බහිරව පූජාවක් අවශ්‍ය නොවන අවස්ථාවක කරන නවග්‍රහ පූජාව

මාර්තු 31, 2021

ජීවිතයට ජ්‍යෝතිෂය

 

තමන්ගේම කියා නිවෙසක් ඉදිකර ගැනීම සෑම කෙනෙකුගේ ම සිහිනයක්. ජීවිත කාලයම හරිහම්බ කරපු ධනය වැයකරලා, එහෙමත් නැත්නම් විශාල ණය මුදලක් අරගෙන ගොඩනඟන නිවහන නිවහනක් නොවී අපායක් වුණොත්.

එහෙම වෙන්නෙ කොහොමද? සැබැවින්ම නිවෙසක් තැනීමේදී වාස්තු විද්‍යානුකූලව එය සිදු කළ යුතුය. එසේ නොවුණහොත් සැබැවින්ම තමන්ගේ සිහින මන්දිරය තමන්ගේම හිස මත පතිත වෙන්න පුළුවන්.

‘ජීවිතයට ඡ්‍යොතිෂය’ ලිපියෙන් අප මේ උත්සාහ කරන්නේ ඔබට ජීවිතයේ ඕනෑම දෙයකදී ඡ්‍යොතිශාස්ත්‍රාණුකූලව නිවැරැදිව කටයුතු කරන්නේ කෙසේදැයි පහදා දෙන්නයි.

 

* බහිරව පූජාවක් තැබීමකින් තොරව ඉදිකළ නිවෙසකට නවග්‍රහ පූජාවක් කළ පමණින් සියලු වස් දොස්, අදෘෂ්‍යමාන බලපෑම් නැතිව යනවාද?

“සෑම ඉඩමකම බහිරව පූජාවක් කළ යුතුයි කියලා නියමයක් නැහැ. කවුරු හරි එහෙම කියනවා නම් ඒ මුදල් ගරා ගැනීමේ අරමුණෙන් කරන දෙයක්.

බහිරව පූජාවක් අවශ්‍ය නොවන භූමියක නිවෙසක් ඉදිකළාට පස්සේ නවග්‍රහ පූජාවක් කිරීම නම් හොඳයි.

නමුත් මේ පූජා දෙකෙන් ම නිවෙස ඉදිකිරීමේදී සිදුවී තිබෙන වාස්තු දෝෂ මඟ හරවන්නට බැහැ. ඒ සඳහා වෙනම ප්‍රතිකර්ම කළ යුතුයි.”

* වාස්තු දෝෂ මඟ හැරවීමට නිවෙසේ වහලය වෙනස් කිරීම්, විවිධ ස්ථාන කඩා බිඳ දැමීම් ආදිය සිදු කිරීමට උපදෙස් දෙන අවස්ථා තියෙනවා. එය විශාල අමතර වියදමකට යාමක් නේද?

ඉඩම මිලදී ගැනීමේ ඉඳලම නිවැරැදිව කටයුතු කිරීම තමයි හොඳම විදිහ. ශාස්ත්‍රය මතුපිටින් අත ගෑ අයගේ උපදෙස් අනුව කටයුතු කිරීමට යාමෙන් හෝ තමන් හිතුමතයට කටයුතු කිරීම නිසා දෝෂ සහිත නිවෙසක් ඉදිවීමට තිබෙන ඉඩ කඩ වැඩියි.

දැන් අහපු ප්‍රශ්නය ගත්තත් ඒ වගේ තමයි. කඩා බිඳ දැමීම්, වහලය ගැලවීම් ආදිය යෝජනා කරන්නෙත් අර විදිහෙ අයම තමයි.

ශාස්ත්‍රය මනාව ප්‍රගුණ නොකළ සහ පළපුරුදු නොමැති උදවිය.... මෙවැනි දෙයට පිළියම් ශාස්ත්‍රය තුළම තියෙනවා. සරල වෙනස් කිරීම් මඟින් දෝෂ මඟහැරවීමට පුළුවන්. කලාතුරකින් තමයි තරමක් විශාල වෙනසක් කරන්න වෙන්නේ.”

* යමක් වුණාම කරදරයට පත් වෙලා පිළියම් හොයනවාට වඩා පූර්ව ආරක්ෂක ක්‍රියා මාර්ග අරගෙන තිබීම හොඳයි

* නිවෙසකට ආරක්ෂක මුට්ටි එල්ලීම, භූමියේ හතර කොණ ආරක්ෂා කිරීම, දෙහි කැපීම වගේ දේවල් වලින් බලාපොරොත්තු වෙන්නේ මොනවාද?

“ඒත් ඉතින් දෝෂ මඟහැරවීම, අදෘෂ්‍යමාන බලපෑම් වලින් ආරක්ෂාවීම, වස් දොස් කැපීම සහ සෞභාග්‍යය උදාකර ගැනීම ඒ තුළින් බලාපොරොත්තු වෙනවා.”

වාස්තු දෝෂ හෝ වෙනත් කැපී පෙනෙන බාධක තත්ත්ව නැතිනම් එවැනි දේ කිරීම අනවශ්‍ය බවද ඔබ කියන්නේ?

“ජීවමාන පුද්ගලයෙක් හෝ අදෘෂ්‍යමාන බලවේගයක් හෝ අපිට අනවින, කොඩිවින කරන්නේ කොයි මොහොතෙද කියලා අපි දන්නෙ නැහැනෙ.

වාස්තු දෝෂ කියන කාරණාව නම් පේන්න තියෙන දෙයක්. ඒ නිසා මම ආයෙමත් කියන්නෙ යමක් වුණාම කරදරයට පත් වෙලා පිළියම් හොයනවාට වඩා හොඳයි පූර්ව ආරක්ෂක ක්‍රියා මාර්ග අරගෙන තිබීම. එතකොට හිත නිදහසේ වැඩ කරගෙන යන්න පුළුවන්.”

වාස්තු විද්‍යා කියන කාරණය බටහිරින් ලැබුණු දෙයක් කියලා කියන අයත් ඉන්නවා....

“ලෝකයේ ඉපැරණිම ශිෂ්ටාචාරයනෙ මොහෙන්ජදාරෝ සහ හරප්පා කියන්නෙ. මේ ගැන තිබෙන පොත පත කියවා බලන්න. මේ නගර දෙකේම තියෙන්නේ විශිෂ්ට වාස්තු ඉදිකිරීම්. ඒ අතර මහල් ගොඩනැගිලි, පල්දෝරු පද්ධති, ජල පරිවහනය පොදු ජනයාගේ නිවාස, ප්‍රභූ වාසස්ථාන ආදියෙන් පරිපූර්ණයි.

අද කාලෙ මහ උජාරුවට කතා කරන Roof Top Swmming Pool වගේම ස්නානාගාර එදා උඩුමහල් තලවල තිබුණු බවට පැහැදිලි සාක්ෂි තියෙනවා. ඉතින් කොහොමද වාස්තු විද්‍යාව සහ ඡ්‍යොතිෂය බටහිරට අයිති දෙයක් කියන්නෙ. පැහැදිලිවම ඒවායේ මුල් උරුමය දකුණු ආසියාවේ අපිට අයිතියි. ඊටත් කලින්නෙ රාවණ පුරාප්‍රවෘත්ය. අපේ සමහර උදවිය ඒක හිතලුවක් කිව්වට, ඉන්දියාවෙ වර්තමාන විද්‍යාඥයන් සම්මන්ත්‍රණවල පවා කියනවනෙ රාවණ රජතුමාට තිබුණු ආකාශයානා ගැන. ඉතින් තවත් කවර කතාද? මේ ගැන කතා කරනවා නම් පොත් පෙළක්ම ලියන්න කරුණු තියෙනවා.

 

 

උපදෙස් - ඡ්‍යොතීර්කීර්ති, දේශමාන්‍ය, ආචාර්ය මාවනැල්ලේ

ජානක රත්නායක

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.