නිව්යෝර්ක් විලාසිතා සතිය හෙල්ලූ රේශ්මා කුරේශි

අප්‍රේල් 3, 2023

අපි හැමෝටම අපිටම කියලා සන්තක වෙච්ච හීන තියෙනවා. ගෑනු ඉපදෙන්නෙම මිටි ගනන් හීන පොදි බැඳගෙන. ඒත් අපි මිටි ගහගෙන උපන්න හීනවලින් අපි ජීවත් වෙච්ච කාලය ඇතුළත කීයක් නම් හීන සැබෑ කරගන්න පුළුවන් වුණාද කීයක් නම් හීන.. හීනයක්ම

වෙලා ඔහේ වැළලිලා ගියාද කියලා ඔබේ හඳවතෙන් අවංකවම ප්‍රශ්න කරලා බැලුවොත් හිත සනසගන්න පුළුවන් තරමේ උත්තරයක් හොයා ගන්න පුළුවන් වෙන්නේ කීයෙන් කී දෙනාට ද..

අපි විහින්ම පොත්ත, පාට, ලස්සන, කැත, ජාතිය, කුලය, දුප්පත්, පෝසත් වගේ කිසිම වැදැගැම්මකට නැති වැට කඩුළු පෝලිමක් බැඳගෙන නිදහසට කරුණු කාරණා හදාගෙන අපේ හීන උපන්ගේම වලලා දාද්දි තමුන්ට මොනදේ සිද්ධ උනත් තමුන්ගේ හීනෙට යන්න හයිය තියෙන යකඩ ගැහැනුත් මේ ලෝකේ නැතිවාම නෙවෙයි. ඒ වගේ ගැහැනුන්ගේ කතා ඇතැම් විට ඔබේ හීනෙට යන්න ඔබට අඩුපාඩු වෙලා තිබ්බ ධෛර්‍ය ඌන පූරණය කරාවි.

රේශ්මා කුරේශි බානු කියන්නේ තාමත් ගැටවර වයසේ පසු වූනාට වයසට වඩා හිත හයිය යකඩ කෙල්ලෙක්. රේශ්මා උපදින්නේ ඉන්දියාවේ මුම්බායේ, ටැක්සි රියැදුරෙකුට දාව පවුලේ බඩපිස්සිය ලෙසිනුයි. ගැටවර වියේ එළිපත්තේ උන්නු රේශ්මටත් ඔබට මට වගේම කප්පරක් හීන තිබ්බා. සමනලියකට වගේ සැහැල්ලු ජීවිතයක් තිබ්බා. ඈ දවස පුරාම කත්‍රිනා කයිෆ්ගේ චිත්‍රපටි බැලුවා. ඒ විදිහට කොණ්ඩේ පීරුවා. ඇඳුම් ඇන්දා. කවම කවදාහරි නිරූපිකාවක් වෙලා බොලිවුඩයේ තරු අතරේ දිලිහෙන්න ඈටත් හීනයක් තිබ්බා.

ඒත් මීට වසර කිහිපයකට පෙරාතුව එකමත් එක දවසක ඇගේ ජීවිතයම කනපිට පෙරලුනා. ඇගේ මස්සිනා අතින් ඈ ඉතා අවාසනාවන්ත ලෙස ඇසිඩ් ප්‍රහාරයකට ගොදුරු වුනේ ඇගේ 10 වසර ප්‍රවේශ විභාගයට යන අතරමගදීයි. ඇගේ සියලු සහින දැවී අළුවෙද්දී ඇයට ලෝකය දකින්නට ඉතුරු වුණෙත් එක ඇසක් පමණයි.

 

ඒත් ඉතුරු වුණු එක ඇසින් පවා රෙශ්මා ආපසු හීන බලන්න පටන් ගත්තා. "Make Love Not Scars" NGO සංවිධානයේ රියා ශර්මා එක ඇසින් ලස්සන ලෝකයක් දකින්න රේශ්මට හයිය එකතු කරලා දුන්නා. ආපහු ආපු රේශ්මා ඊළඟට අඩිය තියන්නේ නිරූපණ ක්ෂේත්‍රයට. ඈ හරි හරියට අනෙකුත් ජේත්තුකාර සුරූපිනියන් එක්ක එකම වේදිකාවක් උඩ හිට ගන්නවා. අභිමානයෙන් යුතුව සිය තනි ඇස් පියන් පත ඔසවලා ලෝකය දෙස බලා සිටිනවා. සියල්ල සිදු වුණේ යහපතටයි කියලා ඈ තරයේම විශ්වාස කරනවා. ඈ කිසිවක් ගැන බිඳක්වත් පසුතැවිලි වෙන්නේ නැහැ. අතීතයේ අඳුරු ලප වසාගෙන ඈ සඳක් මෙන් දීප්තිමත්ව බැබලෙනවා. ඇසිඩ් ප්‍රහාරයක ගොදුරක් ලෙස ඈව හඳුන්වනවාට පවා රේශ්මා අකැමැතියියි. එසේම ඇය කිසිවිටෙකත් මුහුණ වසාගෙන තම පිලිස්සුණු මුහුණ ලෝකයාගෙන් සඟවා ගන්නේ නැහැ. ඒ වෙනුවට ඈ වෙනදාටත් වඩා සුන්දරව වඩාත් විශ්වාසයෙන් යුතුව ලෝකයා හමුවේ පෙනී සිටිනවා.

 

මම එතැනින් එළියට ඇවිත් ඉවරයි. ඉතිං එහෙනම් මං කොහොමද තවදුරටත් ගොදුරක් වෙන්නේ. ඇත්තටම මට දැනෙන්නේ මං ඉස්සරටත් වඩා හුඟක් ලස්සනයි කියලා. ඒ සිදුවීම මාව ලස්සන කියන වචනයේ නව මානයකට අරන් ගියා. ලස්සන විය යුත්තේ ඔබගේ පෙනුම නොවෙයි ඔබගේ හදවතයි.

 

රේශ්මට දැනෙන දේ ඇගේම වචනවලින් ඈ ලෝකයා හමුවේ ප්‍රකාශ කළේ එහෙමයි.

 

කවුරුන් කෙසේ කොයි ලෙසක කීවත් ජීවිතයේදී තම හිස මතට වැටි කිසිවකින් නොසැලී තම හීන පසුපස්සෙන් පියාසර කර රේශ්මා කුරේශි බානු නම් වූ සමනලිය, නැවත නැවතත් තමුන් මේ ජීවිතය දිනා ගත් වග ලෝකයට සපත කරනු ලැබුවා. නිව් යෝර්ක් විලාසිතා සතියේදී සුරූපී සනී ලියෝන් හා හරි හරියට හැඩවී වේදිකාව මත සිටගත් ඈ ලෝකයේ දහසකුත් එකක් කතුන්ගේ උපන්ගෙයිම මියදෙන සිහිනවලට පණ දෙන්නට අවැසි ධෛර්ය ඔවුනගේ කේශාන්තයේ සිට පාදාන්තය දක්වාම කාන්දු කරවූයේ අනෙකෙකු නොව තමාටම ජීවමාන නිදසුනක් ලෙස ගෙන හැර දක්වමිනි.