වර්ෂ 2025 ක්වූ May 12 වැනිදා Monday
මේ කතාව හැම අම්මා කෙනෙක්ම දුවත් එක්ක බලන්න ඕන

මෙම චිත්‍රපටය නිර්මාණය වූ ආකාරය අප ඇය සමඟ කතා කළ යුතුය. අම්මා කෙනකු ලෙස. මෙන්ම නිර්මාණශීලි ලේඛිකාවක ලෙස ද ඈ අපට හමුවී ඇත. ඇය ක්‍රිෂාන්ති කුලසූරිය නම් වන්නීය. මේ මදර් ලංකා ගැන ඈ කියන කතාවයි.
ඔබ මේ චිත්‍රපටයට වස්තුබීජය කර ගන්නෙ අම්මා...
හැමදාටමත් අම්මා - හැමදේටමත් අම්මා.. ලෝකයේ හැම භූමියකටම පොදු කතාවක්.
අපේ වගේ තුන්වෙනි ලෝකයේ රටවල අම්මා කියලා කියන්නේ දේවතාවියක් වත් සුරංගනාවියක් වත් නෙමේ. ඇය කර්කශ පොළොවේ පැළවෙච්ච මහ ලොකු ගහක්. ඒ ගහ කොන්දේසි විරහිතව හැමදාම දරනවා. මෙන්න මේ උත්තරීතර ගුණය කැටිවුණ අම්මා කියන සුවිශාල මාතෘකාව තමයි මම Mother Lanka චිත්‍රපටයේ කතා තේමාවට යොදා ගන්නෙ. අම්මා කියන්නෙ විශ්වයක්. ඒ එක කොටසක එක කුඩාම තැනක් ගැන තමයි අපි නිර්මාණශීලිව කතා කරන්න උත්සාහ දරල තියෙන්නෙ. මම හිතනවා ලෝකයේ හැම අම්මා කෙනෙකුටම මේ කතාව දැනේවි කියල.
මේ චිත්‍රපටයේ කතා කරන්නෙ මාතෘ ගුණය ගැනද?
මේ මදර් ලංකා චිත්‍රපටය පුරාම කියන්නෙ දරුවෙක් කියන්නේ අම්මෙක්ට රටක් කියලා.
ඇය ගැබ් ගන්නේ ස්වාභාවිකවද කෘත්‍රිමවද එහෙමත් නැත්තම් ද දූෂණයකින්ද සමූහ දූෂණයකින්ද කියලා ඇයට අදාළ නැ.
ඇගේ කුස පිළිසිඳ ගත්දා පටන් ඇය කලලය ඇගේ කොටසක් කරගන්නවා, දරුවා බිහිකළාට පසුවත් ඒ කොටවල කැබැලි අංශු ඉතිරි වෙලා ඇති කියලා හිතනවා.
හැබැයි තාත්තලා සියලු බැඳීම් හදාගන්නේ ලේ උරුමයට ප්‍රවේණිගත බවට පරම්පරා නම්බුවට, හැබැයි දවසක කෙනෙක් කිව්වොත් ඔහුට දාව නෙමේ දරුවා ඉපදුණේ කියලා.
ගොඩක් උසාවිවල DNA වාර්තා ඉල්ලන්නේ තාත්තලා.
එහෙම බැලුවම අම්මෙක් ඊට වඩා දහස් ගානක් උඩින් ඉන්නේ. ඒක තනතුරක් නිසාම නෙමේ ඒක පාරමිතාවක් නිසා. ඒ පාරමිතාව මෙම චිත්‍රපටය පුරා අපිට කියවන්න පුළුවන්.
ඔබ කොහොමවද මේ සංකීර්ණ මාතෘකාව චිත්‍රපටයට සංක්ෂිප්ත කර ගත්තේ?
මදර් ලංකා කියන්නේ හැඟීම් කන්දක්. අම්මලා වගේ අම්මලාටත් තාත්තලා වගේ අම්මලටත් කොහේදි හරි තමන්ව හමුවෙනවා.මෙන්න මේ වගේ කාරණා තමයි මම නිර්මාණශීලිව හිතුවේ. ඇත්තටම අම්මා කෙනෙක් විදියට බලල ඒ කෝණයෙන් ආයෙමත් සමාජය දිහා බලල සමාජයේ ඉඳන් ආයෙමත් මව්වත් හදවත් දිහා බලල කළ පරීක්ෂණයකින් තමයි මට මේ පිටපතට ජීවයක් ලැබුණේ. මේක විශ්වය වගේ ලොකු මතෘකාවක අල්ප මාත්‍රයක්.
ඔබ මේ කතාවේදී ඔබ අපිව වෙනත් දිශානතීන්ට ගෙන යනවා.
අම්මා හෝ කාන්තාව කියන සෞන්දර්යාත්මක නිර්නායකයකට පෞරුෂය කියන සාටකය පලඳවන්න ඕනේ. මොකද ඇය නිසයි රටක් ජාතියක් පණ ගැහෙන්නේ.
තිරපිටපත ලියනකොට මා ගොඩක් සංකීර්ණ හැගීම් එකතු කර ගත්තා. සිනමා කෘතියක් කියන්නේ හැඟීම් ගොන්නක්. ඒක පාරවන්න පුළුවන් සාර්ථක අධ්‍යක්ෂවරයෙක්ට. මම හිතන්නේ ඒකට අනූෂ සංජීව එදිරිමුනි ඉහළම සාධාරණයක් කළා.
අම්මාවරුන් දෙදෙනෙක් එක්ව දෙවිදියක ආදරයකින් කුඩා දැරියක් ගොඩනඟන කතාවක් මේක, දරුවෙක්ට ආදරේ කරන්න ගර්භාශයකින් බිහිකරන්නම ඕනෑ නෑ. ඒ කාරණාව හරියටම ඒත්තු ගන්වන්න මම මේ කතන්දරයට විවිධ අංග එක් කළා.
මනෝවිද්‍යාව ඇසුරෙන් මා කළ පර්යේෂණාත්මක ඇගයීම විවිධ චරිත හරහා සිනමාරූපීව හැඩගැන්වූවා.
අම්මෙක් දුවෙක් එක්ක ඇවිල්ල නැරඹිය යුතු පමණක් නොව, සංවාදයකට ගෙනයා යුතු තේමාවක් අපි රැගෙන ඇවිත් තිබෙනවා. ඒ කතාව සමාජ ගත කිරීමට නිර්මාණකරුවන් ලෙස අපට වගකීමක් තිබෙනවා. අපි මේ ඉටු කරන්නේ ඒ වගකීම.
මම හැම අම්මෙකුටම ආරාධනා කරනවා දුවත් එක්ක ඇවිත් මේ කතාව බලන්න කියල.