වසර තිහකට පසු ප්‍රබල සෙනසුරු මීන රාශියට

සෙනසුරු මාරුවෙන් ජීවිතයම මාරු කරගන්න අද සිට උපදෙස්
මාර්තු 24, 2025

 

ලග්න හයකට සුබයි

අසුබ ලග්න හිමියන් මේ පිළිවෙත් කරන්න

අපි ‘සෙනසුරු’ වශයෙන් හඳුන්වන නාමය සෙන්+ඉසුරු යන පද එක්ව සැදී ඇත. අර්ථය නම් ඉසුරු සේනාවක් ඇතිය යන්නයි. ගමේ භාෂාවෙන් ‘හෙනහුරා‘ සේ හඳුන්වන ‘ශනි හෙවත් සෙනසුරු ගැන නොදන්නා කෙනෙකු නැත.

 

සෙනසුරුගේ ගතිය හෙවත් ස්වභාවය නම් එක් රාශියකදී වසර දෙකහමාරක කාලයක් හිමිකරගෙන තම බලය, කම්කරුවාද, දුගී ජනයාද, උසස්ම ජනයා ද අධිකරණය හා නීතියද, කටුක රෝගයන් ද සීමාවක් නොමැති බලය ද බොහෝ සම්පත් යමෙකුට ලබා දීමෙන් ද සියලු දේ තණ්හාවෙන් බදාගෙන අත්තනෝමතිකව කටයුතු කරයි. ස්වකීය උත්සාහයෙන් තම අභිමතාර්ථ සඵල කරගැනීම ද වේ. එමෙන්ම හොඳින් හෝ නරකින් තම අභිලාෂය කරා කල්දමා තමාගේ බලයට නතුකර ගැනීම සෙනසුරුගේ ගතියයි.

 

සෙනසුරු හොඳ ග්‍රහයෙකු වශයෙන් ද හැඳින්වීමට පුළුවන. එනම් මනුෂ්‍ය වර්ගයාට දුක්වීමේදී ඇති ඉවසීම, පිරිමසාගෙන කටයුතු කිරීමේ ශක්ති රහස් හෙළි නොකිරීම, ආත්ම දමනය, ආගමික භක්තිය, පූර්ව සැලසුම් ඇතිව කටයුතු කිරිම ආදිය ශනිගේ හොඳ ගති ගුණ වේ.

 

සෙනසුරු මිනිස් ජීවිතයේදී හොඳ අත්දැකීම් හා පාඩම් සම්භාරයක් ලබා දීමට ප්‍රමුඛ වේ. එක අතකට මිනිසා කිසියම් අන්දමේ ස්වයං පාලනයකට මෙන්ම මනුෂ්‍ය ජීවිතයේ යථාර්ථය කුමක්දැයි තේරුම් ගැනීමට, අවබෝධ කරගැනීමට වක්‍රාකාරයෙන් වුවද සෙනසුරු බලපෑම බොහෝ සේ ඉවහල් වේ.

 

සෙනසුරු කර්ම තීන්දු මාරුව

 

නවග්‍රහ මණ්ඩලයේ විවිධ ග්‍රහයන් අතර එකම රාශියක වැඩිම කාලයක් ගමන් කරන සෙනසුරු, ශනි, රිවිපුත්, ගනේශ්වර ආදී නම්වලින් හඳුන්වන අතර, ඒ ගමන් මඟ ඉතාම සෙමෙන් සිදු වන්නකි. ඒබැවින් සෙනසුරු කර්මය තීන්දු දෙන ග්‍රහයා ලෙස හඳුන්වයි.

 

මෙලෙස බලවත් සෙනසුරු ග්‍රහයාගේ සුවිශේෂි ග්‍රහ මාරුවක් ක්‍රිස්තු වර්ෂ 2025 ක් වූ මාර්තු මස 29 වැනි ශනි දින රාත්‍රි 09.41ට කුම්භ රාශියේ සිට වසර දෙකහමාරක ගෝචර ගමනකින් ගුරුට හිමි මීන රාශියට පිවිසේ. එතැන් සිට තවත් වසර දෙකහමාරකට පසු එනම් ක්‍රිස්තු වර්ෂ 2027ක් වූ ජූනි මස 03 වෙනිදා නැවත මේෂ රාශිගත වේ. 2025 වසරේදී සෙනසුරු මීන රාශියට සම්ප්‍රාප්ත වීම මෙය වසර 30කට පසුව සිදු වන්නකි.

 

සෙනසුරුගේ අයහපත් කිරණින් මිදීමට එදින කළ යුතු වතාවත්

 

මේ දින රාත්‍රි 9.41 සිට රාත්‍රි 10.00 වනතෙක් බුද්ධ වන්දනාව සිදුකොට විෂ්ණු දේවතාවුන් වහන්සේට එළඟිතෙල් පහනක් දල්වන්න.

 

“ශාන්තාකාරම් භුජග ශයනම් පද්මනාසාම් සුරේශම්
විශ්වාධාරම් ගඟන සදෘශම් මේඝවර්ණම් ශූභාංශම්
ලක්ෂ්මි කාන්තම් කමලනයනම් යෝගි හෘද්ධ්‍යාන ගම්යම්
වන්දේ විෂ්ණුම් භවභයහරම් සර්ව ලෝකෙක නාථම්.

 

ශ්‍රී විෂ්ණු ඃ ධෘත සංඛ පද්ම චක්‍ර ඃ ගෞහාන් චතුර් භුජ ධර ඃ
ලක්ෂ්මී වෘක්ෂ්‍ය සුනිත්‍ය සේවිත තන්ත්‍ර ඃ ස්වර්ණාස්‍ය ජාමුත් ඵල ඃ”

 

යන විෂ්ණු ආරාධනා

ශ්ලෝක 3 වතාවක් කියා.

 

“නීලවණ්ණෝ මහා තේජො -

බලො ගුරුළ වාහනෝ

වේණු නාමෝ දේව රාජා -

ඉමං පුඤ්ඤානුමෝදතු”

 

යන මෙම ගාථාවෙන් විෂ්ණු දෙවියන්ට පින් අනුමෝදන් කර පසුව සෙනසුරු ග්‍රහදේවතාවුන් වන්දනා කරන්න. නීලාංජන සමභාසං - රවි පුත්‍රම් යමාග්‍රජං

ඡායා මාතර්ණ්ඩ සම්භූතං - තං තමාමී ශනෙශ්වරම්

 

මෙය ද තුන් වතාවක් කියා දෙවියන්ට පින් දී අවසානයේ මියගිය ඥාතින්ට ද පින් අනුමෝදන් කරන්න.

 

සෙනසුරු මාරුවේ සුබ අසුබ ලග්න

 

සුබ - වෘෂභ, කටක, කන්‍යා, තුලා, වෘශ්චික, මකර

 

අසුබ - මේෂ, සිංහ, ධනු, මිථුන, කුම්භ, මීන

 

මේෂ -

 

ධන හානි ගෙන දේ. සිතේ කනස්සලු බවත් ගතට වෙහෙසකාරී බවත් ගෙන දේ. නීතියේ පටලැවිලිවලට හසුවීමට ඇත. නඩුවලට යොමුවීමට, රැකියා ස්ථානවල ගැටලු, අහිමිවීම්, හදිසි අනතුරුවලට මුහුණදීමට සිදු වේ. ගෘහ ජීවිතය තරමක් අපිළිවෙළ වෙයි.

 

සිංහ

 

සතුරන්ගේ පීඩා ඇති වේ. ලේ ආශ්‍රිතව ගැටලු ඇති වේ. මූත්‍රා රෝගාවලට ගොදුරුවීමට පුළුවන. හදිසි මරණ ආදියට මුහුණදීමට ඇත. නොසිතූ ලෙස තම ව්‍යාපාර, රැකියාවලින් පාඩු ඇති වෙයි. තැන්පත් ධනය නිකරුණේ විය පැහැදම් වෙයි. අඹු සැමි සබඳතා බිඳවැටෙන කරුණු යෙදෙයි.

 

ධනු -

 

චිත්ත පීඩා ඇතිව කාලය ගත වෙයි. දේපොළ ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවේ. තම මවට හානි පමුණුවන කාලයක් උදා වේ. හෘද රෝගවලට ගොදුරු වීමට පුළුවන. රැකියාවේ වෙනසක් හෝ වගකීම් රාශියක් තමා මත පැවරෙන කාලයක් වේ. වෙළෙඳ ව්‍යාපාර ඉතා ප්‍රවේශමෙන් කළ යුතු වෙයි.

 

මිථුන -

 

ගෙදර දොර එපා වෙයි. කලකිරීම් ඇතිවෙයි. රැකියාවල ගැටලු මෙන්ම අහිමි වීම්ද, ව්‍යාපාරවල නියැළෙනවා නම් ඒවා බිඳවැටීම් පාඩුවලට මුහුණදීමට සිදුවෙයි. දණහිස් ආශ්‍රිත රෝගවලට හසු වේ. විවාහය සම්බන්ධව කරුණුවලදී ඉතා ප්‍රවේශමෙන් තීන්දු තීරණ ගතයුතු වෙයි.

 

කුම්භ -

 

ගෙදර ගෘහ ජීවිතය අවුල්සහගත වෙයි. විවාහයේදී ගැටලු දෝෂවලට, විවාහ ජීවිතයේදී ගැටලු, හදිසි ධනය හානියට පත්වීම, ණයට දීමෙන් නඩු කීමට සිදු වේ. ව්‍යාපාර කටයුතුවලට අසුබ කාලයක් වේ. රැකියාවේ නොසිතූ වගකීම් රාශියක් තමා මත පැටවෙන කාලයකි.

 

 

ඉතිරි ලග්නවල විස්තර ලබන සතියේ පළවේ

ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනි සංගීතා වික්‍රමසිංහ

 

[email protected]