ඔබේ නිර්මාණ අපට දෙන්න විකිණීමේ වගකීම අපි භාර ගන්නවා

ජාතික ශිල්ප සභාවේ සභාපති සම්පත් ඇරැහැපොළ
නොවැම්බර් 7, 2022

 

ශ්‍රී ලංකේය නිර්මාණකරුවන්ගේ නිර්මාණ සඳහා නිසි වටිනාකමක් හා වෙළෙඳපොළක් සකස් කර දීමට දශක ගණනාවක් පුරා වෙහෙසෙන ශිල්ප සභාව දේශීය හස්ත කර්මාන්තකරුවන්ට විශාල ශක්තියකි. මේ දැවැන්ත අභියෝගයට පිළියමක් ලෙසින් ජාතික ශිල්ප සභාව Crafting Ceylon නමැති වැඩසටහන හඳුන්වා දෙන්නේ දේශීය නිර්මාණ ශිල්පීන්ගේ නිෂ්පාදන විදේශීය වෙළෙඳපොළට රැගෙන යෑමේ අපේක්ෂාවෙනි. ශිල්ප සභාවේ වර්තමාන සභාපති සම්පත් ඇරැහැපොළ මහතාගේ මඟපෙන්වීම යටතේ ආරම්භ කළ මේ ව්‍යාපෘතිය ගැන දැන ගැනීමේ අපේක්ෂාවෙන් පසුගියදා අපි ඔහු හමු වූයෙමු.

 

සභාපතිතුමනි.... ජාතික ශිල්ප සභාවේ සභාපතිවරු කාලයෙන් කාලයට වෙනස් වෙනවා. ඒ වෙනත් වීමත් සමඟම ඔබ ආයතනයේ ආරම්භ කරන ව්‍යාපෘති වැඩසටහන් වෙනස් වෙනවා. ඇත්තටම 'ජාතික ශිල්ප සභාව' ලෙස මේ ආයතනයට බැරි ද කාලයෙන් කලයට වෙනස් වෙන ව්‍යාපෘති සැකසීමට වඩා නිර්මාණ ශිල්පින්ට ඔවුන්ගේ නිර්මාණ විකුණා ගැනීමට, දැනුම ලබා ගැනීමට, පුහුණුව ලැබීමට හැකියාව ඇති පොදු ජාතික වැඩසටහනක් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට.

මම මේ ආයතනයේ සභාපතිවරයා වෙන විට ලක්සල හරහා නිෂ්පාදන අලෙවි කළේ 'ලක් ශිල්ප' කියන ව්‍යාපෘතියක් ලෙසයි. ඒ වැඩසටහන ආරම්භ කළේ මීට පෙර සිට සභාපතිවරයා. මේ ව්‍යාපෘතිය ඉතාම සාර්ථක හොඳ වැඩසටහනක්. අපි 'ලක් ශිල්ප' කියන වැඩසටහන යටතේ තවත් ගම්මාන බිහි කළේ ඒ වැඩසටහන හොඳ නිසයි. නමුත් මේ වසරේ ජනාධිපති සම්මාන උළෙල අපි පවත්වන්නේ නැත්තේ ඒ වැඩසටහන හොඳ නැති නිසා නෙවෙයි. මේ වෙලාවේ මෙවැනි සම්මාන උත්සවයක් පැවැත්වීමට සංවිධානය කිරීමට අපට අභියෝග රාශියක් තිබෙන නිසායි. විශාල මුදලක් වැය වන දැවැන්ත කටයුත්තක්. ඒ නිසයි අපි මේ වසරේ ඒ උත්සවය සංවිධානය නොකළේ.

 

ඒ වෙනුවට කිසියම් වැඩසටහනක් ඔබ සැලසුම් කළා ද?

Crafting Ceylon කියන වැඩසටහන අපි මේ අවුරුද්දේ සැලසුම් කළා. මේ වැඩසටහනේදී සම්පූර්ණයෙන් අපි අපේක්ෂා කරන්නේ අපේ නිර්මාණකරුවන්ගේ නිෂ්පාදන විදේශ රටවල අලෙවි කිරීමයි. මේ වෙලාවේ අපේ රටේ විදේශ සංචාරක කර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩා වැටිලා... යාන්තමින් හිස ඔසවමින් තිබෙන්නේ. අපේ දේශීය වෙළෙඳපොළේ ගැනුම්කරුවෝ මේවා මිලදී ගන්න ප්‍රමුඛත්වය දෙන්නේ නෑ. ඒ නිසා විදේශීය රටවලට අපේ නිෂ්පාදන රැගෙන යන්න ඕනේ. ඒ නිසා මේ වසරේ ඊට වඩා වෙනස් සංකල්පයක් යටතේ පාවිච්චියට ගත හැකි අපේ නිෂ්පාදන ලෝක වෙළෙඳපොළට හඳුන්වා දෙන තරගයක් පවත්වනවා. මේ තරගාවලියේ දී අපි සම්මාන ලබා දෙන්නේ නැහැ. අපි කරන්නේ ඔවුන්ට තමුන්ගේ නිෂ්පාදන අලෙවි කිරීම සඳහා විදේශීය ඕඩර් ලබා දීමයි. අපේ නිර්මාණ වෙළෙඳපොළේ 'ලක් ශිල්ප' ලෙසින් ඒ නිෂ්පාදන අලෙවියට අවස්ථාව ලබා දෙනවා.

 

ඒ වැඩසටහන කොහොමද සංවිධානය කරන්නේ?

අපට විදේශීය රටවල විශාල ගැනුම්කරුවන් සංඛ්‍යාවක් සිටිනවා. අපි ඔවුන්ට අපගේ විදේශීය තානාපතිවරුන් හරහා ආරාධනා කළා. දැනට අපි රටවල් 20ක් සමඟ සාකච්ඡා කරලා තියනවා. රටවල් කිහිපයකට සාම්පල් දැනටමත් යවලා තියෙන්නේ. අපි විදේශීය ප්‍රදර්ශනවලට අපේ නිෂ්පාදන ඉදිරිපත් කළා. ඊට අමතරව අපේ නිර්මාණකරුවන්ගේ නිෂ්පාදන ඇතුළත් සාප්පු කිහිපයක් විවෘත කිරීමට උත්සාහ කරනවා. අපේ මූලික ඉලක්කය වෙලා තිබෙන්නේ ලෝක වෙළෙඳපොළ ජය ගැනීමයි.

මේ Crafting Ceylon කියන තරගය සඳහා ඕනෑම නිර්මාණයක් කරන නිර්මාණකරුවකුට හෝ නිර්මාණකාරිනියකට ඉදිරිපත් වීමට අවස්ථාව තිබෙනවා. දැනට අපට විශාල ප්‍රමාණයක් අයදුම්පත්‍ර ලැබී තිබෙනවා. අපි මේ තරගය සඳහා තරග අංශ වෙන් කර තිබෙන්නේ මේසයට තබන භාණ්ඩ, මුළුතැන්ගෙයි උපකරණ, විසිත්ත කාමර භාණ්ඩ, බිත්ති අලංකරණ උපකරණ, උද්‍යාන අලංකරණ වැනි අංශ කිහිපයක් යටතේය. අපට ප්‍රයෝජනයට ගත හැකි ඕනෑම උපකරණයක් නිර්මාණ කරලා ඉදිරිපත් කරන්න පුළුවන්. මේ තරගය සඳහා නොවැම්බර් මාසයේ අවසානය දක්වා අයදුම්පත් භාර ගන්නවා.

තරගය සඳහා නිර්මාණ භාර ගැනීම නොවැම්බර් මාසය අවසානය දක්වා පැවැත්වෙනවා. දෙසැම්බර් මාසයේදී පළාත් මට්ටමින් තෝරා ගැනීම සිදු කරනවා. ඒ සඳහා දිවයින පුරාම විවිධ නිෂ්පාදනය කරන කාන්තාවන්ට ආරාධනය කරනවා. මේ තරගය සඳහා එක්වන්න.

 

මේ තරගයට ඉදිරිපත් වීමට අමතරව විවිධ නිෂ්පාදන නිර්මාණය කරන අපගේ කුඩා පරිමාණයේ නිර්මාණ ශිල්පිනියන්ට ඔවුන්ගේ නිෂ්පාදන අලෙවි කරගන්න ක්‍රමයක නැද්ද?

ඒ සඳහා ඔබ මුලින්ම ලියාපදිංචි විය යුතුයි. ඔබගේ ප්‍රදේශයේ ව්‍යාපෘති නිලධාරීන්ගේ මාර්ගයෙන් ලියාපදිංචි වුණාට පස්සේ ඔවුන්ගේ නිර්මාණ හොඳ මට්ටමේ පවතිනවා නම් අපි අලෙවිය සඳහා භාර ගන්නවා. 'ලක් ශිල්ප' අලෙවිහල් හරහා ඔවුන්ගේ නිර්මාණ අපි අලෙවි කරනවා. ඊට අමතරව lakshilpa.com කියන වෙබ් අඩවිය හරහා ඔබගේ නිර්මාණ අලෙවියටත් අප අවස්ථාව ලබා දීලා තියනවා. අපි භාණ්ඩය අලෙවි කර දීමේ වගකීම භාර ගන්නවා. මෑතදී අපි ආරම්භ කළ වරාගොඩ සෙරමික් භාණ්ඩ අලෙවි මධ්‍යස්ථානය ඉතාම සාර්ථකයි. එහි මැටි සහ සෙරමික් භාණ්ඩ අලෙවිය සිදු කරනවා.

 

ඇත්තටම දැන් බොහෝ නිර්මාණ ශිල්පීන්ට තමුන්ගේ නිර්මාණ අලෙවිය තමයි ගැටලුව. ඔබ ගන්නා මේ උත්සාහයේ ප්‍රතිඵලයක් තිබෙයිද?

අපි ළඟට ඕනෑම හොඳ නිර්මාණයක් කරලා ගෙනාවොත් අනිවාර්යෙන්ම භාර ගන්නවා. හොඳ නිර්මාණකරුවෙක් නම් විකුණා ගැනීම ගැටලුවක් නොවෙයි. ලක් ශිල්ප ඒ සඳහා හොඳම අවස්ථාවක්. හස්ත කර්මාන්තය හස්ත මුල්ලෙන් ගලවා හස්ත කර්මාන්තයක් කළ යුතුයි. දැන් මේ කර්මාන්ත ගෙවල්වල කුස්සියේ මුළුවලට කොටු වෙලා තියෙන්නේ. ඒ නිසා අපට ලෝකය ජය ගන්න බැරි වෙලා. අපට නිර්මාණ දෙන්න බැරි තරම් ඉල්ලුමක් ලෝක වෙළෙඳපොළේ තියෙනවා. මේක කර්මාන්තයක් ලෙස කළොත් හොඳ ආදායමක් ලබන්න පුළුවන්. Crafting Ceylon 2022 කියන්නේ ඒ සඳහා හොඳම අවස්ථාවක්. අපි ඔබට මේ තරගය හරහා හොඳ අපයනකරුවෙක් කරනවා. craftscouncil.gov.lk කියන වෙබ් අඩවියට පිවිසෙන්න. තරගය සඳහා ඔබටත් ඉදිරිපත් වෙන්න පුළුවන්. ඔබටත් හොඳ ව්‍යවසායිකාවක් වෙන්න මෙය හොඳම අවස්ථාවක්.

 

ඡායාරූප - දුෂ්මන්ත මායාදුන්න