසයෙ ප්‍රමාණයට කපන්නේ නම් එම ප්‍රමාණය විතරක් ගන්න. බලවාටියෙ සිට වාටිය නැම්ම රේඛාවේ හරහට අඟල් 1ක් ලකුණු කරන්න. එය F වේ. F සිට ගෝල්ෆි වක්‍රයට යා කරන්න. ඉදිරිපස පතරොමට මැහුම් වාසි තබාගන්න.

 

පසුපස

පසුපස සඳහා ඉදිරිපස ගොල්ෆි වක්‍රයෙන් අඟල් 1 1/2ක් වැඩි කරන්න.

F සිට අඟල් 1ක් වැඩි කරන්න. පසුපස ද කපා ගන්න.

 

මැසීම

බ්ලවුසයේ අංශය මසන්න. උරපටි හා ෆ්‍රිල් එක තබා බයස් පටියක් ද තබා කරවටේ මසා පෙරළා ගන්න. කලිසමේ ගොල්ෆි මසන්න. කලිසම ඉණට තබා මසාගන්න. වාටිය මසා අංශය මසන්න.

 

උපදෙස්

ප්‍රවීණ උපදේශිකා දිලුෂි දසනායක