රිබන් එම්බ්‍රොයිඩරි කලාවෙන් මලින් පිරි අපූරු ගෙවත්තක්

මාර්තු 13, 2023

එම්බ්‍රොයිඩරි කලාවන් අතර සුන්දරම නිර්මාණ බිහි කරන රිබන් එම්බ්‍රොයිඩරි, ලාංකේය කතුන් වඩාත් ප්‍රිය කරන්නකි. දැක්වෙන මේ මලින් පිරුණු අපූරු ගෙවත්ත නිර්මාණයකර ඇත්තේ ද රිබන් එම්බ්‍රොයිඩරි කලාවෙනි. කුෂන් කවර, ඇඳ ඇතිරිලි, මේස රෙදි මෙන්ම බිත්ති සැරසිලි හා ඇඳුම් හැඩ කිරීමටත් මේ මෝස්තර භාවිත කළ හැකියි.

 

බලන්න මේ අපූරු නිර්මාණය දිහා. ෆොගෙට් මි නොට් මලින් සහ රෝසමලින් පිරුණු සොබා සිරිය, නිස්කලංකබව පිරුණු අපූරු ගෙවත්තක්. බිත්ති සැරසිල්ලක් සඳහා අපූර්ව නිර්මාණයක්වන මෙය රිබන් එම්බ්‍රොයිඩරි කලාවෙන් ඔබටත් මෙලෙස නිර්මාණය කරගත හැකියි.  ඔබේ දෑතින්ම නිම කරන මෙවන් නිර්මාණයක් හිතවතෙකුට හිතවතියකට තිළිණ කරන්නත් කදිමයි.

 

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

රෝස, ළා නිල්, ළා දම්, කහ, මැජන්ටා, ඔලිව් ග්‍රීන්, ඩාර්ක් ග්‍රීන් සහ ලීෆ් ග්‍රීන් යන වර්ණයන්ගෙන් බේබි රිබන්

සුදු, දුඹුරු, අළු, ළා කහ, ළා කොළ සහ කහ කපු කැරැලි නූල්

ඕෆ් වයිට් ලිනන් රෙදි කොටසක්

රිබන් එම්බ්‍රොයිඩරි රාමුවක්

කතුරක්

නො. 18 - 22 ට්‍රැපැස්ට්‍රි ඉදිකටු

ලා කොළ, අළු සහ සුදු වර්ණයන්ගෙන් රෙදි පින්තාරු තීන්ත

නො. 3 - 5 පැතැලි බුරුසු

 

නිර්මාණය කරගන්නා ආකාරය

 

පළමුව අඟල් 16 × අඟල් 18 ප්‍රමාණයේ ලිනන් රෙද්දක් ගෙන නො. 05 පින්සල භාවිත කරමින් රූපයේ දැක්වෙන පරිදි ළා කොළ සහ  කහ වර්ණය මිශ්‍ර වී ඇති ආකාරයට ෂේඩ් කර වර්ණ ගන්වා ගන්න. නිවෙස සඳහා අළු සහ සුදු වර්ණය භාවිත කරමින් නිවෙස වර්ණ ගන්වා ගන්න. මෙලෙස වර්ණ ගැන් වූ ලිනන් රෙද්ද පැය 24ක් වියැළෙන්න තබා, හොඳින් අයන්කර එම්බ්‍රොයිඩරි රාමුව දමා ගන්න. ඈතින් පෙනෙන නිවෙසේ වහලය සඳහා දුඹුරු සහ කැරැලි නූල් දමා කෙළින් මැස්මෙන් පුරවා ගන්න. එහි බිත්ති සඳහා අළු පැහැ කැරලි නූල් දමා කෙලින් මැස්මෙන් මසා ගන්න. ළඟින් පෙනෙන නිවෙස සඳහා ද අළු පැහැ කැරලි නූල් පොටවල් ඊට භාවිත කරමින් කෙළින් මැස්මෙන් මසා ගන්න.

ඈතින් පෙනෙන ගස් සහ අතු කොළ පැහැ කැරලි නූල්වලින් මසා ගන්න. එහි කොළ සඳහා කොළ වර්ණ ප්‍රභේද කපු කැරලි නූල්වලින් ෆ්‍රෙන්ච් නොට්ස් මසා ගන්න. නිවෙසට යන පාර දෙපස ඇති මල් පාත්තියේ මල් මැසීම සඳහා රූපයේ දැක්වෙන පරිදි රිබන්වලින් ෆ්‍රෙන්ච් නොට් දමා ගන්න.

වටේ ඇති ෆොගෙට් මී නොට් මල් මැසීම සඳහා ළා නිල් බේබි රිබන් වර්ණයෙන් රිබන් ස්ටිච් එකෙන් පෙති පහේ මල මසා සම්පූර්ණ කරගන්න. ඒ ආකාරයෙන්ම වටේට ඇති මල් වර්ග සඳහා රෝස, ළා දම්, ළා නිල් වර්ණයන්ගෙන් රිබන් යොදා ගනිමින් මසා ගන්න. මලේ මැද රේණු සඳහා තැඹිලි සහ කහ කපු කැරලි නූල්වලින් ෆ්‍රෙන්ච් නොට්ස් දමා ගන්න. අවශ්‍ය තැන්වලට කොළ වර්ණයේ ප්‍රභේදවලින් රිබන් ස්ටිච් එකෙන් කොළ දමා අලංකාර කරගන්න. මේ අලංකාර බිත්ති සැරසිල්ල ඔබේ නිවෙසේ විසිත්ත කාමරය හෝ නිදන කාමරය හැඩකර ගන්නත් යොදා ගන්න පුළුවන්.

 

 

උපදෙස්

අත්කම් උපදේශිකා

ශලින්ද්‍රි අලෝකා