රිබන් එම්බ්‍රොයිඩරි කලාවෙන් කාමරයට රෝස මල් බඳුනක්

ඔක්තෝබර් 2, 2023

එම්බ්‍රොයිඩරි කලාවන් අතර සුන්දරම නිර්මාණ බිහි කරන රිබන් එම්බ්‍රොයිඩරි, ලාංකේය කතුන් වඩාත් ප්‍රිය කරන්නකි. මෙහි දැක්වෙන නිර්මාණය මසා ඇත්තේ ද එම කලාවෙනි. කුෂන් කවර, ඇඳ ඇතිරිලි, මේස රෙදි මෙන්ම බිත්ති සැරසිලි හා ඇඳුම් හැඩ කිරීමටත් මේ රිබන් එම්බ්‍රොයිඩරි කලාව භාවිත කළ හැකියි.

බලන්න මේ අපූරු නිර්මාණය දිහා... රෝස මල් පිරි අපූරු මල් බඳුනක්. විසිත්ත කාමරය සරසන අපූර්ව නිර්මාණයක්වන මෙය ඔබටත් පහසුවෙන් නිර්මාණය කරගත හැකියි.

සුදු ලිනන් රෙදි හෝ අමුරෙදි

කළු, සුදු, නිල්, අළු වර්ණවල රෙදි පින්තාරු තීන්ත

අඟලක් පළල රතු වර්ණයෙන් සෙටින් රිබන්

තද කොළ, ළා කොළ පාටින් බේබි රිබන්

කොළ සහ කහ කැරැලි නූල්

පින්සල්

කතුරක්

නො. 20 ට්‍රැපැස්ට්‍රි ඉඳිකටු, සාමාන්‍ය ඉඳිකටුවක්

එම්බ්‍රොයිඩරි රාමුවක්

පැන්සලක්

 

පළමුව දළ සටහනක් සකසා ගන්න. ඉන්පසු රෙදි කොටස ගෙන සම්පූර්ණ පසුබිමට දී ඇති වර්ණ මිශ්‍ර කරමින් වර්ණා ගන්වා වියළා ගන්න. මල් බඳුන ද ඇඳ අදාළ වර්ණ ගන්වා වියළාගෙන අයන් කරන්න. ඒ මත මල්, කොළ, පොහොට්ටු, නටු අවශ්‍ය ස්ථාන ලකුණු කරන්න. රාමුවට රෙදි කොටස දමා මැසීම ආරම්භ කරන්න.

රතු වර්ණවල අඟලේ රිබන් ගෙන ලූප් මැස්ම භාවිතයෙන් ලොකු මල් මසාගන්න.

මෙහිදී ඇතැම් ලොකු මල්වල මැද රතු පාට අඟලේ අඟල් 10 පමණ ප්‍රමාණයේ කොටසක් ගෙන ෆෝල්ඩඩ් රෝස මල් සකසා මලේ මැදට තබා මසා ද, අනෙකුත් මල්වල මැද ළාකොළ පාටින් බේබි රිබන් ගෙන ප්‍රංශ ගැටයක් මසාගන්න. ඒ ප්‍රංශ ගැටය වටේට කහ පාට කැරලි නූල් ගෙන ප්‍රංශ ගැට මසාගන්න.

නටු සඳහා කොළ පාට අඟල් 1/2 රිබන් එකක් අඹරවා කෙළින් මැස්මෙන් මසන්න.

පොහොට්ටු රතු අඟලේ රිබන්වලින් කෙළින් මැස්මෙන් ද, මනිපත්‍ර කොළ බේබි රිබන්වලින් කෙළින් මැස්මෙන් ද, පොහොට්ටුවල ඉදිරියෙන් කොළ පාට කැරලි නූල් තනි පොටක් ගෙන කෙළින් මැස්මෙන් මසාගන්න.

අඟලේ 1/2 කොළ වර්ණ රිබන් ගෙන මල් අතරින් කොළ පෙනෙන සේ රිබන් මැස්මෙන් කොළ මසාගන්න.

බිම පතිත වී තිබෙන මල් පෙති ද පෙනෙන පරිදි මසා ගන්න.

උපදෙස් -

බිස්මි රංගනා කුරුවිට ආරච්චි

අත්කම් නිර්මාණ ශිල්පිනී,