වර්ෂ 2025 ක්වූ June 09 වැනිදා Monday
මේ රේඛා තියේ නම් ඔයත් වාසනාවන්තයි

චතුරස්‍ර හස්තය හෙවත් හතරැස් අතෙහි අතුල් තලය බැලූ බැල්මටම හතරැස් ස්වභාවයක් පෙන්වයි. පුළුල් ඇඟිලි පිහිටන අතර මහපටැඟිල්ල මූලික හස්තයේ මහපටැඟිල්ලට වඩා මඳක් දිගුවේ.
කෙටි නිය පිහිටන අතර ඒවායේ දිග පළල සමාන වන බැවින් චතුරස්රාකාර ස්වභාවයක් ගෙන එයි. ඇඟිලි පුරුක් ද චතුරස්රාකාර වන බැවින් පෙට්ටි එකින් එක තැබුවාක් වැනි පෙනුමක් ලැබේ.
අතුල් තලය තද මාංසපේශීන්ගෙන් යුතු වන අතර අත්ලේ ඇති රේඛා අතරින් ශීර්ෂ රේඛාව මනාව කැපීපෙනෙන සේ පිහිටයි. අත්ලේ පිහිටන මණ්ඩලවලින් ගුරු මණ්ඩලය හා බුධ මණ්ඩලය මනාව පිහිටයි. මූලිකව සැලසුම් කරන ආකාරයටම කුමන දෙයක් වුව ද කිරීමටත්, නිම කිරීමටත් හපනුන් වන මෙවන් අත්ල හිමියෝ චින්තනයට වඩා තර්කයට දක්ෂ වෙති. හදවතට වඩා බුද්ධියට උසස් තැනක් දෙන බැවින් කරුණාවන්ත ගතිගුණ ප්‍රකට කරනුයේ අඩුවෙනි.
උත්සාහයෙන් ද, උනන්දුවෙන් ද, කටයුතු කිරීමට සුවිශේෂ හැකියාවක් ඇති ඔවුහු තමන් කරන්නට භාරගත් හෝ කරන්නට තීරණය කරගත් කටයුත්ත අනලස්ව අත
නොහරින උත්සාහයෙන් යුතුව අවසානය දක්වාම කරති.
ක්‍රියාශීලිභාවයෙන් යුතු බැවින් වැරදි ක්‍රියාවක යෙදුණ ද තමන් කළ ක්‍රියාවෙහි හොඳ නරක විමසා බලන්නේ එය ක්‍රියාත්මක කොට නිමවූ පසුය.
එබැවින් මෙවැනි අතක්
ඔබට පිහිටා ඇත්තේ නම් යමක් කිරීමට පෙර ඒ පිළිබඳව මනාව සිතා බලා එම කටයුත්ත ආරම්භ කළ යුතු බව සිත්හි ධාරණය කරගත යුතුය.
එසේම ඔබ නීත්‍යනුකූලය. සාධාරණය. සිතට එකඟ නොමැති කිසිදු ක්‍රියාවක නොයෙදෙන්නෙකි. එසේ වුවද ඇතැම් විට ඔබට වැරදීම් සිදුවිය හැක්කේ සිතුවිලිවලට වඩා ක්‍රියාත්මක වීමට මුල් තැන දෙන්නෙකු බැවිනි.
සමාජය නිවැරදි යැයි සම්මත නොකරන යමක් වුවද ඔබට නිවැරැදි බව ඒත්තු ගියහොත් යළිත් දෙවතාවක් නොසිතා එය ක්‍රියාත්මක කරන බැවිනි.
ඍජු අදහස් ඇති බැවින් බොහෝවිට තමා අවට සිටින්නන්ගේ ගෞරවයට පාත්‍ර වෙයි. එහෙත් මඳක් රළු පරළු හැසිරීමක් ඇති බැවින් ජනප්‍රියභාවයට වඩා ප්‍රසිද්ධිය දිනා ගනියි.
මෙවැනි අත්තල හිමියන් බොහෝවිට ගැළපෙන්නේ උගතුන් බුද්ධිමතුන්ගේ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ නිලධාරීන් වශෙයනි. නිවැරැදිව සාධාරණව වේගවත්ව ක්‍රියාකරන බැවින් එවැනි කටයුතු සඳහා සුදුසුම අත්හිමියා චතුරස්‍ර අත්හිමියා බැව් කිව යුතුමය.
සෑම දෙයක්ම තර්කයට බඳුන් කිරීමට යොමුවන චතුරස්‍ර හස්ත හිමියා උග්‍ර භෞතිකවාදී ස්වරූපයක් දරයි.
බොහෝ දේ මිථ්‍යාවන් ලෙස බැහැර කිරීමට පෙලඹෙයි. එහෙත් විචක්ෂණ ගති ලක්ෂණ උපතින්ම පිහිටා ඇති බැවින් ඔහු සෑම දෙයක් ගැනම සොයා බලන්නට
පෙලඹෙයි. ඔබ චතුරස්‍ර අත්හිමියෙකු නම් හොඳින් අවධාරණය කරගත යුතු කරුණක් වන්නේ තර්කයට බඳුන් කළ නොහැකි බොහෝ සත්‍ය ධර්මතාවන් ලොව තුළ පවතින බවයි.
චතුරස්‍ර අත්හිමියා නිබඳවම සැක කරයි. සැක කළ යුතු හෝ නොකළ යුතු සෑම තැනක්ම සැකයෙන් යුතුව සොයා බලන්නට පෙලඹෙයි. දූරදර්ශී ලෙස සිතන්නට නොපෙලඹෙන බැවින් ද, සිතුණු දේ වහා ක්‍රියාවට නඟන්නෙකු වන බැවින් ද මෙසේ ඇතිවන සැක
සංකා අනිටු පල ගෙනදීමට හේතු වීමට ද පිළිවන. ධනයට වඩා බලයට ගරු කරයි. එක් අතකින් සලකන විට හෙතෙම බලයට කෑදර අයෙකු හැටියට ද හැඳින්වීමට පිළිවන. සමාන ගතිගුණ ඇත්තන්ට ප්‍රියකරයි. ස්වාමීන්ට, එනම් ඉහළ නිලධාරීන්ට හෝ ආයතන ප්‍රධානීන්ට ළැදිවේ.
නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්නෙකු බැවින් ද තමන් පාඩු විඳ දරා ගනිමින් හෝ අණ පනත් නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට පෙලඹෙන්නෙකු බැවින් ද ඉහළ නිලධාරීන්ගේ පැසසුමට ලක්වෙයි.
කලට වේලාවට කටයුතු කරයි. විදේශ සංචාරයට ප්‍රිය වේ. අත්ලෙන් කියැවෙන සැඟවුණු රහස් ආත්මාභිමානයෙන් යුක්ත වේ. යමක් වටහා දීම ලෙහෙසි පහසු නොවේ. කුඩා දෙයක් වුවත් මහා මෙරක් සේ ගෙන විරුද්ධව තර්ක නඟන බැවින් කිසියම් අත්තනෝමතික බවක් ද ඔහු කෙරෙන් ප්‍රකට වෙයි. කෘෂිකාර්මික කටයුතු, නීති කටයුතු, යුද්ධ කටයුතු, ගණිත කටයුතු, රසායන ඖෂධ කටයුතු, ගෘහ නිර්මාණ සහ මාර්ග නිර්මාණ කටයුතු, පරිගණක හා විදුලිමය කටයුතු වැනි දේ කෙරෙහි යොමුවන මෙම හතරැස් අත්හිමියෝ සරල රුචිකත්වයක් සහිත අය වෙයි.
බටහිර සංගීතය, තද වර්ණ ප්‍රිය කරති. කියැවීම ලිවීම වැනි විෂයයන් කෙරේ ඉතා අඩු නැඹුරුතාවයක් දක්වති. රවි, කුජ, බුධ, ශනි වැනි ග්‍රහයින් සතු ලග්නවල බොහෝ විට උපත ලබන මෙම චතුරස්‍ර අත්හිමියන් අවංක, විශ්වාස කටයුතු, නීතිගරුක පුද්ගලයන් බව කිව යුතුය.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී ගුප්ත විද්‍යා ආචාරිණී
නිරංගා බාලසූරිය
LINE ART - නිලක්ෂි ආරියරත්න