ස්වභාවදහමේ පණිවිඩය අපි ක්‍රිකට් ජර්සියෙන් ලෝකයටම ගෙනගියා

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ජර්සිය නිර්මාණය කිරීමේ නායකත්වය දැරූ අශන්ති කියන කතාව
ජනවාරි 2, 2023

 

ක්‍රිකට් ක්‍රීඩකයන් වටා ළබැඳී ක්‍රිකට් ලෝලීන් පිරිසක් සිටියි. දසත පුරා විසිරී පැතිරී සිටින මේ ක්‍රිකට් ලෝලින් ඇස් පිල්ලමකුදු නොගසා විටෙක ඔවුන් බෝලයත් පිත්තත් සමඟ කරන හරඹය දෙස බලා සිටින්නේ පුදුමාකාර ඕනෑකමකිනි.ළෙන්ගතු බවකිනි.

 

ශ්‍රී ලාංකේය නාමය ලොව බබළවන ක්‍රිකට් ක්‍රීඩාවත් ඒ සඳහා ජීවය දෙන ක්‍රීඩකයින් සඳහා වූ නිල ටීෂර්ටය නැතිනම් ජර්සිය නිර්මාණය කිරීමට කණ්ඩායම් නායකත්වය ලබාදෙමින් ඒ වෙනුවෙන්ම කැප වන ඇය අශාන්ති පෞල් නම් වන්නීය. Mas active හි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනියක ලෙස කටයුතු කරන ඇය අප හඳුනාගන්නේ ඇඟලුම් ක්ෂේත්‍රයේ කැපී පෙනෙන කාන්තා රත්නයක් ලෙසිනි.

 

ඔබේ පවුල් පසුබිමින් ඇඟලුම් ක්ෂේත්‍රය හා සම්බන්ධ සමීප අත්දැකීමක් ලැබෙනවද?

ඇත්තටම ඔව්. මට ඒ සඳහා හිමි මඟෙහි දොරටු විවර වන්නේ තාත්තා නිසා.

මම උසස් පෙළ දක්වාම ඉගෙන ගත්තෙ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයෙන්. උසස් පෙළට වාණිජ විෂය ධාරාවන් හැදෑරූ මට උපාධිය හැදෑරීම දක්වා වන මඟ ඇරෙන්නේ තාත්ත නිසා. ද්විත්ව උපාධියක් එකවර හැදෑරු මං තොරතුරු තාක්ෂණය (information technology) සහ ව්‍යාපාර පරිපාලනය (business administration)

උපාධියෙ, පළමු වසර ලංකාවේ හදාරල ඉතිරි අවුරුදු කිහිපය සඳහා එංගලන්තයේ Keele විශ්වවිද්‍යාලය සඳහා ඇතුළු වෙනවා. උපාධිය හදාරන අතරතුර අර්ධ කාලීන රැකියා කිහිපයක්ම කරනවා. මේ හැමදෙයක්ම මම හරිම ආසාවෙන් කළේ. ASDA කියලා ආයතනයක warehouse එකක ෆෝක් ලිෆ්ට් එකක් පවා මම පැදවූවා. උපාධිය ලැබූ පසු මම ASDA කියන ආයතනයේම clothing section එක සඳහා පුරප්පාඩුවකට අයදුම්පතක් දැම්මා. ඒ සඳහා අයදුම් කළ හැකි වූයේ උපාධිධාරින්ට පමණයි. ඒ රටේ දී working experience උපරිමෙන්ම ගන්න ඕන කියලා හිතුවා. Fashion industry එකේ departmental stores හි සේවය කරන්නේ ඒ අනුව. debenhams, mother care, wool worths හැම අංශයකම වැඩ කරලා හොඳ පළපුරුද්දක් ලැබුවා.

Fashion industry එක පැත්තට නෑකම් කියන දෙයක් කරන්නයි මට හැම විටම ඕන වුණෙ. මම කරපු මූලික උපාධිය මේ හැම තැනකදීම වැදගත් වූවා. රැකියා අවස්ථා බොහොමයක් ලැබුණේ ඒ හරහා. ලංකාවට පැමිණෙන මම Merchandiser කෙනෙක් ලෙස වැඩ අරඹනවා. ඒ Merchandiser කෙනෙක් ලෙස කිසිදු අත්දැකීමක් නොලබාම. ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඇඟලුම් ආයතනයක් වන Mas Holding සඳහා එකතු වීම මා ලැබූ භාග්‍යයක්.

අලුත් නිෂ්පාදන නිපදවන අංශයක් කෙරෙහි ආසාවක් ඇති වුණේ ඒ ඔස්සේ. Linea Intimo කියන තැනටයි මම මුලින්ම යොමු වුණේ. මේ 2010 දී. මම Merchandising කරලා ඊට එහා ගිය වගකීම් එවකට දැරුවා. 2021 අග භාගයේ Mas Active එකේ product and design කියන තනතුර ලැබෙන්නේ මගේ අත්දැකීම් හරහා.

මගේ තාත්තා ඇඟලුම් ක්ෂේත්‍රයට සම්බන්ධ රැකියාවක නියුතුව සිටි අයෙක්.

 

ක්‍රිකට් ජර්සිය නිර්මාණය කිරීමේ කටයුත්ත ඔබ අතින් සිදු වෙන්නෙ කොහොමද?

ක්‍රිකට් ජර්සිය නිර්මාණය කිරීමේ වගකීම අපි කණ්ඩායමක් වෙත පැවරෙනවා. ඒ සඳහා නායකත්වය ගෙන කටයුතු කරන්නේ මම.

ස්වභා දහමත් සමඟ යා වුණු තේමාවන් මේ සඳහා යොදා ගත්තේ. කණ්ඩායමක් ලෙස අපි මේ වගකීම ඉතා ඕනෑකමින් ඉටු කරන්නෙ. ඒ අනුව ඉතාම ගුණාත්මක තත්ත්වයේ නිමැවුමක් Mas වෙතින් ක්‍රිකට් කණ්ඩායම වෙත තිළිණ වූවා. මෙහිදී අපි ක්‍රිකට් තරග පැවැත්වෙන රට, පැවැත්වෙන වේලාවන්, ඒ රටේ දේශගුණය, කාලගුණය, සුළඟේ වේගය, වාතාශ්‍රයේ ඇති වතුර බිඳු ප්‍රමාණය (ආර්ද්‍රතාවය) ගැන පවා සැලකිලිමත් වූවා. ක්‍රීඩකයන් මහන්සි වෙද්දී ඔවුන්ට දහඩිය දමන අන්දම එකිනෙකට වෙනස්. සිදුරු ප්‍රමාණ තුනක් මෙම ජර්සියෙ අඩංගුයි. මෙය විද්‍යානුකූලව නිමවූවක්. ක්‍රීඩකයන්ට දමන දහඩිය ජර්සිය මතුපිටට ගෙන එන්නයි නිමවා තිබෙන්නේ. එය සිරුරට උරා ගන්නවා වෙනුවට ජර්සිය මතුපිටට ගෙන ඒම ක්‍රීඩකයාට පහසුවක්.

පරිසර හානිය පිළිබඳ කතා කිරීමට අපි මේ ජර්සිය යොදා ගත්තා. හිම කඳු කඩා වැටීම,(Global worming) පරිසර විනාශයක් වූ පසු පොළව මත හැදෙන ඉරිතැලීම් මතුපිට සිටන් බලද්දී පෙනෙන අන්දම, කැලෑ විනාශයෙන් සිදු වූ විපාක .... මෙවැනි තේමාවන් ඇතුළත් කරන්නට හැකි වූවා. පියකරු බව සමඟින් සොබාදම් මාතාවට දක්වන ආදරය පිළිබඳ පණිවිඩය සමාජගත කරන්නට ලැබීම සතුටක්.

 

වෘත්තිමය ජීවිතය සම්බන්ධයෙන් ඔබ තෘප්තිමත් ද?

ඇත්තෙන්ම ඔව්. පුංචි කාලේ ඉඳන් තිබුණු ආසාවක් Mas Holding හරහා ඉටු කර ගන්නට මට හැකි වුණා. ඒ සඳහා උපරිම නිදහස අපට ලැබෙනවා. ඒ නිදහසේ ප්‍රයෝජනය ගෙන වඩාත් හොඳම දේ ගුණාත්මක අන්දමින් දායාද කිරීමේ කර්තව්‍ය වෙනුවෙන් මම සැදී පැහැදී සිටිනවා

 

වෘත්තිමය ජීවිතයේ කැපී පෙනෙන කාන්තාවකට පෞද්ගලික ජීවිතය සාර්ථක කරගැනීමට පවුලේ උදවියගේ සහය අත්‍යවශ්‍යමයි. මෙය ඔබට දැනෙන්නේ කවර අන්දමින් ද?

මට අවුරුදු තුනහමාරක පුංචි පුතෙක් ඉන්නවා. මගේ සැමියා ව්‍යාපාරිකයෙක්. මගේ වෘත්තීයේ වගකීම් මැනැවින් තේරුම් ගනිමින් සැමියා ලබාදෙන සහයෝගය අති විශිෂ්ටයි. මගේ පියා මේ වන විට අපි අතර නැහැ. ඔහු සිටියා නම් වෘත්තිමය ජීවිතයෙන් මා ලැබූ අත්දැකීම් පිළිබඳව සෑහෙන්න සතුටට පත් වේවි. අම්මා,අක්කා, අයියා මේ හැමෝම මම තැබූ සෑම පියවරකදීම මගේ පසුපස සිටියා. ඉතාම නිරවුල් මනසකින් යුතුව වෘත්තිමය ජීවිතයත් පෞද්ගලික ජීවිතයත් සමබරව ගෙන යන්න ලැබෙන්නේ ඔවුන් නිසයි.

 

 

ඡායාරූප - ශාන් රූපස්සර