උත්සව සමයට ගැළපෙන කදිම ගවුමක්

පෙබරවාරි 13, 2023

 

අලුත් ඇඳුම් අඳින්න අපි හැමෝම දක්වන්නේ පුදුම කැමැත්තක්. ඒ වුණත් මේ පවතින ආර්ථික රටාව ඒ කැමැත්තට හරස් කපනවා වෙන්න පුළුවන්.

හැමදාම ඔබට ළැබැඳි තරුණී නිරතුරුවම අලුත්වන විලාසිතා ඔබට ගෙන ඒමට සූදානම්. ඔබේ දෑතින්ම මසාගත් මේ නැවුම් චාම් විලාසිතාව උත්සව අවස්ථාවන්ට කදිමට ගැළපෙන විලාසිතාවක් බවත් කිව යුතුමයි. මෙවැනි ඇඳුමක් ඔබ විසින්ම නිර්මාණය කරගැනීම හරහා අලංකාරය මෙන්ම ඔබ පිළිබඳ අභිමානයද ගොඩනගා ගන්න පුළුවන්.
මේ අලංකාර ඇඳුම හරියටම මසන්නේ කොහොමදැයි අපි දැන් බලමු.

අවශ්‍ය මිමි -

උරහිස, පපු වට, ඉණ දක්වා උස, ඉණ වට, කර ගැඹුර, සායේ උස

මිමි සැකසීම -

උරහිස දෙකෙන් බෙදන්න. පපු වට හතරෙන් බෙදා එයට අඟල් 1ක් එකතු කරන්න. ඉණ දක්වා උසට අඟල් 1ක් එකතු කරන්න. ඉණවට හතරෙන් බෙදා අඟල් 1/2ක් එකතුකරන්න. කර ගැඹුරට අඟල් 1/2ක් එකතු කර සායේ උසට අඟල් 1ක් එකතු කරන්න.

රෙදි කපා ගැනීම -
මෙම ගවුමේ උඩ කොටස සඳහා රෙදි යාර 1 ක් ද සායා කොටස් දෙක සඳහා රෙදි යාර 5ක් පමණ අවශ්‍ය වේ. උඩ කොටස සඳහා බ්‍රොකේඩ් වැනි රෙදි වර්ගයක් ද සාය  කොටස සඳහා වැලන්ටිනා හෝ බාබරා වැනි රෙදි වර්ගය ද යොදා ගත හැකියි.
ප්‍රථමයෙන් මෙහි කඳ කොටස සඳහා පතරොමක් භාවිත කළ යුතුයි. එසේ නොමැති වුණොත් අපතේ යන රෙදි ප්‍රමාණය වැඩි වේ. ඒ නිසා ප්‍රථමයෙන් මෙහි කඳ කොටසේ ඉදිරිපස කොටස 1 රූප සටහනේ දක්වා ඇති පරිදි කඩදාසියක පිටපත් කර ගන්න.
ඒ සඳහා කඩදාසියක් ගෙන දෙකට නමා එම නැම්ම මුදුනේ සිට හරහට උරහිස දෙකෙන් බෙදා ලකුණු කර එතැන් සිට පහළට අඟල් 1 1/2ක් පහත් කර නැම්ම මුදුන දක්වා යාකර උරහිස සකසා ගන්න.
A සිට පහළට අඟල් 7 1/2ක් පහත් කර C ලකුණු කරන්න. C සිට ඉදිරියට පපු වට හතරෙන් බෙදා එයට අඟල් 1ක් ලකුණුකර රූප සටහනේ පෙනෙන ලෙස අත් කට හැඩය ඇඳගන්න. ඉන්පසු ඉණ රේඛාව ඇඳ එයි ඉණ  හතරෙන් බෙදා එයට අඟලක් එකතුකර F හා D යාකරමින් අංශය හැඩවන ලෙස ඇද ගන්න.
කඳ කොටසේ ඉදිරිපස හැඩය 1 රූප සටහනේ පෙනෙන ලෙස ඇඳ එම හැඩය කපා ඉවත්කර ගන්න. 2 රූප සටහනේ පෙනෙන ලෙස පසුපස කොටස ඇඳ කපා ගන්න.

සාය කොටස කැපීමේදී

මෙහි වාටියේ පළල විශාල කර ගැනීමට අවශ්‍ය බැවින් හාෆ් ෆ්ලෙයාඩ් දෙකක් එකට එකතුකර ගැනීමෙන් ද මෙම සාය සකසා ගැනීමට හැකි වේ. මෙම නිර්මාණය අවශ්‍ය පරිදි වෙනස්කර ගැනීමට හැකිවන අතර මෙහි දිග විලුඹ දක්වාම දික්කර ගත යුතු වේ.

කඳ කොටස මසා ගැනීමේදී
ප්‍රථමයෙන් ඡායාරූපය දෙස හොඳින් බලා එහි මසා ඇති ආකාරයටම කඳ කොටස මසා ගන්න. අවශ්‍ය ආකාරයට කඳ කොටසේ ඉදිරිපස අලංකරණය කරගත හැකියි.

සාය සැකසීමේදී

හාෆ් ෆ්ලෙයාඩ් සාය පරිදිම නමා කපා ගන්න. සායේ ඉහළ ඉණ වට හතරෙන් බෙදා ඉහළ සහ පහළට ලකුණුකර සාය කපා ගන්න. මෙසේ හාෆ් ෆ්ලෙයාඩ් දෙක කපා කඳ කොටසේ ඉහළට ඡායාරූපයේ පෙනෙන ලෙස ඉදිරිපස ෆ්ලීට් තබමින් තමන්ට අවශ්‍ය පරිදි නිර්මාණය වෙනස් කරමින් කඳ කොටසේ පහළට මෙම සාය කොටස තබා මසා ගන්න.
ඡායාරූපය සහ රූප සටහන් දෙස හොඳින් බලා මසා ගැනී‍ෙමන් මෙය වඩා නිවැරදිව මසා නිමකර ගත හැකි වේ.

 

උපදෙස් - මැහුම් නිර්මාණ ශිල්පී
ප්‍රණීත් රණවීර

 

 

ඡායාරූප - ශාන් රූපස්සර