ලග්න පලාපල

අප්‍රේල් 7, 2021

 

මේෂ ලග්නය

සිතේ සතුට අභිවෘද්ධිය

මේෂ ලග්නයට අනුව රවි - බුධ - චන්ද්‍ර සිකුරු චතුර්යෝගයට ලග්නගත වීමද ගුරු 11 ට යෙදී තිබීමද නිසා සිතේ සතුට අභිවෘද්ධිය ආර්ථික සපලතාවය මෙන්ම අනාගතය වෙනුවෙන් සැලසුම් සකස් කිරීම වැනි යහපත්කම් රැසක් සිදුවනු ඇත. ශරීර සෞඛ්‍ය අතින් ද ධන සම්පත් හා මානසික සුවය අතින් ද ඉතා උසස් පිහිටීමකි. තමාට බොහෝ අයගෙන් ඇප උපකාර ලැබේ. දියුණුවට මඟ සැලසේ.

 

වෘෂභ ලග්නය

අන් අයගේ ඇප උපකාර

වෘෂභ ලග්නයට අනුව ඔබට හදිසි පිටරට ගමන් හෝ ලංකාව තුළ දුර බැහැර ගමන් එළඹෙනු ඇත. විශේෂයෙන් තම ඥාති හිතෛෂි පිරිස් සමග අවුරුද්ද සතුටින් සැමරීමට එබඳු ගමන් යාමට සිදුවේ. තම අභිලාශයන් මුදුන්පත් කර ගැනීමටත් අන් අයගේ ඇප උපකාර ලැබීමටත් හේතුවෙයි.

 

මිථුන ලග්නය

ආර්ථික වාසි

මිථුන ලග්නයට අනුව බොහෝ විට ඔබට සෙසු අය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට හැකිවේ. ආර්ථික වාසි හා ලැබීම් වලට හේතුවේ. මුදල් පරිත්‍යාග තම ජීවන ගමනට සරිලන ලෙස ඇතිවේ. වෘත්තීය ගරුත්වය රැකෙන හා වෘත්තීය වගකීම් ඉහළ යනු ඇත. තම දූ පුතුන් වෙනුවෙන් කැපවීමට අවස්ථාව වැඩිපුර ලැබේ.

 

කටක ලග්නය

ප්‍රධානියාගෙන් ප්‍රසාදය

කටක ලග්නයට අනුව රැකියාවේ උසස්වීම් හා එම ස්ථානයේ ප්‍රශංසා ලැබේ. තනතුරුවල වටිනාකම දැනෙන කාලයකි. ඒ හා සමාන වැටුප් වර්ධකයන් හා ත්‍යාග, පරිත්‍යාග හිමිවනු ඇත. ප්‍රධානීන් සමඟ සහයෝගිතාව මෙන්ම ඉදිරියට සාර්ථක සැලසුම් ක්‍රියාත්මක කිරීමට හැකිවේ.

සිංහ ලග්නය

ඉඩම් ලාභ

සිංහ ලග්නයට අනුව ඔබට පෙර පිං මහිමය ඉතා හොඳින් බලපායි. ලැබිය යුතු බොහෝ වරප්‍රසාද හිමිවේ. ඉඩම් ලාභ හා යටපත්ව තිබූ උරුමකම් මතු කරදෙන වකවානුවකි. ඔබ වෙතින් දුරස්ව සිටි අයකු තම සමීපයට එයි. එයින් ආර්ථික වාසි උදාවේ. නඩුහබ - නීති ගැටලු ඉවත්වේ. ගෘහ ජීවිතය බොහෝ බලාපොරොත්තු ඉටුවනු ඇත.

 

කන්‍යා ලග්නය

හදිසි ධනසම්පත්

කන්‍යා ලග්නයට අනුව මෙම වකවානුව ඔබට බාධා මැද්දේ වුවද ජය හිමිවේ. මහත් පරිශ්‍රමයකින් බලාපොරොත්තුව සිටි කාරණාවක් ඉටුකර ගැනීමට හැකිවේ. බර වැඩ කරන අයට සිය කටයුතු සැහැල්ලුවෙන් කරගෙන යාමට අවශ්‍ය යන්ත්‍රෝපකරණ මිලදී ගැනීමට හැකිවේ. හදිසි ධන සම්පත් හිමිවේ. තම කටයුතු පිළිබඳ තිබූ කලකිරීම දුරුවනු ඇත.

 

තුලා ලග්නය

එකිනෙකා අතර සහයෝගිතාව

තුලා ලග්නයට අනුව ඔබට ඉතා සුබ වකවානුවකි. යුග දිවියේ සොඳුරුතම කාලය මෙයයි. සතුට අභිවෘද්ධිය සැලසේ. ස්වාමියා බිරිඳ, බිරිඳ ස්වාමියා අතර මෙන්ම ආදරවන්තයන් ආදරවන්තියන් අතර සහයෝගිතාව ආදර කරුණාව වැඩියෙන් දැනෙන වකවානුවකි. අන්‍යෝන්‍ය සුහදත්වය නිසා අතරමඟ නතරව තිබූ කටයුතු යළි ක්‍රියාවට නැංවීමට ඒ තුළින් ශීඝ්‍ර දියුණුවක් උදාකර ගැනීමට හේතුවේ.

වෘෂ්චික ලග්නය

ව්‍යාපාර සඵල වේ

වෘෂ්චික ලග්නයට අනුව ජීවිතයේ අප්‍රසන්නව පැවැති යුගය නිමා වේ. හදිසි ධන යෝග මතු කෙරේ. ව්‍යාපාර සඵල වේ. පිටරට ගමන් උදාවේ. කෙසේ හෝ තම දිවියට අරුණලු වැටෙන යුගයකි. තම දූ පුතුන් නිසා සිතට අභිමානය උදා වේ. ආදරය, ආලය පිළිබඳ හැඟුම් ඇතිවන කාලයකි. විවාහ දිවිය සඵල වේ.

ධනු ලග්නය

වාසනාවන්ත දරු සම්පත්

ධනු ලග්නයට අනුව ඔබගේ දිවිය ඉතා සතුටුදායක වෙයි. දරුඵල අපේක්ෂා කරමින් සිටි අයට වාසනාවන්ත දරු සම්පත් ද ආර්ථික අභිවෘද්ධිය මෙන්ම අනාගත ආයෝජන සඳහා පසුබිමද වැටේ. ඔබ සිතුවාටත් වඩා තම ධනය උසස් වේ. අන් අයගේ සහයෝගය නොඅඩුව ලැබේ. තම විවාහ සහකරු හෝ සහකාරිය වෙතින් උපරිම සහාය අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් ලැබෙනු ඇත.

මකර ලග්නය

සමාජයේ කැපී පෙනෙයි

මකර ලග්නයට අනුව නිවසේ අලංකාරය පිළිබඳ දැඩි පරිශ්‍රමයක් දරයි. නව සිතුම් පැතුම් දලුලන වකවානුවකි. වාහනයක් මිලදී ගැනීමට තිබූ බලාපොරොත්තුව සඵලවේ. තම සිතැඟි පරිදි බොහෝ ලැබීම් ඇතිවේ. සමාජයේ කැපී පෙනෙන අයකු ලෙස අභිමානයෙන් කටයුතු කිරීමට හැකි පරිසරයක් ගොඩ නැගේ.

කුම්භ ලග්නය

ඉඩකඩම් ලාභ

කුම්භ ලග්නයට අනුව තම දේපළ නිසි කළමනාකරණයකට යොමු කර ගැනීමට හැකිය. ඉඩමක අයිතිය මෙන්ම එම ඉඩම සුරක්ෂිත කර ගැනීමට මායිම් සීමා තනවා ගැනීමට කටයුතු සැලසේ. බොහෝ සමීපතමයින් ශ්‍රමය ධනය කැපකරමින් ඔබට සහනය ලබාදෙයි. වැඩිහිටි පාර්ශව විසින් උපදෙස් අනුශාසනා ලැබේ. ඒ අනුව ඔබට අනාගත සැලසුම් සකස් කරවා ගත හැක.

මීන ලග්නය

සිතේ සතුටු අභිවෘද්ධිය

මීන ලග්නයට අනුව ඔබට තමන් බලාපොරොත්තු නොවූ ධන සම්පතක් හිමිවේ. යන එන තැන්වල කැපී පෙනෙන තත්ත්වයක් උදාවේ. තමා අත්හැර දමා තිබූ ව්‍යාපාරයක් යළි ක්‍රියාවට නැංවේ. පාඩු සහගත දේ ලාභ බවට පත්වේ. සිතේ සතුට අභිවෘද්ධිය සැලසේ. ගෘහ ජීවිතය සැපවත් වේ. ආහාර පාන ලැබේ. අලුත් ඇඳුම් පරිශීලනයට අවස්ථාව උදාවේ.

 

 

සුබසෙත ජ්‍යෙෂ්ඨ කර්තෘ

අජිත් ධර්මසිරි