කෝපයට මුල ගේන කාර්මික හස්තය

ජුනි 9, 2025

 

ඔබේ හස්ත රේඛාවෙන් ජීවිතයම කියවෙන බව දන්නවාද? හස්ත රේඛා විද්‍යාවෙන් බොහෝ දේ ඔබ ගැන කියන විශේෂාංග මාලාවේ තවත් එක් පියවරකි මේ. කාර්මික හස්තය බැලූ බැල්මට හඳුනා ගැනීමට හැකි වන්නේ අතෙහි මැණික් කටුවේ සිට එය කෙමෙන් පුළුල් වී විහිද යන ආකාරයෙන් පිහිටා ඇති හෙයිනි.

 

එනම්, මැණික් කටුව අසලට වඩා පාණි තලය ඉදිරියට යත්ම ක්‍රමයෙන් පුළුල් වෙයි. ඇඟිලිවල මුල සිහින්වට ද අග තරව ද පිහිටයි. ඇඟිලි තුඩු පැතලිව මහත්ව පිහිටා ඇති හෙයින් ඒවාට තාරා ‌හොටවලට සමාන පෙනුමක් ලැබී තිබේ. අත්ල මෘදු ස්වභාවයක් ගනී.

ඇතැම් විට අත්ල මෘදුතාවයෙන් ඉතා වැඩිව එල්ලා හැලෙන ස්වභාවයක් දරයි. එතරම්ම මෘදුව පවතින්නේ නම් හෙතෙම ඉක්මනින් කෝපයට පත්වන්නකු බැව් හස්ත රේඛා විද්‍යාවේ නියමය වී ඇත. කාර්මික හස්තයක් ඔබට පිහිටා ඇතොත් ඔබ උපතින්ම තීක්‍ෂණ කල්පනා ශක්තියකින් හෙබි අයෙකු බැව් කිව යුතුය. නොසන්සිඳෙන උල්පතක් සේ අදහස්වලින් පරිපූර්ණ වන ඔබ උසස් අදහස්වලින් මෙන්ම බලාපොරොත්තු අභිලාෂයන් සහිත අයෙකු වෙයි. ඔබේ එම උසස් අභිලාෂයන් මස්තකප්‍රාප්ත කරගැනීම සඳහා ක්‍රියාශීලි අන්දමින් කටයුතු කරන්නෙකු බව ද කිව යුතුය. කාර්මික හස්තයක් පිහිටි පුරුෂ තෙමේ තම අදහස් අන්‍යයන් ඉදිරියේ ප්‍රකාශ කිරීමට දැඩි කැමැත්තක් දක්වයි. සිය දැනුම ප්‍රදර්ශනය කිරීමේ කැමැත්ත ඔහු සතුව පවතින අතරම සැබවින්ම ඔහු දැනුම ඇත්තෙකු බැවින් අන්‍යයන්ගේ ගෞරවයට ද පාත්‍ර වෙයි.

 

පැරණි මතවලට ගරු සැලකිලි දැක්වීමේ අඩු ස්වභාවයක් මෙම පුද්ගලයන් තුළ පවතින අතර, නවමු දේ සොයා යාමේ ගවේෂණාත්මක කැමැත්ත නිබඳවම පවතියි. නව අත්හදා බැලීම් කරන්නට ද නව නිර්මාණ කරන්නට ද පෙලඹෙන අතර තම අභිලාෂයන් ඉටුවන තුරු නොපසුබට උත්සාහයෙන් ක්‍රියා කිරීමට ගජ හපනෙකි. අසාර්ථක වීම් මත ඔහු පසු බැසීමට පෙලඹෙන්නෙකු නොවේ. එය තව තවත් ශක්තියක් කොට ගනිමින් ධෛර්යවන්ත ලෙස ක්‍රියා කිරීමට හැකි ස්ථිරතාවයක් කාර්මික අත්ල හිමියන් තුළ පවතියි.

 

හෙතෙම බොහෝ පාරම්පරික කරුණු විවේචනයට භාජනය කරන්නේ ඇතැම් විට තමාට එයින් හානියක් වන බව දැන දැනමය. තම මතය ඉස්මතු කිරීමට ඔහු සටන් කිරීමට වුවද සූදානම් වේ. උපතින්ම පිහිටා ඇති ධෛර්යයත්, වෙහෙසට පත් නොවී දිගින් දිගටම කටයුතු කිරීමේ හැකියාවත් නිසා ජයග්‍රහණ හිමිකර ගනියි. ක්‍රිියාශීලී චරිතයක් වෙයි.ලද දැනුම ඉවහල් කොට ගෙන නව දැනුම සොයා යාම ඔහුගේ ක්‍රමයයි. කුමන දෙයක් වුව ද සහජ බුද්ධිය නිසාම ඉතා ඉක්මනින් අවබෝධ කර ගැනීමේ හපනෙක් වෙයි. එබැවින් සාර්ථක ජීවිතයක් ගත කිරීමට ඔහුට නිතැතින්ම අවස්ථාව හිමිවෙයි. එසේම සැප පහසුකම් පිළිබඳව ද අලංකාරත්වය සහ ක්‍රමානුකූල බව

 

පිළිබඳව ද දැඩි උනන්දුවක් දක්වන්නෙකි. තමන් කරන සියලු කටයුතු කිසියම් ක්‍රමානුකූල බවකින් යුතුව ද, අලංකාරයකින් යුතුව ද ඉටු කරන අතර, අපිළිවෙළට කටයුතු කරන්නන් සහ එවැනි වැඩ කටයුතු නිර්දය ලෙසම ප්‍රතික්ෂේප කරන්නෙක් වෙයි. බොහෝ කර්මාන්තාදියෙහි දක්‍ෂ වේ. දුටු දුටු දේ කිරීමෙහි උපන් නුවණක් සහිත වේ. ඇතැම් දේ කිසිදු ඉගෙනුමක් නොමැතිව වුවද ඉතා සාර්ථක අන්දමින් කරන්නට හැකියාව ඇත්තෙකි. නිතර වැඩක යෙදෙන ස්වභාවයක් ඇත්තෙකි. නිකරුණේ සිටින්නාසේ පෙනුණ ද ඒ කල්පනාවට බර වූ මොහොතෙහි පවා කිසියම් කටයුත්තක් පිළිබඳ සැලසුම් සකස් කරයි. කාර්මික කටයුතු, සංචාරක කටයුතු, ඉංජිනේරු කටයුතු, නාවික කටයුතු වැනි දේ පිළිබඳව පුළුල් අවධානයකින් යුතු වේ.

 

එකවර කටයුතු කිහිපයක නිරත වීමෙහි හැකියාව පිහිටයි. එබැවින් බොහෝ කටයුතුවලදී මූලිකත්වය දැරීමට සුදුසු වෙයි. අන්‍යයන්ගේ සිත් නොරිදවා කටයුතු කිරීමෙහි ද සමත් බැවින් පිරිස් පරිපාලනය කිරීමේ හැකියාවක් ද පවතියි. එහෙත් එය කරනු ලබන්නේ තම සේවක කාරකාදීන්ගේ සිත් දිනාගැනීම තුළින් මිස ඔවුන් දණ්ඩනයට පත් කිරීමෙන් නොවේ. පොදු යහපත සඳහා ක්‍රියා කිරීමට බෙහෙවින් කැමති දේශ හිතෛෂියකු, ජාති හිතෛෂියකු වන අතර, දේශ සංචාරයට නැඹුරු පුද්ගලයෙකු වේ. නිබඳවම අන්‍යයන් සැක කරන අතර, ඒ බව නොහඟවා සිටීමට ද සමත් වෙයි.

 

අලසයින් අප්‍රිය කරන හෙතෙම තම දූ දරුවන් වෙනුවෙන් ද නෑදෑයන් වෙනුවෙන් ද කළ යුතු සියලු යුතුකම් මනාව ඉටු කරන්නෙකි. මිල මුදල් ගනුදෙනු ඉතා සුපරික්‍ෂාකාරී ලෙස දක්‍ෂ අන්දමින් කටයුතු කිරීමෙහි සමතෙකි. යුක්තිය සාධාරණත්වය අගය කරන නමුදු කිසියම් අසාධාරණයක් සිදුවෙනු දුටුවහොත් චතුරස්‍ර අත් හිමියා මෙන් කඩාපැන කලබල කරන්නේ නැතිව සෙමෙන් වුවද සාර්ථක ක්‍රියා මාර්ගයකට අවතීර්ණ වේ. කලාත්මක දෙයට යම් ළැදියාවක් දැක්වුවද කලා ශිල්පියකු නොව වඩා උසස් තත්ත්වයකට පත්වීමේ භාග්‍යය හිමිව ඇත.

 

උපතින්ම තීක්ෂණ බුද්ධියක් පිහිටා ඇති බැවින් කරන කුමන කටයුතුක් වුවද සාර්ථක කර ගැනීමේ හැකියාව මෙම අත්ල හිමියාට ඇත. කුමන බාධාවක් පැමිණිය ද එය බාධාවක් ලෙස සලකා කලබලවීම ඔහුගේ සිරිත නොවේ. සියුම් උපක්‍රම මඟින් සියලු ප්‍රශ්න ජය ගැනීමට මොවුහු ඉතා දක්ෂ ලෙස සමත් වෙති.

 

 

 ‍ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී ගුප්ත විද්‍යා ආචාරිණී

නිරංගා බාලසූරිය

 

line art-නිලක්ෂි ආරියරත්න