වර්ෂ 2025 ක්වූ June 30 වැනිදා Monday
නීල ශිරා අල්ලේ-කරකවයි බඹරය වැල්ලේ

සියුම් හදවත් ඇති ඔබගේ අත්ල ඔබගේ පෞද්ගලිකත්වයයි. තමාගේ චරිත ලක්ෂණ හා ශක්‍යතාවන් විදහා දැක්වෙන සිතියමයි. ඉතින් අදත් මේ සිතියමේ තවත් පිටුවක් මෙලෙස දිග හරින්නෙමු.
චෛතසික හස්තය
ඔබගේ අත්ලෙහි ඇඟිලි පිළිවෙළින් උල්ව පවතින මෙන්ම, ඔබගේ අත්ල මෘදු මාංශ පේශීන්ගෙන් සමන්විත නම් එම හස්තය චෛතසික හස්තය නමින් හැඳින්වේ. එසේම ඉහත සඳහන් ලක්ෂණවලට අමතරව සියුම් රේඛා බහුල වශයෙන් ඔබේ හස්තය චෛතසික හස්තයකි.
චෛතසික හස්තයෙහි අතුළ තලය හෙවත් අත්ල වටකුරු හැඩයකින් පිහිටයි. එහි නීල වර්ණයෙන් යුතු සමෙන් විනිවිද පෙනෙන ශිරා මාර්ග බොහොමයක් මෙම අත්ලෙහි දැකිය හැකිය.
අනෙක් අත්වලට සාපේක්ෂව සැලකූ කල පාණී තලය හෙවත් ඔබේ අත්ල මෙහිදී කුඩාවට පිහිටයි. බොහෝ රේඛා එහි කැඩී බිඳී ගිය ස්වභාවයක් පෙනෙන අතර ජීවන, හෘදය හා ශීර්ෂ රේඛා දම්වැල් ආකාරයෙන් පිහිටා ඇත.
දැන් ඔබේ අත්ල දෙස බලන්න. ඉහත කරුණු අනුව ඔබේ හස්තය චෛතසික හස්තයක් නම් අද අපි කියන්නේ ඔබේ අත්ල ගැනයි.
මොවුන් තමා විසින් තනා ගත් මනෝ ලෝකයක ජීවත් වේ. අහස උසට ප්‍රාර්ථනා ගොඩනඟා ගනී. නමුත් ඒවා යථාර්ථයක් බවට පත්කර ගැනීමට වෙහෙස නොවේ. අන් අයට කරුණාවන්තය ඉතාම හිතැත්තෙකි. මෙම හේතූන් නිසා අනපේක්ෂිත කරදරයන්ට මුහුණ දිය හැකි බව මතක තබා ගන්න.
මෙවැනි හස්තයක් හිමි ඔබ ආගම, ධර්මය සහ ගුප්ත දේ පිළිබඳ දැඩි විශ්වාසයක් ඇත. එවන් දේකට අනවශ්‍ය ලෙස ගැතිවීමෙන් ඔබගේ ජීවිතයට ගැටලු ඇති විය හැකියි. එසේ අැතිවන විශ්වාසයන් හරහා මානසික ආතතීන් ඇති විය හැකි බැවින් සැලකිලිමත් වන්න.
චෛතසික හස්ත හිමියා බොහෝ විට තම සැබෑ ප්‍රතිරූපය සඟවා සමාජයේ දී ඊට බෙහෙවින් වෙනස් වූ ප්‍රතිරූපයක් මවා පාන්නෙකි. එවැනි මවාපෑම් නිසා ද ඔවුන් බොහෝ විට ප්‍රශ්න ඇති කොට ගනියි. ඉතා අහිංසක හදවතක් ඇති සරල ගති ලක්ෂණ සහිත ඔවුන් මෙවැනි මවාපෑම් නිසා බොහෝ අය දකින්නේ කපටි යටි සූත්තරකරුවන් ලෙසිනි.
කය වෙහෙසා වැඩ කටයුතු කිරීමට අකමැති මොවුන් බොහෝ විට ගුප්ත විද්‍යා ක්ෂේත්‍රවලට යොමුවන අයුරු දක්නට හැකි වේ. කෙසේ වුව ද පහසුවෙන් මුදල් උපයාගත හැකි ජීවිකාවල ඔවුහු නිරත වෙති.
පොත් පත් කියවීමට දැඩි ආශාවක් දක්වන ඉතා සංවේදී සිතුවිලි සහිත මොවුන් තුළ කලාකාමී හැඟීම් ද පවතින අතර නිර්මාණකරණයට යොමුවන්නේ ඉතාම අල්ප දෙනෙකු පමණි.
කිසිදු ක්ෂේත්‍රයක නිශ්චිතව නොරැඳෙන ඔවුන් ජීවිතය නමැති සැඩ පහරේ ඉබාගාතේ ගසාගෙන යන මලකට උපමා කළ හැකි වේ. අතෘප්තිකර ආශාවන්ගෙන් පිරී පවතින සිතුවිලි සහිත වූ ඔවුන්ට උත්සාහවන්ත වුවහොත් සාර්ථක ජීවිතයක් හිමිකර ගැනීමට හැකිවේ.
එහෙත් පිහිටි දක්‍ෂතාවලින් ප්‍රයෝජන ගෙන දියුණුව කරා පියනඟන්නන් ඉතා දුලබ බව හස්ත රේඛා විශේෂඥයන්ගේ මතයයි. චෛතසික හස්තයක් ඔබ සතු නම් ජීවිතය ජය ගැනීම සඳහා අලස බව දුරුකොට හැකි තරම් කාර්යශීලී පුද්ගලයෙකු බවට පත්වීම අත්‍යවශ්‍ය වේ. එමෙන්ම දහසක් සැලසුම් සකස් කරමින් ඒවාගේ අඩුපාඩු සොයමින් කල්ගත කරනු වෙනුවට එක් නිවැරදි සැලසුමක් හෝ ක්‍රියාත්මක කිරීමට යොමු විය යුතු වේ.
මනා කලා රුචිකත්වයක් පවතින බැවින් ද සියුම් සංවේදී හදවතක් පවතින බැවින් ද විසිතුරු භාණ්ඩ, මල් වැනි දේ නිෂ්පාදනය කිරීමටත්, එවැනි ද්‍රව්‍ය අලෙවි කිරීමටත් චෛතසික අත් හිමියන් සුදුසු වේ. එමෙන්ම රූපලාවණ්‍ය කටයුතු වැනි දේ ද මෙවැන්නන්ට සුදුසු වේ. අනවශ්‍ය තරම් නිදහස්ව සිතන බැවින් පිළිවෙළකට කටයුතු
කිරීමට මොවුන් යොමු නොවන නමුදු ඉහත කී කර්මාන්ත ආදියෙහි යෙදීමට උත්සාහ කළහොත්, එමෙන්ම ක්‍රියාශීලීව කටයුතු කළහොත් ජීවිතය කිසියම් අයුරකින් සාර්ථක කර ගැනීමට චෛතසික අත් හිමියන්ට හැකිවනු ඇත.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී ගුප්ත විද්‍යා ආචාරිණී
නිරංගා බාලසූරිය
Line Art -නිලක්ෂි ආරියරත්න