මට මුණගැසුණු ආදරණීයම මිනිසා ඔහුයි

රොෂාන් රණවනගේ ආදරණීය බිරිය කුෂ්ලානි කියන කතාව
දෙසැම්බර් 19, 2022

 

රොෂාන් හැම තිස්සෙම කියන්නෙ අපි මේ හැමදේම කරන්නෙ දරුවෝ වෙනුවෙන්. ඒ නිසා දරුවන්ගෙ නිසි වයසට ලබා දිය යුතු අත්දැකීම් එයාලට දිය යුතුයි කියලා.

රොෂාන් රණවන කියන්නෙ අපේ රටේ සිටින ජනප්‍රිය වගේම කඩවසම්ම නළුවෙක්. හිරිපොද වැස්ස සිනමා නිර්මාණය හරහා සිනමාවට ගොඩවැදුණු ඔහුට මෙරට තරුණ තරුණියන්ගේ සිහින කුමාරයා බවට පත්වීමට වැඩි කාලයක් ගත වුණේ නෑ.

 

ඒත් රොෂාන්ගෙ හිතේ සදාකාලයට ලැගුම් ගන්න ඉඩ තිබුණේ කුෂ්ලානිට විතරයි. කුෂ්ලානි රණවණ රොෂාන්ගෙ ආදරණීය බිරිය. කුඩා කාලයේ මිතුදම ආදරයකට පෙරළිලා අනතුරුව රන් හුයෙන් දෑඟිලි බැඳුණු රොෂාන් - කුෂ්ලානි විවාහ දිවියට දැන් වසර 08ක් ගත වෙලා. මේ වනවිට ඔවුන් පුංචි පුතෙකුගේ ආදරණීය මවුපිය යුවළක්.

 

ඒ සෙනෙහෙබර කැදැල්ෙල් ෙතාරතුරු සමඟ අද එයයි - මමයි විශේෂාංගයෙන් අපි කුෂ්ලානි හමුෙවමු.

 

කොහොමද කුෂ්ලානි. මේ දවස්වල මොනවද කරන්නේ?

"වෙනදා වාගේම හොඳින් සතුටින් ඉන්නවා. මේ දවස්වල නම් තරමක් කාර්යබහුලයි. විශේෂයෙන්ම නත්තල හා සම්බන්ධ වැඩසටහන් කිහිපයකටම රොෂාන් සම්බන්ධ නිසා එයා හරිම කාර්යබහුලයි. ඒ වගේම අපි නත්තල වෙනුවෙන් සූදානම් වෙනවා. කෑම බීම හදන වැඩ වාගේම නිවෙසේ සැරසිලි කටයුතුත් සිදු කරනවා. ෙම් දවස්වල කාලය ගත ෙවන්ෙන් එෙහමයි."

ඒ කියන්නෙ රොෂාන් කලා කටයුතු සමඟ කාර්යබහුල නිසා කුෂ්ලානි නිවෙසේ වැඩ කටයුතුවලට හිරවෙලා.

"අනේ එහෙම නෑ. රොෂාන් කොයිතරම් කාර්යබහුල වුණත් මම සහ දරුවා වෙනුවෙන් කාලය වෙන් කරන කෙනෙක්. අපි තුන්දෙනාම එකතු වෙලා තමයි

 

මේ සැරසිලි කරන්නෙ. මොකද රොෂාන් හැම තිස්සෙම කියන්නෙ අපි මේ හැමදේම කරන්නෙ දරුවෝ වෙනුවෙන්. ඒ නිසා දරුවන්ගෙ නිසි වයසට ලබා දිය යුතු අත්දැකීම් එයාලට ලබා දිය යුතුයි කියලා. මොකද පරිපූර්ණ ජීවිතයකට ඒ අත්දැකීම් එයාලට හරිම වටිනවා. ඒ නිසා පුතාවත් එකතු කරගෙන තමයි අපි දෙන්නා මේ වැඩ කරන්නේ. තාත්තා කෙෙනක් වගේම ස්වාමිපුරුෂයෙක් විදිහටත් රොෂාන් යුතුකම් ඉටුකරන කෙනෙක්."

 

රොෂාන්ට රසට උයන්න පුළුවන්ද?

"ඇත්තටම කිවුවොත් එයාට උයන පිහන වැඩ නම් මොකුත්ම බෑ. හැබැයි මම කෑම හදනකම් ළඟට වෙලා කතා කර කර ඉන්නවා. ඒ වෙලාවට තමයි අපි ගොඩක් දේවල් කතා කරන්නේ."

 

ඒ වුණාට ගෙදර ලස්සනට තියාගන්න නම් එයා මහන්සි වෙනවාලු නේද?

"උයන්න බැරි වුණාට එයාට හරි අපූරුවට අස් කරන්න පුළුවනි. මේ ගෙදර ලස්සනට තියාගන්න මටත් වඩා උනන්දු රොෂාන් තමයි. විශේෂයෙන්ම ගෙවත්තෙ වැඩවලටත් හරිම කැමැතියි. ලස්සනට ගහකොළ වවලා පරිසරය පිරිසුදුව තියාගන්නෙ එයා තමයි. ඒ හැමදේම රොෂාන් පුතාටත් කියා දෙනවා."

 

මවු පදවිය ලැබුණු ඔබට රොෂාන් දක්වන සහාය ගැනත් කතා කරමු.

"පුතා ලැබුණු මුල් දවස්වල මට හරිම මහන්සියි. බබාට කිරි දෙන්න ඕනේ නිසා හරියට නින්දක් නෑ. ඉතින් රොෂාන් තමයි බබාගේ රෙදි පවා හේදුවේ. මට පුදුමාකාර සහයෝගයක් දුන්නා. මාත් එක්ක නිදි වරාගෙන වැඩ කරමින් තාත්තා කෙනකුගේ අලුත් යුතුකම් වගකීම් හරි අපූරුවට ඉටු කළා."

 

විවාහ දිවියට වසර 8ක් වුණාට ඔය දෙදෙනාගේ මිත්‍රත්වය ඉතා පැරැණි එකක්.

 

"රොෂාන්ගෙ අාච්චිගෙයි, සීයාගෙයි නිවෙස තිබුණේ අපේ නිවෙස අසල. ඒ නිසා පුංචි කාලේ ඉඳන් අපි දෙන්නා දන්නවා. මගේ හොඳම යාළුවා, සහෝදරයා, විශ්වාසවන්තයා වුණෙත් ඔහු. කෙටියෙන්ම කිවුවොත් ඒ කාලේ ඔහු මගේ ජීවිතයට නැතිවම බැරි පුද්ගලයෙක් වුණා. මගේ දුක සැප බෙදාගන්න, මෙයා නැතිව ජීවිතේ ගෙනියන්න බෑ කියලයි මම හිතුවේ. ඉතින් ඇත්තටම මම හරිම වාසනාවන්තයි ඒ නැතිවම බැරි පුද්ගලයා මගේ ස්වාමියා වීම පිළිබඳව."

 

ඔබ ඔහුගේ කැමැතිම ගුණාංගය ගැනත් කතා කරමු.

"රොෂාන්ගෙයි, මගෙයි මේ තේරුම් ගැනීමට ඉවහල් වුණේ එයාගේ අවංකකම. ඇත්තටම ඒ අවංක බව අපේ ආදරය විවාහය දක්වාම රැගෙන ගියා."

 

 

ඔබේ සැමියා මේ රටේ ජනප්‍රිය පුද්ගලයෙක්. විශේෂයෙන්ම තරුණියන්ගේ ආකර්ෂණයට ලක්වන කෙනෙක්. ඒ ගැන පුංචි හෝ දුකක්, ඊර්ෂ්‍යාවක් දැනිලා නැද්ද?

 

"කිසිම දුකක් දැනිලා නෑ. ඕනෑම දෙන්නෙක් එකිනෙකාට ආකර්ෂණය වෙන්නෙ පළමු දැකීමෙන්. නමුත් අපි දෙන්නා පුංචි කාලේ ඉඳන් දැන හඳුනාගෙන හොඳ අවබෝධයකින් ජීවිතය පටන් ගත්තු අය. විශ්වාසය, එකිනෙකා තේරුම් ගැනීම මේ දේවල් හරි ඉහළින් අපේ ජීවිත තුළ තියෙනවා. අපි 2003 වසරේ තමයි ආදරය කරන්න පටන් ගත්තේ. 2023 ට අවුරුදු 20ක්. ඉතින් මේ බැඳීම පුදුමාකාර විදිහට ශක්තිමත්. මම කවුද කියන්න රොෂාන් දන්නවා. එයා කවුද කියන්න මම දන්නවා. ඒ නිසා අපිට අපි එපා වෙන්නෙත් නෑ. ඇත්තටම රොෂාන් ජනප්‍රිය චරිතයක් වීම මට ආඩම්බරයක්. මොකද හැමෝම ආදරය කරන සැමියෙක් ලබන්න බිරියක් වාසනාවන්තයි."

 

දෙන්නගෙන් වැඩියෙන්ම තරහා යන්නේ කාට ද?

"සමහර වෙලාවට හිතෙනවා එයාට වඩා මට තරහා යනවාදෝ කියලා. ඒ කොහොම වුණත් තරහා ඉක්මනින් නිවාගන්න රොෂාන්ට පුළුවනි. ඇත්තටම අපි තරහා වෙලා ඉන්නෙ බත් හැළිය ඉදෙනකම් විතරයි."

 

රොෂාන්ව ඔයාට දැනෙන්නෙ කොහොමද?

"ජීවිතයේ කාලයෙන් කාලයට පුද්ගලයන් වෙනස් වෙනවා. ඒත් රොෂාන් මට හමුවුණු පුංචි කාලේදි දැනුණු හැඟීමම තමයි තව අදටත් දැනෙන්නෙ. ඒ ආදරය, බැඳීම, ළැදියාව දිනෙන් දින වැඩි වෙනවා මිස අඩුවක් නෑ. හොඳම යාළුවා, සහෝදරයා, පෙම්වතා දැන් ඉතින් ආදරණීය සැමියා සහ මගේ දරුවාගේ පියා. ඔහු මේ පොළොවේ පය ගහලා ඉන්න සංවේදී ආදරණීය චරිතයක්."

 

 

ශාන් රූපස්සර